December 30, 2016

ලෝකයේ විශ්මය ජනක පුදුම

ලෝකයේ පුදුමාකාර දේ බොහොමයක් පවතින අතර ඒවායෙන් සමහරක් පුදුමයෙනුත් පුදුමයන් වේ.

1.   යක්ෂයාගේ කුළුන ( Devil’s tower)
මෙම මීටර් 390 ක් උස යෝධ පාශානය පිහිටා ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ ය. මීට වසර මිලියන පනහකට පෙර ඇති වූ ගිණි කඳු පිපිරීමකින් මෙම පාශානය ඇති වූ බව සළකනු ලැබේ. මෙය ආග්නේය පාශාන ගණයට වැටේ. 
ගිණිකඳු පිපිරීමේදී ඇති වූ ලාවා දහරාවේ ඉහළ කොටස ඝනීභවනය වීමෙන් මෙම පාශානය ඇතිවූ බවට සාධක ඇත. ගිණි කන්දෙන් නිකුත් කරනු ලැබූ ලාවා ඉතා සෙමින් සීතල වීම නිසා ඝනීභවනය වීමෙන් සෑදුනු ෂඩාස්‍රාකාර කුළුනු රාශියකින් මෙම යෝධ පාශානය සෑදී ඇත.

 2.     සැන් ඇන්ඩ්‍රියාස් ජිද්‍රය (San Andreas Fault)
පෘතුවිය නිර්මාණය වී ඇත්තේ භූ තල කීපයකිනි. මෙම භූ තල කිහිපයක පිටත සීමාවන් පිහිටා ඇත්තේ සාගරය යටයි. මෙම සීමාවන් අසළ භූ කම්පන සිදු වීම සුලබ දෙයකි. මෙවැනි එක් භූ තල සීමාවක් ගොඩබිම පිහිටා ඇත. මෙය කැලිෆෝනියා ජනපදයේ පිහිටා ඇති සැන් ඇන්ඩ්‍රියාස් ජිද්‍රය ලෙස හැඳින්වේ. මෙය ගොඩබිම ඔස්සේ කිලෝමීටර් 1000 ක් පමණ විහිදී ඇත.
මෙය දෙපස උතුරු ඇමරිකානු හා හා පැසිපික් භූ තල පිහිටා ඇත. මෙම භූ තල වසරකට සෙන්ටි මීටර 2.5 ක් පමණ දෙපසට ඈත් වීමෙන් පවතී. මෙම තල දෙක අසළ දී ඉතා ප්‍රචණ්ඩ භූමි කම්පා නිතර සිදුවේ. 

3.     උල්කාපාත ආවාටය (Meteor Crater)
පොළවට ඉතා විශාල බලපෑමක් කරමින් එයට පතිත වන ආකාශ වස්තුවකි උල්කාපාත. එහි විශාලත්වය වැඩි වන තරමට ඒ මගින් ඇති කරන බලපෑම ද වැඩි වේ. මෙවැනි විශාල බලපෑම් නිසා පොළව මත ආවාට ඇති වේ.
එසේ ඇති වූ ආවාටයක් ලෙස උතුරු ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ ඇති වින්ස්ලෝ (Winslow) ආවාටය සැළකෙනු ලැබේ. මෙම ආවාටය නිර්මාණය කරනු ලැබූ උල්කාපාතය මීට වසර 50,000 කට පෙර පතිත වී ඇති බව සළකනු ලැබේ. මේ මගින් ඇතිවූ ශක්තිය TNT කිලෝග්‍රෑම් මිලියන විස්සක් දැවීමෙන් ඇති වන ශක්තියට සමාන බව ගණනය කොට ඇත. මෙම ආවාටයේ විශ්කම්භය කිලෝමීටර් 1.2 ක් වන අතර එය මීටර් 180 ක් ගැඹුරු වේ.

4.      මහා බාධක පරය (Great Barrier Reef)
මේ දක්වා ලෝකයේ ජීවීන් විසින් කරනු ලැබූ විශාලම නිර්මාණය මෙය වේ. එය ඊශානදිග ඕස්ට්‍රේලියාවේ කිලෝමීටර් 2010 ක් දිගට පැතිර පවතී. මෙම කොරල් පරය සීලෙන්ටරාටාවකු (Coelenterata) වන කොරල් බුහුබාවා විසින් ඇමෝනියම් කාබනේට් ශ්‍රාවය කරනු ලබන අතර එය මුහුදු ජලයේ ඇති  කැල්සියම් ක්ලෝරයිඩ් සමඟ ප්‍රතික්‍රියා කොට කැල්සියම් කාබනේට් සාදනු ලබන අතර එමගින් මෙම කොරල් සැකිල්ල සෑදී ඇත. මෙම සැකිල්ල නිර්මාණය වීමට වසර දහස් ගණනක් ගතවේ.

5.     මළ මුහුද (Dead Sea)

එය ජෝර්දානය හා ඊශ්‍රායලය අතර පිහිටා ඇත. මෙම මුහුද වෙත ජෝර්දාන් නදිය මගින් මුහුදු ජලය ගෙන එනු ලබන අතර ඉහළ වාෂ්පීකරණ සීඝ්‍රතාවය නිසා විශාල ලවණතාවයක් එහි ඇති වී ඇත.
සාමාන්‍ය මුහුදු ජලය මෙන් සත් ගුණයක ලවණතාවයක් මළ මුහුදු ජලයේ ඇත. මේ නිසා ජලයේ ඝනත්වය සාමාන්‍ය මුහුදු ජලයේ මෙන් සත් ගුණයක් ඉහළ වේ. මෙම ජලාශය මුහුදු මට්ටමට වඩා මීටර් 408 ක් පහළින් පිහිටා ඇත. එහි අධික ලවණතාවය නිසා කිසිදු ජීවියෙකුට එහි ජීවත් විය නොහැක. එම අධික ලවණතාවය නිසාම එහි නෑමට පැමිණෙන මිනිසුන් ජලය මත පාවෙයි.

අන්තර්ජාලයඇසුරින්

0 comments:

Post a Comment