December 29, 2016

හැඩට වැවෙන ආක්‍රමණික - කට කළු බෝවිටියා

දේශීය බෝවිටියා ශාකවල හැඩරුවට සමාන  පිටරටින් පැමිණි එක්‌තරා ආක්‍රමණික ශාකයක්‌ වෙයි. කට කළු බෝවිටියා, රබර් බෝවිටියා, මී හරක්‌ බෝවිටියා, නයිලෝන් බෝවිටියා, කාක්‌ බෝවිටියා, බූ බෝවිටියා යනාදී නම් රැසකින් හැඳින්වෙමින් තෙත් කලාපය පුරා අණසක පතුරුවන මේ ශාකය ලොව දරුණුතම ආක්‍රමණික ජීවී විශේෂ සියය අතර වෙයි.

වර්ෂ 1894 දී පමණ ලංකාවට හඳුන්වා දී ඇති මේ කට කළු බෝවිටියා ශාකය දකුණු ඇමෙරිකාව, මධ්‍යම ඇමෙරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් නිජබිම කර ගත් ශාකයකි. මේ ශාකය කුමන හේතුවක්‌ නිසා ලංකාවට හඳුන්වා දී ඇත් දැයි සඳහන් වී නොමැති මුත්, විසිතුරු පැළෑටියක්‌ ලෙස මෙරටට ගෙන එන්නට ඇතැයි විශ්වාස කැරේ. අද වන විට මේ ශාකය තෙත් කලාපය පුරා කෙතරම් ව්‍යාප්ත වී ඇත් දැයි සඳහන් කිරීමට ඒ සඳහා භාවිත වන විවිධ වූ නම් ප්‍රමාණය සාක්‌ෂ්‍ය දරයි.

කට කළු බෝවිටියා ශාකය මෙලස්‌ටොමටාසියේ (Melastomataceae) කුලයට අයත් වන අතර උද්භිද විද්‍යාත්මක ව ක්‌ලිඩේමියා හර්ටා (Clidemia hirta) යන නාමයෙන් හැඳින්වේ. ඉංග්‍රීසි බසින් මේ ශාකය බහුල ව හඳුන්වන්නේ Koster's Curse යන නමිනි. බොහෝ නිවර්තන රටවල ආගන්තුක ආක්‍රමණික ශාකයක්‌ ලෙස මෙය ව්‍යාප්ත ව තිබේ. ඕස්‌ට්‍රේලියාව, දකුණු හා නැඟෙනහිර ආසියාව, නැඟෙනහිර අප්‍රිකාව ඇතුළු රටවල මේ ශාකය අද වන විට ආක්‍රමණික ශාකයක්‌ ලෙස ව්‍යාප්ත ව තිබේ. මීට අමතර ව පැසිපික්‌ හා ඉන්දියන් සාගරයේ බොහෝ දූපත්වල මෙය ආක්‍රමණිකයකු ලෙස ව්‍යාප්ත ව ඇත.

කඳන් සහිත පඳුරු ස්‌වභාවයක්‌ ගන්නා ශාකයක්‌ වන මෙය අඩි 5ක්‌ 6ක්‌ පමණ උසින් වැඩෙන අතර, තෙත් වනාන්තරවල පඳුරු ස්‌තරය ආක්‍රමණය කරමින් පැතිර යයි. මේ ශාකය හඳුනාගැනීමට හොඳ ම ලක්‌ෂණය වන්නේ ශාකය පුරා බූවක්‌ දක්‌නට ලැබීමයි. පත්‍ර උඩු හා යටි පැත්ත, පත්‍ර වෘන්තය, ශාක කඳ, කුඩා ඵලය හා පුෂ්ප ග්‍රාහකය යන සියලූ ම ස්‌ථානවල සිහින්, කෙටි, දුඹුරු පැහැති කෙඳිවලින් සමන්විත බූව දක්‌නට ලැබේ.

මේ ශාකය, ඉලිප්සාකාර හැඩැති තරමක්‌ විශාල පත්‍ර දරන අතර, පත්‍රය අගින් උල් වී ඇත. වටකුරු පත්‍ර පාදයෙන් ඇරැඹී පත්‍ර තලය ඔස්‌සේ විහිදෙන නාරටි 05කි. ඒ නාරටි හරස්‌ අතට විහිදුණු ශාඛා නාරටි රාශියකින් එකිනෙකට සම්බන්ධ වී ඇත. දිළිසෙනසුලු ස්‌වභාවයක්‌ ඇති ළා කොළ පැහැ ශාක පත්‍රයේ උඩු පැත්ත පිම්බුණු නැත හොත් ඉලිප්පුණු ස්‌වභාවයක්‌ ගනී. ඊට හේතුව ශාඛා නාරටි දෙපසින් පත්‍ර තලය ඉහළට එසවී පැවැතීමයි.

