December 22, 2016

වේදනාවෙන් තොරව චර්ම පිළිකාව හදුනා ගැනීම.

රෝගයක් යනු හුදෙක් මිනිසාට පමණක් නොව ලොව වෙසෙන සියළු සත්ව සංහතියටම වේදනාව , දුක , කලකිරීම, ගෙන දෙන අප්‍රසන්න සිදුවීමකි. මේ අතරින් කාලයක් තිස්සේ ශරීරයේ ක්‍රමයෙන් වර්ධනය වී සෑදෙන නිදන්ගත රෝගී තත්වයක් වන පිළිකාව දැනට පවතින භයානකම මෙන්ම මානව චිත්ත සන්තානය බොහෝ අසරණතාවයට පත් කරන්නා වූ වේදනාත්මක රෝගයකි. පිළිකාවක් සෑදීම ආරම්භ වූ මුල්ම අවස්ථාවේ එය අනාවරණය කර ගත හොත් යම්තාක් දුරට ප්‍රතිකාර කර සුව කරගත හැක.
නමුත් මෙය හදුනා ගැනීම සදහා දැනට  යොදා ගන්නේ Biopsy ලෙස හදුන්වන ජෛව පටක යොදා ගෙන කරනු ලබන පර්යේෂණයයි. මෙහිදී ශරීර පටකයෙන් කොටසක් කපා  එය පර්යේෂණාගාරයකට යවා  වර්ණ ගන්වා අන්වීක්ෂයක් මගින් අසාමාන්‍ය සෛල හදුනා ගනිමින් පර්යේෂණ සිදු කරනු ලැබේ. මෙම ක්‍රියාවලියේදී ශරීරයෙන් පටක කොටස් ලබා ගැනීම රෝගියාට වේදනාකාරී දෙයක් වනවා සේම එම ස්ථානය තුවාල වීමෙන් ශරීරය තුලට විශ බීජ ඇතුල් විය හැක. එසේම ගන්නා ලද පටක කොටස අදාල පර්යේණ ක්‍රියාවලියේදී හෝ පර්යේෂණයට යොමු කිරීමේදී යම් කිසි භෞතික හෝ රසායනික වෙනස් වීමකට බදුන් වුවහොත් එම රෝග විනිශ්චය නිවැරදි නොවිය හැක.
කෙසේ වුවද නව තාක්ෂණෙය් මහිමය ලොවට කියා පාමින් කිසිදු වේදනාවකින් තොරව පිළිකාව හදුනා ගැනීමට නව ක්‍රම වේදයක් සොයා ගෙන ඇත.  






මෙහිදී ඉහල විභේදන බලයකින් යුත් අන්වීක්ෂයක් යොදා ගනිමින් රෝගියාගේ මයිටොකොන්ඩ්‍රියා පරීක්ෂා කරයි. සෛලයේ බලාගාරය ලෙස හදුන්වන මයිටොකොන්ඩ්‍රියා අලංකාර ජාලයක් ලෙස සෛලය තුල සැකසී ඇත. චර්ම පිළිකාවකදී සෛල තුල ඇති මෙම අලංකාර ජාලය කඩා බිද දමයි. වෛද්‍යවරුන් මෙම අක්‍රමවත්ව සැකසුනු මයිටොකොන්ඩ්‍රියා පරීක්ෂා කිරීමෙන් චර්ම පිළිකාව මෙන්ම වෙනත් අසාමාන්‍යතාවයන් හදුනා ගනී.
ඉහල විභේදන බලයකින් යුත් අන්වීක්ෂයක් මගින් මයිටොකොන්ඩ්‍රියා තුල ඇති නිකොටිනොමයිඩ් ඇඩිනීන් ඩයිනියුක්ලියෝටයිඩ් (NADH ) නැමති සහඑන්සයිමය පරීක්ෂාවට යොදා ගනී. යුකැරියෝටික සෛල වල මෙම නිකොටිනොමයිඩ් ඇඩිනීන් ඩයිනියුක්ලියෝටයිඩ් නැමති සහඑන්සයිමය අඩංගු වන අතර  එය විශේෂිත තරංග ආයාමයන් සහිත ආලෝකය යටතේ දිලිසෙන සුළු ස්වභාවයක් ගනී. මෙම නිකොටිනොමයිඩ් ඇඩිනීන් ඩයිනියුක්ලියෝටයිඩ් මයිටොකොන්ඩ්‍රියා තුල ඇති විට එය ප්‍රබල සංඥාවක් ලබා දෙයි.   නිකොටිනොමයිඩ් ඇඩිනීන් ඩයිනියුක්ලියෝටයිඩ් වල පවතින මෙම අද්විතීය ගුණය නිසා වර්ණක එන්නත් නොකර මයිටොකොන්ඩ්‍රියා තිව්‍ර ආලෝකයට ලක් කර පරීක්ෂා කිරීමට පර්යේෂකයින්ට හැකියාව ලැබී ඇත.
මෙම පර්යේෂණය දැනට පර්යේෂණ මට්ටමින් සාර්ථක වුවද රෝගීන් සදහා මෙම තාක්ෂණය තවම ලබා ගත නොහැක. නමුත් මෙම නව රෝග නිර්ණය කිරීමේ ක්‍රමය නිසා ඉතා සුළු කාලයක් ඇතුලත කිසිදු වේදනාවකින් හෝ අපහසුතාවයකින් තොරව චර්ම පිළිකාවක් නිශ්චය කර ගැනීමට වෛද්‍යවරුනට අනාගතයේදී ඉඩ සැලසේ.


http://www.livescience.com/57039-new-technique-diagnoses-skin-cancer-melanoma.html

0 comments:

Post a Comment