December 29, 2016

අන්ත්‍ර බැක්ටීරියා යාළු කරගමු.

අපගේ අන්ත්‍රවල ජීවත් වන බැක්ටීරියාවල කාර්යය වනුයේ ආහාර ජීරණයට උදවු වීම, විවිධ විටමින නිපදවීම පමණක් නොවන වග මෑතකාලීන පර්යේෂණ වලින් තහවුරු වී ඇත්තේ මෙම බැක්ටීරියා වල ක්‍රියාකාරීත්වය අන්ත්‍රවලට පමණක් සීමා නොවී, අපිට ඇතිවන නොයෙක් මනෝභාවයන්ට (Moods) සහ හැඟීම් වලටත් බලපෑම් කල හැකි බවයි.
මේ ආන්ත්‍රික ක්ෂුද්‍රජීවීන් ඩොපමීන්, ගැමා-ඇමයිනොබියුටරික් ඇසිඩ්(GABA), ප්‍රධාන වශයෙන් සෙරටොනින් වැනි ස්නායුසම්ප්‍රේෂක සහ තවත් විවිධ රසායනික බොහෝමයක් නිපදවීමට උදව් වනවා.

ස්නායු සම්ප්‍රේෂක කියන්නේ මොළය හා ශරීරයේ අනෙක් කොටස් අතර පණිවිඩ හුවමාරු කරන රසායනික ද්‍රව්‍ය වන අතර එම ස්නායු සෛල අතර සංඥා හුවමාරු කිරීමෙන් මෙම ක්‍රියාවලියට දායක වනවා. හදවතට ස්පන්දනය වීමටත්, පෙනහළු වලට හුස්ම ගැනීමටත්, ආමාශය හා අන්ත්‍රවලට ආහාර ජීරණය කිරීමටත්, මොළය පණිවිඩ ලබා දීමටත් මේවා බෙහෙවින් උපකාරී වේ. මෙවා නියමිත ප්‍රමාණ වලින් සමතුලිතව නොතිබූ විට මතක ශක්තිය, නින්ද, සිත යම් කාර්යයක් සඳහා එක්තැන් කිරීම යනාදිය කෙරෙහි බලපෑම් ඇතිවන අතර ඔබට ධනාත්මක පෙළඹවීම් (Motivation) ඇති කිරීමට ඩොපමීන් නම් ස්නායු සම්ප්‍රේෂකයට හැකියාව ලැබේ. සෙරටොනීන් මගින් ඉගෙනීම ආශ්‍රිත කටයුතුවලට, විවිධ මනෝභාවයන් හා නින්ද පාලනය කිරීම සිදුකරයි. GABA වලට සතුටින් හා සැහැල්ලුවෙන් තැබීමට හැකියාව ඇත.

ආහාර මාර්ගයේ අන්ත්‍ර ආශ්‍රිතව සෙරටොනීන් වලින් 90%ක් හා ඩොපමීන් වලින් 50%ක් නිපදවේ. මෙම සෙරටොනීන් නිෂ්පාදනය සඳහා සෛල ප්‍රේරණය කිරීමට ආන්ත්‍රික බැක්ටීරියා ක්‍රියා කෙරේ.

පරීක්ෂණ මඟින් අන්ත්‍ර ආශ්‍රිතව ජීවත්වන ට්‍රිලියන 100කට අධික ක්ෂුද්‍රජීවී සමූහය මගින් ආහාර රුචිය, හැඟීම් පාලනය මෙන්ම මතකය හා ඉගෙනීමටද බලපෑම් සිදුකරන බව පෙනීගොස් තිබේ. එමෙන්ම මානසික හා ස්නායු ආබාධ ඇතිවීමට ඇති අවදානමද අඩු වැඩි කිරීමට හැකියාව ඇත.
මෙම බැක්ටීරියා වල ක්‍රියාකාරීත්වය, ධාරක ජීවීන්ගේ මානසික පැවැත්මට ඇතිකරන බලපෑම පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා සිදුකළ එක් පරීක්ෂණයකදී හෙලිවී තිබෙන්නේ මීයන් පිරිසක් සිලින්ඩරාකාර ජල බඳුනකට දැමූ විට යම් දන්නා බැක්ටීරියා විශේෂයක් සහිත මීයන් කෙ‍සේ හෝ පිහිනා ගොඩ ඒමට වැඩි උත්සාහයක් දැරූ බවත් එම ක්‍රියාවලියේදී (එම බැක්ටීරියාව ලබාදී නොතිබුණු මීයන්ට සාපේක්ෂව) ඔවුන් එතරම් ආතතියකට ලක් වී නොමැති බව තහවුරු වී ඇත.

මිනිසුන් පමණක් සහභාගි කොට ඉහත ආකාරයේ පරීක්ෂණ තවමත් සිදුකර නැති නමුත් දැනට මීයන් ඇසුරින් සිදුකර ඇති ඉහත ආකාරයේ පරීක්ෂණ රැසකින්ම ලැබී ඇති ප්‍රථිඵල අනුව ආන්ත්‍රික බැක්ටීරියා හා මොළයේ හැඟීම් පාලන මධ්‍යස්ථානය අතර සෘජු සම්බන්ධයක් ඇති බව පෙනී ගොස් තිබෙනවා.

මේ අනුව එලඹිය හැකි නිගමනය වන්නේ අපේ ශරීරයට හිතකර රසායනික ද්‍රව්‍ය නිපදවන බැක්ටීරියා සහිත ආහාර අනුභව කිරීමෙන් ඔබට ඇතිවන සෘණාත්මක හැඟීම් අවම කරගැනීමටත් ඊට අමතරව තවත් වාසි රැසක් ලබාගැනීමටත් හැකිවන බවත්ය. ඒ අනුව නැවුම් එළවළු හා පළතුරු, Pro-biotic යෝගට්, පැසීමට ලක් කරවන ලද ටෝෆු, මිදවූ කිරි, සුදුළූණු, කෙසෙල්, කෙඳි සහිත ආහාර ආදිය ආහාරයට ගැනීමෙන් මෙම හිතකර බැක්ටීරියා වර්ධනය කර ගැනීමට හැකියාව ලැබේ. තවද මන්ද මානසිකතාව (Autism), විශාදය(Depression) වැනි රෝගී තත්ව වලටද ප්‍රතිකාර ක්‍රම ද සොයාගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කෙරේ.

(තොරතුරු- අන්තර්ජාලය ඇසුරෙනි)

විද්‍යා හා තාක්ෂණ නිලධාරි
කැස්බෑව


0 comments:

Post a Comment