December 27, 2016

විසිරි බිඳිති වගාව (aero phonic)

පාංශු රහිත වගා ක්‍රමයන්ගෙ දියුණුවත් සමඟම hydroponics හෙවත් ජලජ වගාව වඩා aero phonic හෙවත් විසිරි බිඳිති වගාව ඉක්මණින්ම ව්‍යාප්ත වීමට බොහෝ ගුණාංග හා වාසි හේතු විය. එයින් ප්‍රධානතම හේතුව ලෙස ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක විශේෂයෙන්ම ගෘහ තුළ වගා කිරිමේ හොඳම විකල්ප ක්‍රමය වේ. මෙය ජලජ වගාවට බොහෝ සමාන වුවත් මෙහිදී මුල පද්ධතිය අඳුරු කූටීරයක් තුළට යොමුවන පරිදි මුද්‍රාකළ භාජන විශේෂයක රඳවා තබයි.නියමිත කාල අන්තර වලදී පෝෂණීය දියර වර්ග පොම්ප හා විසිරි ක්‍රම භාවිතය මඟින් මූල පද්ධතිය වෙත ඉසීම සිදුකරනු ලැබේ. සාමාන්‍යෙන් ඕනෑම පැළැටියක් සාර්ථකව වගාකළ හැකි වන අතර එළවළු වර්ග විශේෂිත වේ. මූල පද්ධතිය වෙත හොඳින් ඔක්සිජන් ලැබෙන බැවින් මෙහිදී පැළැටි වල වර්ධනය වේගවත්වනවා මෙන්ම වැඩි අස්වැන්නක් ද ලැබේ.


NASA ආයතනය මෙම පාංශු රහිත වගා තාක්ෂණය ඔවුන්ගේ අභ්‍යාවකාශයේ ආහාර නිෂ්පාදන මෙහෙවර සඳහා යොදාගෙන ඇත. එසේම දැනට ගුරුත්වය රහිත (zero granity) පරිසරයක වගාව සඳහා පරික්ෂණ ද සිදුවෙමින් පවතී.

aero phonic  තාක්ෂණයේ වාසි
1.      සම්පූර්ණයෙන් වැඩසටහන්කරණය වු තාක්ෂණය භාවිතා වීම නිසා ශක්ති සංරක්ෂණය වේ. කම්කරු පිරිවැය අඩුවේ.
2.       පෝෂකද්‍රව්‍ය කෙලින්ම ශාකමූල වෙත ලබාදීම නිසා අඩු පෝෂක ප්‍රමාණයක් අවශ්‍ය වේ.
3.       සංවෘත පද්ධති නිසා අවශ්‍ය වන ජල ප්‍රමාණය ද අඩුය.
4.      ශාක වර්ධනයට ප්‍රශස්ත මට්ටමේ තෙතමනය පාලනය වේ.
5.      පාංශු වගාවට වඩා පවත්වාගැනීමේ වියදම අඩුය.
6.      පාලනය සහිත පරිසරයක වගාව සිදුකරන බැවින් පෝෂණීය බවින් හා ගුණාත්මක බවින් ඉහළ ආහාර ලබාගත හැක.
7.      පාංශු රහිත නිසා අස්වැන්න නෙලීමේ පහසුව ද ඇත.
8.      මූල පද්ධතිය වැඩි ඔක්සිජන් ප්‍රමාණයකට නිරාවරණය වන බැවින් පැලෑටි වර්ධනය ‍ වේගයෙන් සිදුවේ.
9.      පාලනය සහිත පරිසරයක වගා කරන බැවින් රෝග හා කෘමිහානි අඩුය.
10. වගා කිරීම හා රැකබලා ගැනීම පහසුය.
11. ඉතා කුඩා ප්‍රමාණයේ සිට විශාල ලෙස වගාවන් තෙක් පද්ධති සකස්කර ගත හැකිවේ. මේ නිසා නාගරිකව වුව ද සකස්කිරිමේ හැකියාව ඇත.
12. ප්‍රවාහනය පහසුය.

අවාසි
1.   අධිපීඩනය පොම්ප,විසිරි යන්ත්‍ර ආදියේ බිඳවැටීම ඵලදාව කෙරෙහි බලපෑම් ඇති කරයි.
2.   වාණිජමය ධාරිතාවයේ දී පෝෂණ අවශ්‍යතා පිළිබඳ තාක්ෂණ දැනුම අවශ්‍ය වේ.
3.    තෙතමනය සහිත පරිසරයක බැක්ටීරියා වර්ධනයට නැඹුරුවන නිසා මූල පද්ධති පිරිසිදු කළයුතු වේ. මේ සඳහා මූල පද්ධති කුටීරය හයිඩ්‍රඩජන් පෙරොක්සයිඩ් මඟින් ජීවානුහරණය කළ යුතුය.
4.    වාණිජමය පද්ධති සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවේ.
උපුටා ගැනීම -

විද්‍යා හා තාක්ෂණ නිලධාරි
විදාතා සම්පත් මධ්‍යස්ථානය,
ඉබ්බාගමුව.

0 comments:

Post a Comment