December 29, 2016

“ගැස්ට්‍රයිටීස්” හැදෙන්නේ මෙහෙමයි

මොකක්ද මේ ගැස්ට්‍රයිටීස් කියලා හඳුන්වන රෝගය? ගැස්ට්‍රයිටීස් කියන්නේ ආමාශයේ ආසාදන තත්ත්වයකටයි. ආමාශයේ නිපදවන හයිඩ්‍රාක්ලෝරික් අම්ලය Acid ශ්‍රාවය වීම වැඩිවීම නිසා මෙය සිදුවන්නක්. අප ගන්නා ආහාර ගලනාලය ඔස්සේ ආමාශයටත්, පසුව කුඩා බඩවැල්වලටත් ගමන් කරනවා. ස්වභාවධර්මයා විසින් ගලනාලය සහ ආමාශය අතර කපාටයකුත් (පියන් වැනි දෙයක්) ආමාශය හා බඩවැල් අතර කපාටයකුත් පිහිටා තිබෙනවා. අප ආහාර ගන්නා විට මේ කපාට විවෘත වී ගලනාලය ඔස්සේ ආමාශයටත්, ආමාශයෙන් බඩවැල්වලටත් ආහාර ගමන් කරනවා.

ඒ ක්‍රියාවලිය නිමවූ පසුව කපාට වැසෙනවා. එසේ සිදු නොවුනොත් ආපස්සට ඒමක් සිදු වෙනවා. එවිට ආමාශයේ නිපදවන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ආපස්සට ගමන්කොට ගලනාලය තුවාල වී ආසාදන තත්ත්වයක් ඇතිවෙනවා. මේ ආසාදනයට තමයි ගැස්ට්‍රයිටීස් කියන්නේ.

”ගැස්ට්‍රයිටීස්” රෝගයට හේතු කාරක ලෙස ඔබට දැක්විය හැක්කේ කුමක්ද?

හේතු කිහිපයක්ම තිබෙන්නට පුළුවන්. සමහර සිරුරුවල මේ කපාට නිසි ආකාරයෙන් පිහිටා නොතිබෙනවා. එවැනි අයගේ මේ ක්‍රියාකාරීත්වය හරියාකාරව සිදු නොවන නිසා විවෘතව තිබෙන කපාට ඔස්සේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහ පිත ආපස්සට එන්නට පුළුවන්. ස්ථුල ශරීරයෙන් යුත් අයටත් මෙය බලපානවා.

එයට හේතුව ස්ථුල අයගේ ආමාශයේ බිත්තිවල මේද ස්ථිරය අධික ලෙස තැන්පත් වන නිසා එහි පීඩනයක් ඇතිවෙනවා. ඒ පීඩනය නිසා කපාට විවර වී අම්ලය සහ පිත ආපසු ගලනාලයට ගලායෑමක් සිදුවෙනවා.

අධික කෘශ අයටත් මේ දේ සිදුවන්නට පුළුවන්. ඔවුන්ගේ ආමාශය උරස් කුහරය ඇතුළට තල්ලු වෙනවා. එවිට කපාටවල ක්‍රියාකාරීත්වය හරිආකාරයෙන් සිදු වන්නේ නැහැ. එවිටත් අම්ල සහ පිත ගලනාලයට ගැලීම සිදුවෙනවා.

මේ තත්ත්වය යටතේ ආසාදනයට ලක්වන්නේ ගලනාලය පමණද?

ගලනාලයේ පිහිටා ඇති ශ්ලේෂ්ම පටල අම්ල Acid සහ පිතට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා ශ්ලෙෂ්ම පටල තුවාලවීමේ ප්‍රවණතාවය වැඩියි. තුවාල දිගටම පැවතීමෙන් ආසාදිත තත්ත්වයක් ඇතිවෙනවා. අමාශයේත් මේ තත්ත්වය උදාවන්නට පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් අමාශය මෙම හයිඩ්‍රක්ලෝරික් අම්ලයට ඔරොත්තු දෙනවා. 


ඕනෑවට වඩා දිගින් දිගටම ශ්‍රාවය වුණොත් ශ්ලේෂ්මල පටල තුවාල වී ආමාශයේද ආසාදන තත්ත්වයක් ඇතිවෙනවා. 


අපගේ එදිනෙදා ජීවිතයේ ක්‍රියාදාමයන් මෙන්ම අප ගන්නා ආහාරත් මෙම රෝගය සෑදීමට හේතුකාරකයක් ද?

ඔව් අධික ලෙස මත්පැන් පානය දුම්පානය වේදනා නාශක බහුල වශයෙන් භාවිතාව, රුධිර පීඩනය වළක්වා ගැනීමට මෙන්ම කොලෙස්ටරෝල් දියකර ගැනීමට ලබාදෙන්නා වූ ඖෂධ දීර්ඝ කාලයක් භාවිතා කිරීම ආදියෙන් මේ ආසාදනය ඇතිවන්නට පුළුවන්. මේවා තුළින් ආමාශයේ බිත්ති සියුම් සීරීමකට ලක්වෙනවා.

ඒවා හඳුන්වන්නේ ගැස්ට්‍රික් ඉරෝෂන්ස් යනුවෙන්. මානසික ආතතිය වැඩි අයටත් “ගැස්ට්‍රයිටීස්” රෝගය වැළඳෙනවා. මනසත් ආමාශය සහ බහිස්‍රාවය ඉන්ද්‍රියනුත් අතර සම්බන්ධතාවයක් තිබෙනවා.

මෙය පාලනය කරන්නේ අපේ මොළයෙන් මානසික ආතතිය වැඩි අයගේ රුධිර සංස්කරණය වේගවත් නිසා ශ්ලේෂ්ම පටලවල ඒකාග්‍රතාවය බිඳී යනවා. ඒ නිසා ඔවුන්ට ගලනාලය සහ ආමාශය තුළ තුවාල සෑදී ආසාදන තත්ත්වයක් ඇතිවන්නට පුළුවන්.

ඩී. ජගත් විතානගේ,
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,
විදාතා සම්පත් මධ්‍යස්ථානය,
දමන.

0 comments:

Post a Comment