December 28, 2016

දිනෙන් දින ඉහල යන ගෝලීය උණුසුම

කාලගුණය යනුවෙන් අදහස් කරනුයේ යම් ස්ථානයක යම් මොහොතක ඇති විය හැකි කෙටි කාලීන වෙනස් වීමකි. එනම් උෂ්ණත්වය, වර්ෂාපතනය ,සුළග යන ආදී කාලගුණීක පරාමිති වල ස්භාවයයි. එහෙත් දේශගුණය යනුවෙන් විද්‍යාත්මකව අර්ථකථනයේ සදහන් වනුයේ යම් ප්‍රදේශයක නිශ්චිත කාල සීමාවක් තුල පැවති කාලගුණික පරාමිති වල සාමාන්‍යයයි. යම් කාලසිමාවක් තුළ පවතින කාලගුණික තත්වය දේශගුණය ලෙස සරලව හැදින්විය හැක. දේශගුණීක විපර්යාශ තත්ත්වයන්ට ලෝකය අතීතයේද මුහුන දුන් අතර වර්තමානයේ මෙන්ම අනාගතයේද මුහුන දීමට සිදුවේ. මීට බලපාන සාධක බොහොමයක් ඇති අතර ඉන් ප්‍රධානතම සාධකය වනුයේ මානව ක්‍රියාකාරකම්ය.
මෙවැනි දේශගුණික විපර්යාශ පෙරළියක් ඇති වීමට හේතු වී තිබෙනුයේ ගෝලීය උණුසුමයි. ගෝලීය උණුසුම වර්ධනයට හේතු පාදක වන කාරණා නිර්මාණය කරනු ලබන්නේ මානවයා බැවින් මෙයට ප්‍රධානතම චූදිතයා ලෙස මානවයා හේතු පාදක වේ. වායු ගෝලීය උණූසුම ඉහළ නංවන වායූ වන කාබන්ඩයොක්සයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ්, මීතේන්, ඕසෝන්, හයිඩ්‍රොෆ්රෝ කාබන් සහ සල්ෆර් හෙක්සා ෆ්ලෝරයිඩ් යන වායු වර්ග වාතයට එකතු වීම මත වායු ගෝලීය උණුසුම ඉහළ නංවයි. මෙම වායූන් හරිතාගාර වායුන් ලෙස හැදින්වේ. මෙම හරිතාගාර වායු වයු ගෝලයට එක් වීම නිසා පෘථිවි ගෝලයේ උෂ්ණත්වය ඉහළ ගොස් ඇත. කාබන්ඩයොක්සයිඩ් මේ සදහා ප්‍රමුඛ දායකත්වයක් සපයයි.
කාර්මික විප්ලවයක් සමග ලෝකයේ කර්මාන්තකරණය සහ කෘෂිකාර්මික කටයුතු වර්ධනය හරිතාගාර වායු බහුල වශයෙන් වායු ගෝලයට එකතු වීමට හේතු විය. එතැන් සිට කර්මාන්තකරණය, කෘෂිකර්මාන්තය, සත්ත්ව පාලනය, වනාන්තර කැපීම සහ අධික ඉන්ධන පරිභෝජනය ලොව පුරා ව්‍යාප්ත විය. කාලගුණ වෙනස් වීම පිළිබද අන්තර් රාජ්‍ය මණ්ඩලය මගින් රටවල් 190කට වඩා දායකත්වයෙන් කරන ලද අධ්‍යන වලට අනුව ගෝලීය උණුසුමට ඉහල දායකත්වයක් සපයනුයේ මානව ක්‍රියාකාරකම් බව හෙළිවී ඇත.
නාසා ආයතනයේ අධ්‍යන වලට අනුව වසර 1901 සිට 2000 දක්වා අවුරුදු 100 ක කාලය සැලකිල්ලට ගත් විට උෂ්ණත්වය වැඩි වී ඇත්තේ 0.6 කින් වන අතර 1905 සිට 2005 දක්වා අවුරුදු 100 සැලකිල්ලට ගත් විට එය 0.74ක් වේ. ඉහත කාල පරාසය ගත් විට වර්ෂ 1940 පසු ගෝලීය උෂ්ණත්වය වැඩි වීමේ වේගය අඩු වීමක් පෙන්නුම් කරන අතර එයට හේතුව ලෙස විද්‍යාඥයන් උපකල්පනය කරනුයේ 1940 දර්ශකයේ පැවති 2 වන ලෝක යුද්ධය සමග කාර්මිකරණය මදක් අඩු වීමයි. එසේම 1970 න් පසු නැවතත් ගෝලීය උෂ්ණත්වය වර්ධනය වීමේ වේගය ඉහල ගොස් ඇත. 1980 දර්ශකයට වඩා 1990 දශකයේත් 1990  දශකයට වඩා 2000 දශකයේත් ගෝලීය උෂ්ණත්වය ඉහල ගොස් ඇත. වාර්තා වූ වඩාත් උණූසුම් දශකය වනුයේ 2001- 2010 කාලයයි.ගෝලීය උණුසුම ඉහල යාම වර්තමානයටත් වඩා අනාගතයේ බිහිවන සියළුම ජීවින්ට අතිශය තර්ජනයක් වනු ඇත. එබැවින් අනාගත පරපුර වෙනුවෙන් මෙම තත්ත්වය වෙනස් කිරීම සදහා රාජ්‍ය නායකයන්, ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම පුද්ගලිකව සෑම මනුෂ්‍යයෙක්ම දැඩි අවධානය යොමු කිරීම සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය වේ.


1 comments:

Post a Comment