December 26, 2016

භූමිකම්පා

භූමි කම්පා පිළිබඳ දැනුමක් ලබා ගැනීමට ප්‍රථමයෙන් භූ තල යනු කුමක්දැයි පිළිබඳ අවබෝධයක් ලබාගැනීම වැදගත් වේ.
පෘථිවියේ පිටපොත්ත ශීලා ගෝලය නම් වේ. එය ඝන හා දෘඩ ද්‍රව්‍යයන්ගෙන් සැදී ඇත.ශිලා ගෝලය  තල වශයෙන් කොටස් කිහිපයකින් සමන්විතය. මෙම තල, අධෝගෝලය තුළ ඉපිලෙමින් පවතී. අධෝගෝලය අර්ධ ද්‍රවමය ස්වභාවයක් සහිතය. භූතල එකට ගැටීමෙන් , ඈත්වීමෙන් හෝ එකක් මත ලිස්සා යාමෙන් භූමි කම්පාවක් සිදුවිය හැකිය.

මෙම තල අර්ධ ද්‍රව මාධ්‍යයේ ඇතිවන සංවහන ධාරා හේතුවෙන් එකිනෙකට සාපේක්ෂව චලනය වෙමින් පවතී. මෙම චලනයේදී  තල මායිම්වල ගොඩනැගෙන ශක්තිය ක්ෂණිකව මුදා හැරීම නිසා භූ කම්පන ඇතිවේ.
භූමි කම්පා ඇතිවීම ආකාර කිහිපයකට සිදුවිය හැකිය.
01. අපසාරී තල මායිම්
මෙහිදී සිදුවන්නේ භූ තල දෙපසට තල්ලු කරමින් පෘථිවිය තුළ ඇති උණුසුම් ද්‍රව කොටස්  ඉහළට නැඟීමයි.
02. අභිසාරී තල මායිම්
මෙහිදී තල එකිනෙක තුළට ගමන් කරයි. මෙහිදී ඇති වන දරුණු කම්පනය මඟින් සුනාමි තත්වයන් ඇතිවීමට මෙය හේතුවේ.
03. විභේදන කලාප
මෙහිදී සිදුවන්නේ භූතල  එකිනෙකට සාපේක්ෂව තිරස්ව ලිස්සායාමයි.
භු කම්පන වල විශාලනය මැනීම සඳහා භාවිතා කරන උපකරණය වන්නේ භූමිකම්පා මානයයි. භු කම්පනයකදී ආරම්භයේ සිට අවසානය දක්වා ඇතිවන කම්පන තරංග මෙහි වාර්තා වේ.එම උපකරණය මඟින්  සොයාගනු ලබන ප්‍රභලතාව රිච්ටර් පරිමාණ ආශ්‍රයෙන් සටහන් කරයි.
භූමි කම්පාවකදී එහි ප්‍රබලතාව අනුව ඇති විය හැකි හානියද වැඩිවේ. එහි විශාලනය 8 හෝ ඊට වැඩි වන අවස්ථාවලදී  ඉතා විශාල විනාශකාරී තත්වයක් ඇතිවේ.

භූමිකම්පාවකදී,
භූමිකම්පාවකදී , ක්ෂණිකවම කළ යුතු වන්නේ තමා උපයාගත් දේපල සහ වටිනා භාණ්ඩ පිළිබඳ නොසිතා තම ජීවිතය ගැන සිතා එම ප්‍රදේශයෙන් හැකි ඉක්මනින් ඉවත්වීමය. මෙහිදී විදුලි රැහැන් හා ගොඩනැගිලි රහිත එළිමහන් තැනක්වීමත් වැදගත්ය.

සන්නිවේදන මාධ්‍ය වලට සවන්දී දැනුවත්වීමත්, ඒ පිළිබඳ අනෙක් පුද්ගලයින් දැනුවත් කිරීමත් තුළින් අනතුරු අවම කර ගත හැකිය.
එම ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් හෝ ආයතන විසින් තහවුරු කරන තෙක් නැවත නොයාම වැදගත්ය.

භූමිකම්පාවකදී වන හානිය අවම කරගැනීම සදහා ,
භු කම්පන  සිදුවන ප්‍රදේශයක ජීවත්වන අයෙකුනම්, නිරන්තරයෙන් සන්නිවේදන මාධ්‍ය වලට සවන් දී අවධානයෙන් සිටිය යුතුය.
භූමිකම්පා වලට ඔරොත්තු දෙන නිවාස, ගොඩනැගිලි ඉදිකිරීමත්, සැහැල්ලු උපකරණ හා යන්ත්‍රෝපකරණ භාවිතා කිරීමත්, භූ කම්පන මාන සවිකිරීමත් වැදගත්ය.
විශේෂයෙන්ම පාසල් විෂය ධාරාවට මෙය පිළිබඳ ඇතුළත් කරමින් කුඩාකලසිටම දරුවන් තුළ දැනුවත් භාවයක් ඇතිකිරීම ඉතාමත් වැදගත්වේ.

විදාතා සම්පත් මධ්‍යස්ථානය වාරියපොළ
සකස්කිරීම - තොරතුරු පත්‍රිකා ඇසුරින්

ඡායාරූප - අන්තර්ඡාලය ඇසුරින්

0 comments:

Post a Comment