December 30, 2016

ස්වාල්බාර්ඩ් (Svalbard) ගෝලීය බීජ සුරක්ෂිතාගාරය

නෝර්වේ හා උත්තරධ්‍රැවය අතර පිහිටි ස්වාල්බාර්ඩ් නම් දූපත් සමූහය තුල පිහිටි frigid නම් කන්ද ආශ්‍රිතව ලොව විශාලතම බීජ සුරක්ෂිතාගාරය පිහිටා ඇත.  
මෙම ප්‍රදේශය භූ විද්‍යාත්මකව ස්ථායීව පවතින අතර ආර්ද්‍රතාවය පහළ අගයක් ගනී. තවද මුහුදු මට්ටමේ සිට පිහිටීම අනුව ගං වතුරෙන් හොදින් ආරක්ෂිතව පවතී.

මෙය 2008 වර්ෂයේ දී නෝර්වේ රජය විසින් පිහිටුවන ලද්දකි.


මෙමඟින් ලොව විශාලතම බෝග විවිධත්වය නියෝජනය කරයි. එය එක්තරා අයුරකින් ජාන බැංකුවක් ද වේ.

ලොව පුරා ජාන බැංකු (Gene Banks) 1700කට වඩා වැඩි ගණනක් මඟින් බෝග එකතු පවත්වාගෙන ගියද, මේ සියල්ල අනතුරකට භාජනය විය හැකි අවස්ථා බොහෝය. ස්වාභාවික විපත්, යුද්ධය පමණක් නොව දුර්වල කළමනාකාරිත්වය, අරමුදල් ප්‍රමාණවත් නොවීම මෙන්ම ශීතාගාර පහසුකම්වල පවතින දුර්වලතා වැනි හේතු නිසා සමස්ථ ජාන එකතුව වුවද විනාශ විය හැකිය.

එය ඩයිනෝසෝර වැනි සත්ව විශේෂ මෙලොවින් සඳහටම වඳ වී ගිය අයුරින් මෙම බීජ (බෝග) විශේෂයන් ද ලොවින් නැවත හැරවිය නොහැකි ලෙස තුරන් වී යා හැකිය.

ලොව ජාන බැංකු මුහුණ පා ඇති මෙම අනතුරුදායක තත්වය මත ගෝලීය බීජ සුරක්ෂිතාගාරයක් ඇති කිරීමේ අවශ්‍යතාවය මතු වූ අතර, නැවත ගත හැකි ලෙස (Backup) පවතින බෝගයන්හි බීජ සාම්පල ගබඩා කිරීම මෙම සුරක්ෂිතාගාරය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ විය.

ඝන පාෂාණ හා නිත්‍ය තුහින තත්ව යටතේ විදුලිය නොමැති වුවද බීජ සාම්පල සුරක්ෂිතව පවතිනු ඇත.
-18oC ක උෂ්ණත්වය තුල බීජ ගබඩා කරන අතර අඩු උෂ්ණත්වය හා ආර්ද්‍රතාවය යටතේ බීජවල පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය අඩුවීමෙන් එහි ජීවතාවය දිගු කලක් සුරක්ෂිතව පවතී.

ඇසුරුම් තුල මුද්‍රා තබා ගබඩා කෙරෙන බීජ පසුව මෙම ඇසුරුම් කළු පැහැති පෙට්ටි තුල බහා රාක්ක මත ගබඩා කර තැබේ.

එක් එක් බෝගයන්හි නියැදියක බීජ 500ක් වන ලෙස මෙම සුරක්ෂිතාගාරයේ බෝග විශේෂ මිලියන 4.5 ක් ගබඩා කිරීමේ හැකියාව ඇත.

මේ අනුව උපරිම බීජ බිලියන 2.5ක සංචිතයක් පවත්වාගෙන යාමට හැකිය. ලෝකය පුරා ඇති සෑම රටකටම ඇති බෝගයන්හි බීජ නියැදි වර්තමානය වන විට 860,000කට වඩා තැන්පත් කර ඇත.



මේ අතර අප්‍රිකානු හා ආසියානු බෝග වන වී, ඉරිඟු, තිරිඟු, කව්පි වැනි බීජ නියැදි ද බාර්ලි, සලාද, අර්තාපල් වැනි ඇමරිකානු ආහාර වර්ග ද ප්‍රධාන වේ.

බීජ තැන්පත්කරුවන් අදාල ජාතික හා ජාත්‍යන්තර නීති සමඟ නිරන්තරයෙන් බැ‍ඳේ.

මෙම සුරක්ෂිතාගාරය දේශගුණ විපර්යාස හා ජනගහන වර්ධනය වැනි අභියෝග ජය ගැනීමට අනාගත පරපුර වෙනුවෙන් ඇති අත්‍යන්ත ආරක්ෂණයකි.

මෙමඟින් ලොව පුරා පවතින සෑම වැදගත් බෝග වර්ගයකම බීජ මිලියන ගණනක් සියවස් ගණනක් පුරා ආරක්ෂිතව පවතිනු ඇත.


සැබවින්ම මෙය දැනටමත් ලෝකයේ ආහාර බෝගවල බීජ පුළුල් එකතුවක් ඇති ස්ථානයක් බව කිව යුතුය. 

0 comments:

Post a Comment