December 29, 2016

ජාන තාක්ෂණයෙන් සුපිරි දරුවකු ලබාගැනීම

ජීවියෙකුගේ දේහ ලක්ෂණ, ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය යන ලක්ෂණ එම ජීවියාගේ සෛල වල ඇති DNA අණු තුළ ඇති ජාන මඟින් තීරණය වේ. ජාන ඉංජිනේරු තාක්ෂණයේ දී යම් ජීවියෙකුගේ තිබෙන DNA කොටස් ඉවත් කිරීම හෝ ආගන්තුක DNA කොටස්වලින් පවතින DNA කොටස් ප්‍ර‍තිස්ථාපනය හෝ පවතින DNA වලට වෙනසක් නොකර ආගන්තුක DNA කොටස් බද්ධ කිරීම හෝ සිදු කෙරේ.                                                                         
ජාන ඉංජිනේරු තාක්ෂණයෙන් මෑත කාලීන ජයග්‍රහණ ලෙස වැඩි අස්වැන්නක් හා වැඩි පෝෂ්‍ය ගුණයක් ලබාදෙන බෝග ලබා ගැනීම, වැඩි කිරි ප්‍ර‍මාණයක් දෙන එළදෙනුන් ලබා ගැනීම, විවිධ රෝගවලට ප්‍ර‍තිරෝධී ශාක ලබා ගැනීම, ජාන විකරණය කරන ලද බැක්ටීරියා යොදාගෙන මානව ඉන්සියුලින් සංස්ලේෂණය දැක්විය හැක.
ජාන ඉංජිනේරු තාක්ෂණයේ නව පෙරළියක් සිදුකිරීමට CRISPR/Cas නම් ජාන විකරණය කරන නව තාක්ෂණයට හැකි වී  ඇත. මෙම තාක්ෂණය බැක්ටීරියා වල ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාත්මක වන ක්‍රියාවලියක් ඇසුරෙන් සකස් කර ඇත. මෙම තාක්ෂණය  මඟින් ඕනෑම ජීවියෙකුගේ ඕනෑම ජානයක් පෙර ක්‍ර‍මවලට වැඩි නිරවද්‍යතාවකින් හා අඩු වියදමකින් මෙන්ම වඩාත් පහසුවෙන් විකරණය කළ හැකිය.
මෙහිදී විද්‍යාඥයන් විසින් අදාළ ජානයට බැදීමට හැකි RNA අණුවක් නිපදවනු ලබයි. මෙම RNA අණුව Cas9 නම් එන්සයිමය විසින් අදාළ ජානයට යොමුකරයි.  එවිට Cas9 එන්සයිමය මගින් ජානය කපා දමයි. අරමුණ අනුව ජානය ඉවත් කිරීම,ප්‍ර‍තිස්ථාපනය කිරීම හෝ නව ජානයක් බද්ධ කිරීම සිදුකෙරේ. පෙර ක්‍ර‍මවලට මෙම කාර්යය කිරීමට සති ගණනක් හෝ මාස ගණනක් ගත වුවද CRISPR ක්‍ර‍මයට ගතවන්නේ දින කීපයක් පමණි. 

මෙම ජාන තාක්ෂණයෙන් ලබාදෙන නව බලපොරොත්තුවක් වන්නේ ජාන විකෘතිතා නිසා ඇති වන ප්‍රවෙණිගත රෝග වලට රෝගවලට තිත තැබීමයි. ජීවියෙකු පිලිසිඳ ගන්නා කලල අවස්ථාවේ දී ම මාරාන්තික විකෘති ජානය ඉවත්කර නිරෝගි ජානය ඇතුල් කිරීම මගින් රෝගී දෙමාපියන්ට ද නිරෝගි දරුවන් ලැබිය හැකිවේ. ජාන සංයුතිය අතින් සලකා බැලූ විට මෙම වාසනාවන්ත දරුවන්ට දෙමාපියන් තිදෙනෙකි! හේතුව දරුවාට මවගේ,පියාගේ ජාන මෙන්ම තෙවැනි පාර්ශවයෙන් ලැබුණු නිරෝගි ජානය ද පිහිටන බැවිනි. කෙසේ වෙතත් ක්‍රියාවලිය අතරතුර කලලයට හානි සිදුවීමේ අවධානමක් ද පවතියි.

මෙම උත්සහය මඟින් ඩිසයිනර්” දරුවන්(designer babies)  යන සංකල්පයක් බිහිවී තිබේ. එනම් ඩිසයිනර්දරුවන් යනු කලල අවස්ථාවේ දී දෙමාපියන්ගේ අභිමතය පරිදි ජාන වෙනස් කර ඔවුන් අවශ්‍ය පරිදි සකස් කරන ලද දරුවන්ය. මෙමඟින් දෙමාපියන්ගේ කැමැත්ත අනුව දරුවාගේ හිසකෙස්වල වර්ණයේ සිට පයේ මහපට ඇගිල්ලට වඩා පයේ දෙවැනි ඇගිල්ල දිග වේද යන්න දක්වා සිරුරේ අංග ලක්ෂණ වෙනස් කළ හැකි අතර ස්ත්‍රී පුරුෂ භාවය,බුද්ධි මට්ටම,පෞරුෂය ආදිය ද තීරණය කළ හැක. මෙමගින් දෙමාපියන්ට නොමැති ජාන දරුවාට ලබාදිය හැකිවීම, දරුවාගේ ආයු කාලය වැඩි කිරීම ආදි ප්‍රයෝජන ලබාගත හැකිවේ.
මෙමඟින් වාසිදායක මෙන්ම අවාසිදායක ගැටළු කිහිපයකට මුහුණු දීමට සිදුවිය හැක. එනම් කලලයට හානි සිදුවිය හැකිවීමේ ඉඩකඩ හා මිනිස් කලල වෙනස් කිරීමේ සදාචාරාත්මක බව පිළිබද ගැටලු පැනනැගීම, ස්වභාවික ජාන සංචිතයෙන් කෘතීමව ජාන ඉවත් කිරීම මානව සංහතියට අවාසිදායක ඇතිවිය හැකිවීම යනාදියයි. තවද මේ සඳහා අධික පිරිවැය දැරීමට සිදුවන නිසා මූල්‍යමය පහසුකම් ඇති ඉහල පැලැන්තියට පමණක් මෙම ඩිසයිනර් දරුවන් ලබාගැනීමට හැකිවන නිසා සමාජ විෂමත්වය වැඩිවිය හැක.


මෙම නව සොයාගැනීම මඟින් මානව සංහතියේ උන්නතිය උදෙසා ජාන තාක්ෂණය මහගු සේවයක් කල නමුදු එය ක්‍රියාත්මක කිරීමට පෙර මෙහි ප්‍රතිවිපාක පිලිබඳ තරයේ සලකා බැලිය යුතුවේ.

(තොරතුරු - අන්තර්ජාලය ඇසුරෙනි)

විද්‍යා හා තාක්ෂණ නිලධාරි,
කැස්බෑව

0 comments:

Post a Comment