ගරු රාජ්‍ය අමාත්‍යතුමාගේ පණිවිඩය | Message from the State Minister

 විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය මගින් මෙහෙයවනු ලබන විදාතා වැඩසටහන ස්වෝත්සාහයෙන් නැගී සිටීමට වෙරදරන දිරිය ශ්‍රී ලාංකිකයන්ට මහගු මෙහෙවරක් සිදුකරනු ලබන ජාතික මට්ටමේ වැඩසටහනකි. කර්මාන්ත ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ව්‍යවසායකයින්ට කර්මාන්ත පිළිබඳ තාක්ෂණයද ජනතාවට සහ පාසල් දරු දැරියන්ට කාලීන මාතෘකා ඔස්සේ විද්‍යා දැනුමද ලබාදීම මෙම වැඩසටහන මගින් සිදුකෙරේ.

ඉතා ඉහල මට්ටමේ උසස් තාක්ෂණයන් මේ වන විට ලෝකයේ බොහෝ සංවර්ධිත රටවල් භාවිතා කරමින් සිටින අතර ඔවුන් තම රටවල සංවර්ධනය සඳහා විද්‍යාව හා තාක්ෂණය බහුල වශයෙන් යොදා ගනී. අප රටද ඉහල තත්වයේ සංවර්ධිත රටක් බවට පත්කිරීමට නම් විද්‍යාව හා තාක්ෂණය සියළු අංශ සඳහා වැඩි වශයෙන් යොදාගත යුතු අතර රටේ ජනතාව සීග්‍රයෙන් නවීන තාක්ෂණය වෙත නැඹුරුකළ යුතුය.

විදාතා වැඩසටහනට සමගාමීව මෙම අමාත්‍යාංශය මගින් පවත්වාගෙන යනු ලබන “ප්‍රභාස්වර” නම් වූ අධ්‍යාපනික බ්ලොග් අඩවිය, ශ්‍රී ලාංකීය ජනතාව නවීන විද්‍යාව හා තාක්ෂණය වෙත නැඹුරුකරමින් සිටින අතර මේ වන විටත් දැනුම් පිපාසාවෙන් පෙළෙන ශ්‍රී ලාංකිකයන්ගේ නොමද ආකර්ශනයට පාත්‍ර වී ඇති බව පෙනේ. දිනපතා එම පිටුවට එක් වී එහි ඇති අධ්‍යාපනික විශේෂාංග පරිහරණය කරනු ලබන සාමාජිකයන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් ඉහල යාමෙන් ඒ බව සනාථ වේ. විද්‍යා දැනුම ලබාගත හැකි බොහෝ මූලාශ්‍ර ඉංග්‍රීසි භාෂාවෙන් පළවන අතර   “ප්‍රභාස්වර” බ්ලොග් අඩවියේ සිංහල භාෂාවෙන් විශේෂාංග ලිපි පලවන නිසා බහුතර ශ්‍රී ලාංකිකයන් පිරිසකට එහි සේවය ලබා ගැනීමට හැකි වී ඇත.

විදාතා වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන විද්‍යා හා තාක්ෂණ නිලධාරීන්ගේ  දායකත්වයෙන් ක්‍රියාත්මක වන “ප්‍රභාස්වර” අධ්‍යාපන බ්ලොග් අඩවිය දිනෙන් දින ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ඉහළ ආකර්ෂනයට ලක්වෙමින්, විවිධ වයස් මට්ටම්වල ජනයාගේ දැනුම් පිපාසාව නිවන පහන්ටැඹක් සේ ක්‍රියාකිරීමට ලැබේවායි මා ප්‍රාර්ථනා කරමි. 
“ප්‍රභාස්වර” වෙබ් අඩවියට සුභ පතමි !


ලක්‍ෂමන් සෙනෙවිරත්න,

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය.

0 comments:

Post a Comment