December 29, 2016

පරිසර හිතකාමී -ජීව ප්ලාස්‌ටික්‌

ජීව ප්ලාස්‌ටික්‌ (Bio plastics) යනුවෙන් හඳුන්වනු ලබන්නේ පුනර්ජනනය කළ හැකි ජෛවීය ද්‍රව්‍යවලින් නිපදවනු ලබන ප්ලාස්‌ටික්‌ හා ප්ලාස්‌ටික්‌ නිෂ්පාදන වර්ග ය. මේවා නිපදවනු ලබන්නේ එළවළු තෙල් හා මේද, පිෂ්ටය වැනි ජීවී ද්‍රව්‍ය මගින් වන අතර ඇතැම් විට ඒ සඳහා ක්‌ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වය භාවිත කරනු ලැබේ.
ජීව ප්ලාස්‌ටික්‌ ප්‍රධාන වර්ග කිහිපයකට බෙදා දැක්‌විය හැකි ය.

1.පිෂ්ට පාදක ප්ලාස්‌ටික්‌ - වඩාත් සුලබ ජීව ප්ලාස්‌ටික්‌ වර්ගය වන මේවා පිෂ්ටය උපයෝගි කරගනිමින් නිපදවනු ලැබේ. එසේ ම ජෛව හායනයට ලක්‌වන ප්ලාස්‌ටික්‌ වර්ග හා මිශ්‍ර කරන ආකාරය ද දැකිය හැකි ය.


2. සෙලියුලෝස්‌ පාදක ප්ලාස්‌ටික්‌ - සෙලියුලෝස්‌ ම`ගින් නිපදවනු ලබන ප්ලාස්‌ටික්‌ වර්ග
3. ඇලිෆැටික පොලියෙස්‌ටර් - ඇලිෆැටික පොලියෙස්‌ටර් යොදාගනිමින් නිපදවන ප්ලාස්‌ටික්‌ වර්ග

4. පොලිලැක්‌ටික්‌ අම්ල (PLA) - මේවා කෝන් හා ඩෙක්‌ස්‌ට්‍රෝස්‌ මගින් නිපදවන විනිවිද පෙනෙන ප්ලාස්‌ටික්‌ වර්ගයකි.
5. පොලිඒමයිඩ 11 - මෙය ස්‌වාභාවික තෙල් වර්ගවලින් නිෂ්පාදනය කරනු ලබන ප්ලාස්‌ටික්‌ වර්ගයකි.

6. ජීව-ජනිත පොලි එතිලින් - එතනෝල් මගින් නිපදවනු ලබන ෆොසිල ඉන්ධන මගින් නිපදවනු ලබන පොලි එතිලින් හා සමාන නිෂ්පාදනයකි. ජෛව හායනයට ලක්‌ නො වන මේවා ප්‍රතිචක්‍රිකරණය කළ හැකි ය. එහෙත් මේවා නිෂ්පාදනයේ දී නිකුත් වන හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය අඩු ය.

7. වෙනත් වර්ග - වෙනත් වර්ග අතර පොලි-3-හයිඩ්‍රොක්‌සිබියුටයිරේට්‌ (Poly-3-hydroxybutyrate), පොලිහයිඩ්‍රොක්‌සිඇල්කනොඒට්‌ (Polyhydroxy alkanoates) ආදිය වැදගත් ය.

මේ ජීව ප්ලාස්‌ටික්‌ වැඩි වශයෙන් යොදාගනු ලබන්නේ වරක්‌ භාවිතයෙන් පසුව ඉවත දමනු ලබන ප්ලාස්‌ටික්‌ නිෂ්පාදන සඳහා ය. ඒවායේ ජෛව හායනයට ලක්‌ වීමේ ස්‌වාභාවයේ වැදගත්කම ඇත්තේ ද එවැනි අවස්‌ථාවල දී ය. කෙසේ වෙතත් දිගු කලක්‌ භාවිත කළ හැකි ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා ද ජීව ප්ලාස්‌ටික්‌ යොදාගනු ලැබේ. පුනර්ජනනය කළ හැකි තිරසර නිෂ්පාදනයක්‌ ලෙස ඇති ප්‍රයෝජනය මෙහි දී වැදගත් වේ.

මේවා යොදාගන්නා නිෂ්පාදන අතර විවිධ ද්‍රව්‍ය සඳහා යොදාගන්නා හැඳි ගෑරුප්පු, කෝප්ප, බීම බට,
විවිධ ද්‍රව්‍ය සඳහා යොදාගන්නා ඇසුරුම් (විශේෂයෙන් ආහාර)
, තාප පරිවරණය සඳහා යොදාගන්නා ද්‍රව්‍ය ආදිය දැක්‌විය හැකි ය. මේවා බොහෝ විට වරක්‌ භාවිතයෙන් පසුව ඉවත ලන දේ වෙයි. ශරීර අභ්‍යන්තරයේ දී දියෑවී යන ජීව ප්ලාස්‌ටික්‌ වර්ග ශල්‍යකර්ම සඳහා යොදාගැනීම සිදු වේ. ජීව ප්ලාස්‌ටික්‌ යොදාගනිමින් නිපදවන දිගු කලක්‌ භාවිතයට ගන්නා ද්‍රව්‍ය අතර කාපට්‌, වාහනවල අභ්‍යන්තර කොටස්‌, දුරකථන ආවරණ ආදිය වේ.

