December 21, 2016

අපතේ යන දේශීය සම්පත්

අප රටේ දිනෙන් දින වර්ධනය වන  බෝ නොවන රෝග වසංගතයන් හේතුවෙන් රටට අහිමි වන ශ්‍රමයත්, ජීවිත ගණනක් මේ වන විට ඉහළ අගයක් ගෙන තිබේ. මීට ප්‍රධාන හේතුව ඇත්තේ අපගේ සාවද්‍ය ආහාර රටාවයි. දිනෙන් දින බටහිරකරණයට නතුවන අප අපගේ දේශීය ආහාර දේශීය ඖෂධ පිළිබදව දක්වන්නේ අඩු තක්සේරුවකි. වර්ථමාන මිනිසාගේ පරිභෝජන රටාව අනුව අප දිනකට ආහාරයට ගන්නා ද්‍රව්‍ය වලින් වැඩි ප්‍රමාණයක් අපගේ සිරුරට අවශ්‍ය තරම් මේදය, විශ රසියනික හා පිෂ්ඨය ලබාදෙයි. සිරුරට අත්‍යවශ්‍ය සමබර ආහාර වේලක තිබිය යුතු පිරිසිදු පළතුරු, එළවළු, ධාන්‍ය වර්ග, තන්තු වර්ග, ප්‍රේටීන් යනිදිය අපේ ආහාරයෙන් විනාශ වී යයි.

මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ කුඩා කාලයේ සිට අප විසින් පුරුදු වී ඇති ආහාර රටාවයි.පහසුවෙන් අඩු කාලයකින් හා ශ්‍රමයකින් සකසා ගත හැකි සකස් කළ ආහාර ක්ෂණික ආහාර හා බොහෝ රසායනික, වර්ණකාරක අඩංගු බීම හා රස කැවිලි වර්ග වෙනස්කර නිවැරදි රටාවකට මිනිසුන් යොමු කරවීමට නම් අප විසින් පළමුව කළ යුත්තේ මිනිසා යොමුවී ඇති ආහාර රටාවට දේශීයත්වය මුසු කිරීමයි.

මීට හොදම උදාහරණයනම් අප කවුරුත් කෑමට ප්‍රිය කරන කට්ලස්, පැටිස්, කොත්තු ආදී කෑම වර්ග දේශීය අල පොලොස්, කොස් ආදීය යොදාගෙන සාදා පරිභෝජනයට සැලසීමත්, කේක් බනිස් ආදිය හාල්පිටි භාවිතයෙන් සකසා දීමත්, අයිස්ක්‍රීම් පැණි බීම වෙනුවට සහල් පිටි අයිස්ක්‍රීම්, පළතුරු අයිස්ක්‍රීම් හා ස්වභාවික පළතුරු බීම වර්ග, ඖෂධීය පාන වර්ග හදුන්වා දීමත්ය.

මෙහි එක් පියවරක් ලෙස දෙහිඕවිට විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් මාස කීපයක සිට කල පර්යේෂණයක ප්‍රතිඵල ලෙස කොස් පිටි පමණක් යොදාගෙන අයිස්ක්‍රීම් නිෂ්පාදනය වෙළදපොළට හදුන්වාදීම දැක්විය හැකිය. ලෝකයේ වෙනත් රටවල වරකා කැබලි එක්කල අයිස්ක්‍රීම් දක්නට ලැබුනද 100% කොස් පිටි 100% කොස් ඇට පිටි හෝ 100% වරකා පිටි වලින් සෑදු අයිස්ක්‍රීම් නිෂ්පාදනය කර නොමැත. මීට අමතරව කොස් ආශ්‍රිත කොත්තු , ලාවුලු වැනි අප්‍රකට එනම් ගුණවත් පළතුරු වලින් සැකසු කෑම ආදියද කැරට් කොත්තු, බරු කොකු, තැල් වැනි ගුණද්‍රායි ශාක ආහාර වර්ගද ප්‍රචලිත කිරීම මෙහිදී සිදුවෙයි.

දේශීයව ග්‍රාමීය මට්ටමේදී අපතේ යන ඉතා පෝශ්‍යදායී කොස් ඵලයේ විවිධ අවස්ථාවලදී නෙලාගෙන විජලනය කර පිටි සාදා එම පිටි මෙම නිෂ්පාදනය සදහා යොදා ගනී්‍. මෙහිදී කිසිදු රසකාරකයක්, වර්ණකාරකයන්, කල්තබා ගැනීමේ රසකාරකයන් එකතු නොකරන බැවින් ස්වභාවික ගුණ එලෙසම රැක ගනිමින් මහජනයාට ප්‍රිය කරන ආහාරයක් ලෙස පරිභෝජනයට අවශ්‍ය අවස්ථාව සලසා දී තිබේ. මේ ආකාරයෙන්ම අප රටේ ප්‍රචලිත නොමැති නමිනං, ගඩුගුඩා, පිනි ජම්බු වැනි විවිධ පළතුරු යොදාගෙන මෙවැනි ආකර්ශණීය නිෂ්පාදන සැකසීම පිළිබද පර්යේෂණ සිදුකිරීම මේ වන විට අත්‍යවශ්‍ය කාරනයක් වී තිබේ.

මෙවැනි වු රටාවකට මිනිසා හුරු කරවීමෙන් ක්‍රමයෙන් අහිතකර ආහාර රටාවන්ගෙන් ඔවුන් මුදවාගෙන සෞඛ්‍යාරක්ෂිත ආහාර පරිභෝජනයකට යොමු කරවීම අනාගත පරපුරේ නිරෝගීභාවය ආරක්ෂා කර දීමට මහත් රුකුලක් වනු ඇත.


සැකසුම
එන්.ආර්.කේ.නාථවිතාරණ,
විද්‍යා හා තාක්ෂණ නිළධාරී,
දෙහිඕවිට

0 comments:

Post a Comment