පත්‍ර කඳට සවි වන ස්‌ථානයෙන් කුඩා මල් හට ගන්නා අතර, ඒවා පොකුරක්‌ ලෙස දැකගත හැකි ය. අධර ඩිම්බ කෝෂයක්‌ සහිත අපිජායාංගී පුෂ්පයේ සුදු පැහැ කුඩා මල් පෙති 05ක්‌ පිහිටයි. පුෂ්පයේ මැද පොකුරක්‌ ලෙස ඉදිරියට යොමු වී ඇති දිගු සුදු පැහැ රේණු 08කි. මේ ශාකයේ වසර පුරා ම මල් දැකගත හැකි අතර, මල් පරාගණයෙන් හටගන්නා කුඩා ඵලය වටකුරු ස්‌වභාවයක්‌ ගනී. ඉදුණු පසු කළු දම් පැහැ මෘදු මාංසල ඵලය තුළ ඉතා කුඩා කහ දුඹුරු පැහැ බීජ සියයක්‌ පමණ දක්‌නට ලැබේ.

මේ ශාකයේ ප්‍රචාරණය ආකාර තුනකින් සිදු වේ. එනම් බීජ මඟින් හා වර්ධක ප්‍රචාරණ ආකාර දෙකක්‌ මඟිනි. කුඩා මාංසල ඵලය, පක්‌ෂීන් බොහොමයක ගේ ආහාර වන අතර, ඒ තුළ ඇති බීජ ව්‍යාප්ත කිරීමට මොවුහු දායක වෙති. පහත රට තෙත් කලාපීය වනාන්තර ප්‍රදේශවල මේ බීජ ව්‍යාප්ත කිරීමට උදවු වන පක්‌ෂි විශේෂ කිහිපයක් ඇති අතර මේ සැම කලාපයක දී ම බීජ ව්‍යාප්තියට දායක වන ප්‍රධාන පක්‌ෂියා පිළිල ගෙඩි සූටික්‌කා (Small Flower pecker) ය.


කට කළු බෝවිටියා ශාකය එක්‌ ස්‌ථානයක වැඩි ක්‌ෂේත්‍ර ඵලයක ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමට වර්ධක ප්‍රචාරණ ආකාර දෙකක්‌ වැදගත් වේ. තෙත් ස්‌වභාවය වැඩි කොළ රොඩුවලින් ගහන පරිසරයන්හි දී මතුපිට පස්‌ තට්‌ටුව ඔස්‌සේ ගමන් කරන මේ ශාකයේ මුල්වල සමහර ස්‌ථානවලින් අංකුර හටගෙන ශාකයක්‌ බවට වර්ධනය වීමේ හැකියාව පවතී. ඊට අමතර ව හොඳින් වර්ධනය වන ශාකයේ පහතට නැවෙන අතු පොළොවේ ගැටුණු විට පුරුක්‌වලින් මුල් හටගෙන නව ශාකයක්‌ ලෙස වර්ධනය වේ. මේ ක්‍රියාවලීන් නිසා ඉහත දැක්‌වූ පරිදි එක්‌ ප්‍රදේශයක ශීඝ්‍රයෙන් අණසක පැතිරවීමේ හැකියාවක්‌ මේ ශාකයට ඇත.

මේ ශාකයේ වර්ධක ප්‍රචාරණ ආකාර දෙක හොඳින් සිදු වීමටත්, සරු ආක්‍රමණික ශාකයක්‌ බවට පත් වීමටත්, බාහිර සාධක කිහිපයක්‌ අවශ්‍ය වේ. සෙවණ සහිත බව හා තෙත් ස්‌වභාවය වැඩි කොළ රොඩු සහිත පස ඒ බාහිර සාධකයන් ය. මේ සාධක ඇති අවස්‌ථාවන්හි දී ශාකය අඩි 6 - 7ක්‌ පමණ උසට වැඩෙන අතර, ශාක පත්‍ර ඉතා පුළුල් ව ඝන ආවරණයක්‌ සහිත පඳුරක්‌ ලෙස වර්ධනය වේ.

0 comments:

Post a Comment