ජීව ප්ලාස්‌ටික්‌වල ඇති වැදගත් ම පාරිසරික ප්‍රයෝජනය වන්නේ මේ ඇතැම් වර්ග ජෛව හායනයට ලක්‌ වීම ය. එය ස්වායු තත්ත්ව යටතේ හෝ නිර්වායු තත්ත්ව යටතේ සිදු විය හැකි ය. එහෙත් සෑම ජීව ප්ලාස්‌ටික්‌ වර්ගයක්‌ ම ජෛව හායනයට ලක්‌ නො වන බව සැලකිය යුතු ය. ඇතැම් ජීව ප්ලාස්‌ටික්‌ ජෛව හායනයට ලක්‌ වන වේගය ඉතා අඩු ය. ජීව ප්ලාස්‌ටික්‌වල ඇති තවත් පාරිසරික ප්‍රයෝජනයක්‌ වන්නේ ඒවා නිෂ්පාදනයේ දී හානිකර රසායන ද්‍රව්‍ය නිපදවීම අඩු වීම හා හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය අඩු වීම ය.
ජෛව හායනයට ලක්‌ වන ප්ලාස්‌ටික්‌ (Biodegradable plastic) යනු ක්‌ෂුද්‍රජීවීන් හා වෙනත් ජීවීන් මගින් හායනයට ලක්වන ප්ලාස්‌ටික්‌ වර්ග ය. මේ කාණ්‌ඩයට ඉහත සඳහන් වන ජීව ප්ලාස්‌ටික්‌ වර්ග මෙන්ම ජෛව හායනයට ලක්වන පෙට්‍රොලියම් ප්ලාස්‌ටික්‌ වර්ග ද ඇතුළත් වේ. ඇතැම් පෙට්‍රොලියම් ප්ලාස්‌ටික්‌ වර්ගවලට ජෛව හායනයට ලක්‌ වන ආකලන ද්‍රව්‍ය එක්‌ කිරීමෙන් ජෛව හායනයට ලක්‌ වීමට හැකි ලෙස සකස්‌ කර තිබේ. මෙසේ ආකලන ද්‍රව්‍ය එක්‌ කිරීමෙන් ජෛව හායනයට ලක්‌ විය හැකි ලෙස නිෂ්පාදනය කරන පොලිඑතිලීන්, පොලිප්‍රොපිලීන්, පොලිස්‌ටයිරින් මෙන්ම පොලිඑතිලින් ටෙරෙප්තලේට්‌ ද වෙළෙඳපොළ් දැකිය හැකි ය.

ඇතැම් ප්ලාස්‌ටික්‌ වර්ග ආලෝකයේ ඇති පාරජම්බුල කිරණවලට නිරාවරණය වූ විට හායනයට ලක්‌ වේ. ප්‍රකාශ හායනයට ලක්‌ වන ප්ලාස්‌ටික්‌ (photodegradable plastic) ලෙස මේවා හඳුන්වනු ලැබේ. මේ ක්‍රියාවලිය වේගවත් කිරීමට ආකලන ද්‍රව්‍ය එක්‌ කිරීම ද සිදු වේ. 

ජීව ප්ලාස්‌ටික්‌ නිෂ්පාදනය කරන ලද්දේ 1920 දශකයේ දී වුව ද, ඒ පිළිබඳව අවධානයක්‌ යොමු වන්නේ වඩා මෑත කාලයේ දී ය. එහෙත් වර්තමානයේ දී වුව ද ජීව ප්ලාස්‌ටික්‌ නිෂ්පාදනයේ ප්‍රමාණය සාමාන්‍ය ප්ලාස්‌ටික්‌ හා සංසන්දනය කරන විට ඉතා අඩු ප්‍රමාණයක්‌ ගනියි. සාපේක්‌ෂව අඩු නිෂ්පාදනයක්‌ ලැබීම හා වියදම අධික මට්‌ටමක තිබීම මේ සඳහා බලපා ඇත. කෙසේ වෙතත් මෑත කාලයේ දී ජීව ප්ලාස්‌ටික්‌ නිෂ්පාදන වියදම අඩු වීමේ ප්‍රවණතාවක්‌ පෙන්වන අතර අනාගතයේ දී පෙට්‍රෝලියම් නිෂ්පාදනය මිල ඉහළ යැම සමඟ ජීව ප්ලාස්‌ටික්‌ සඳහා යහපත් අනාගතයක්‌ ඇති බව පෙනේ. එසේ ම ජීව ප්ලාස්‌ටික්‌ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ජාන වෙනස්‌ කළ ශාක වර්ග යොදාගැනීම වැනි තාක්‌ෂණයක්‌ කෙරේ ද උනන්දුවක්‌ ඇති වී තිබේ.

0 comments:

Post a Comment