December 30, 2016

සිරුරට ගුණ දෙන එළවළු හා පලා



අඩු මුදලකට ඉහළ පෝෂණයක් සිරුරට ලබා ගන්න පුළුවන්. එළවළු වර්ග වෙළෙඳ පොළේ ඕනෑ තරම් තියෙනවා. පිළියෙල කර ගන්න ටිකක් කාල වේලාව ගත වුණත් මෙන්න මේ එළවළු පලාවර්ගවල ගුණ අගුණ දැනගෙනම ආහාර වේලට එක් කර ගන්න එකත් ඔබේ ශරීර සෞඛ්‍යයට වගේම පෝෂණයටත් හිත කර වෙනවා.
 මුකුණුවැන්නපලාවර්ග අතරින් ඉතා රසවත් පලාවර්ගයකි. මීනාක්‍ෂිලෙස ආයුර්වේදයේ හඳුන්වනු ලබයි. ඉතා පහසුවෙන් ගෙවත්තක හෝ පුංචි ඉඩක මුකුණුවැන්න ටිකක් වගා කරගන්න පුළුවන්. මුකුණුවැන්න වර්ග දෙකකින් යුතුයි. රතුපාටට හුරු දුඹුරු දණ්ඩ සහිත මෙන්ම කොළ පැහැති දණ්ඩ සහිත වශයෙනුයි. දුඹුරු දණ්ඩ සහිත මුකුණුවැන්න රසවත් බවින් වැඩියි. සිරුරේ ගිනියම නැති කරයි. මළ බද්ධය නැති කොට ආහාර දිරවීමට පහසු කරයි. හිසකේ වර්ධනයට උපකාරී කරන පලා වර්ගයකි.හිසට දමන අත්බෙහෙත් සඳහා පොල්තෙල් සිඳගැනීමේදී මුකුණුවැන්න දඬු හා කොළ එයට මිශ‍්‍ර කර සිඳීනවා. එවිට හිසට සිසිලස ගෙන දෙමින් ආබාධ දුරු කිරීමට උපකාර වෙනවා. එලෙසම ඇස්වල පවතින ආබාධ දුරුකොට ඇස් පෙනීම දියුණු කරන පලාවර්ගයක් ලෙස ද හඳුන්වන මේවා පෝෂ්‍ය ගුණයෙන් ඉහළ ද වේ. සීත ගුණයෙන් අධික නිසා සෙම්රෝග, පීනස වැනි ආබාධ වලින් පෙළෙන අයට නිතර කෑම අගුණයි. රාති‍්‍රයට කෑමට එක්කර ගැනීම එතරම් සුදුසු නොවේ.
ගොටුකොළපලා වර්ග අතරින් ඖෂධීය ගුණය කෙතරම් ද කියා කියන්නට පවා බැරි පලාවර්ගයකි. ගමේ ගොඩේ වෙල්එළි, දෙණි තැනිතලාවල ඉබේ හැදෙන හීන් ගොටුකොළ රසයෙන් මෙන්ම ගුණයෙන් ද ඉහළයි. ලොකු ගොටුකොළ පෝච්චිවල වුවත් සිටුවා ගන්නට පුළුවන්.රතුලුණු යහමින් දමා මැල්ලුම, සම්බෝලය හෝ ව්‍යාංජනයක් ලෙස බත් සමඟ තුන්වේලම කෑවත් අගුණයක් වන්නේ නැහැ. ඉගෙන ගන්නා වයසේ දරුවන්ට නිතර ආහාරයට දිය හැකි මතක ශක්තිය වඩවන පල වර්ගයකි. හැකි තරම් අමුවෙන් සම්බෝලයක් ලෙස සාදා ගැනීම සුදුසුය. ලේ පිරිසුදු කරණ ගුණය නිසා චර්ම රෝගවලට දිව ඔසුවක් වනවා සේම පීනස ඇති කෙනකුට මාසයක් එක දිගට ගොටුකොළ ආහාරයට ගැනීමෙන් පීනස සුව වේ. ආහාර රුචිය ඇති කිරීමට මෙන්ම ආහාර දිරවීමට ශක්තිය ඇති නිසා මළබද්ධය දුරු කරනවා. සෙමට ගුණ දෙනවා. ගොටුකොළ කැඳ ශරීරයට පෝෂණය දෙනවා මෙන්ම සමේ පැහැය වඩවා රුව අලංකාර ද කරයි. ගොටුකොළවල රත්ත‍්‍රන් ඇතැයි කියමනක්ද පවතින්නේ එතරම්ම ගුණදායක පලාවර්ගයක් නිසා වෙන්නට හැකියි. මෙහි කැල්සියම් බහුලය. වැඩි ගුණයක් මෙන්ම පෝෂණයක් ලබන්නට සිතා සමහරු ගොටුකොළ යුෂ තනිකරම පානය කරන්නට පෙළඹෙති. එය සුදුසු දෙයක් නොවන්නේ තනිකරම යුෂ සැර ගතියකින් යුතු නිසාය. එම නිසා තනිකර ගොටුකොළ යුෂ පානය කරන්න එපා.
දඹල ලෝකයේම සැලකිල්ලට භාජනය වූ එළවළුවකි. මාංශජනක පෝෂ්‍ය පදාර්ථ වැඩි වශයෙන් අඩංගුය. ආහාරයට ගැනීමෙන් ශරීරයට ඉහළ පෝෂණ ගුණයක් ලැබේ. පෙ‍්‍රා්ටීන් වැඩි ප‍්‍රතිශතයක් අන්තර්ගතව තිබෙනවා. කෙඳී සහිත තන්තුමය එළවළුවක් නිසා ආහාර දිරවීමේ ශක්තිය සහිතව මළබද්ධය දුරු කරනවා. ආමාශයට ඉතා හිතකර වුනත් බඩේ අමාරු අජීර්ණ වැනි රෝගවල දී කෑමට සුදුසු නොවේ.


විද්‍යා හා තාක්ෂණ නිලධාරි,
විදාතා සම්පත් මධ්‍යස්ථානය,
හොරණ පාර,
ගලගෙදර, පාදුක්ක.

0 comments:

Post a Comment