December 31, 2016

සෙල්සියස් අංශක දෙකේ ඉලක්කයත් අවදානමේ?

දේශගුණ වෙනස් වීම පාලනය සදහා ලෝකයේ රටවල් ලබා දී ඇති පොරොන්දු ප්‍රකාරව කටයුතු කළත්, ලෝක උෂ්ණත්වය සෙල්සියස් ඉහළ යෑම අංශක දෙකේ සීමාව ඉක්මවා යා හැකි බව එක්සත් ජාතීන් ගේ පරිසර වැඩසටහන නිකුත් කළ වාර්තාවක් පෙන්වා දෙයි. ඒ අනුව උක්ත සීමාවේ රැදී සිටීමට නම් 2030 දී වායුගෝලයට එකතු විය හැකි උපරිම කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයට වඩා 25%ක් පමණ අධික විමෝචන ප්‍රමාණයක් වර්තමාන තත්ත්වය යටතේ විමෝචනය වනු ඇත. 2030 වන විට විමෝචනය කළ යුතු විමෝචන ප්‍රමාණය ගිගා ටොන් 42ක් වුවද, අද තත්ත්වය යටතේ එය ගිගා ටොන් 54 හා 56 අතර ප්‍රමාණයක් විය හැකිය.  

මේ සමාලෝචනය සිදු කර ඇත්තේ පැරිස් ගිවිසුමට අනුව ඒ ඒ රටවල් ලබා දී ඇති ප්‍රතිඥා හෙවත් ජාතිකමය වශයෙන් නිශ්චිත කළ අපේක්ෂිත දායකත්වවල (INDC) ප්‍රමාණය අනුවය. මේ අනුව පෙනෙන්නේ එසේ ලබා දී ඇති පොරොන්දු ප්‍රමාණවත් නොවන බව හා අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීම සදහා වායු විමෝචන තවත් 25%කින් අඩු කිරීමට පියවර ගත යුතු බවය. එසේ නොවුව හොත්, මේ සියවස අවසානය වන විට ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය පූර්ව කාර්මික අවධියට වඩා සෙල්සියස් අංශක 2.9ත් 3.4ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇත. මේ පුවත වාර්තා වූයේ පැරිස් සම්මුතිය බලාත්මක වූ නොවැම්බර් 4දාට දිනකට පෙරය. එසේම දේශගුණ වෙනස් වීම පිළිබද ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා වන වාර්ෂික දේශගුණ සමුළුව මේ සතියේ මොරොක්කෝවේ දී ආරම්භ විය. 



(මූලාශ්‍රය: UN Emissions Gap Report, http:// web. unep. org/ emmissionsgap/ resources,
https://www.nrdc.org/stories/global-warming-101)


N. S. Medagedara
Vidatha  Resources Centre   
Udunuwara


0 comments:

Post a Comment