December 27, 2016

ATM Card/PIN අංක වෙනුවට Finger- vein තාක්ෂණය

ඔබගේ බැංකු ගිණුමේ ඇති මුදල් ආපසු ලබාගැනීමේදී  ATM කාඩ්පත නැති වීම නිසා හෝ PIN අංකය අමතක විම නිසා හෝ ඔබ කරදරයට පත් වූ අවස්ථා බොහෝ විට තිබෙන්නට ඉඩ ඇත. නමුත් වර්තමානය වන විට ඔබ එම කරදර වලින් මුදවාලමින් ATM කාඩ්පත් හා PIN අංක යල්පැන ගිය තාක්ෂණයක් බවට පත් කිරීමට පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති.

ජපානයේ Hitachi සමාගම හා පෝලන්තයේ Itcard S.A. සමාගම එක්ව ඔබගේ ඇඟිල්ල භාවිතා කර ATM යන්ත්‍ර වලින් මුදල් ලබා ගැනීමේ නව ක්‍රමයක් හඳුන්වා දී ඇත. Finger Vein Technology ලෙස හඳුන්වා දී ඇති මෙම තාක්ෂණයේ දී සිදු වන්නේ අදාළ ස්කෑනරය මත ඔබගේ ඇගිල්ල තැබූ විට අධෝරක්ත කිරණ එම ඇඟිල්ල හරහා ගමන් කරයි. එහි දී ඇඟිල්ලේ ඇති රුධිරයේ අඩංගු හිමෝග්ලෝබින් මඟින් අධෝරක්ත කිරණ යම් ප්‍රමාණයකට අවශෝෂණය කරනු ලබයි. එමඟින් ඇගිල්ලේ ශිරා වල සැකැස්ම යන්ත්‍රය මඟින් හඳුනා ගනු ලබයි.  ශිරා වල සැකැස්ම ඇඟිලි සලකුණ මෙන් පුද්ගලයෙකුට අනන්‍ය වන හෙයින් යන්ත්‍රය මඟින් කලින් ඔබ විසින් ඉහත ආකාරයට කලින් ලබා දී ඇති ඔබගේ ශිරා සැකැස්ම මඟින් ඔබව හදුනා ගනු ලබයි. අනතුරුව පෙර ATM Card/PIN අංක භාවිතා කර බැංකු ගනුදෙනු කළ ආකාරයට ම ඔබට ගනුදෙනු කල හැකි වනු ඇත.


මෙම තාක්ෂණය තුළින් බැංකු කටයුතු වල ඉහළ සුරක්ෂිතභාවයක් ඇති කළ හැකි බව පර්යේෂකයෝ පවසති. Planet Cash යනුවෙන් නම් කර ඇති ඉහත තාක්ෂණය පදනම් වූ  ව්‍යාපෘතියක් පළමුවෙන්ම පෝලන්තයේ ක්‍රියාත්මක වන අතර එම තාක්ෂණය ඉදිරියේ දී අනෙක් රට වලට ද ව්‍යාප්ත කිරීමට නියමිත ය. එබැවින් නුදුරු අනාගතයේ දී ඔබට ද එහි ප්‍රතිලාභ අත් විඳිය හැකි වනු ඇත.

තොරතුරු - අන්තර්ජාලය ඇසුරිනි

විද්‍යා හා තාක්ෂණ නිලධාරි,
කැස්බෑව

0 comments:

Post a Comment