ගරු අමාත්‍යතුමාගේ පණිවුඩය | Message from the Minister

විද්‍යා ,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික විදාතා ජාලය යනු අප ජන සමාජයේ විවිධ පාර්ශවයන් විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ දැනුමින් සන්නද්ධ කිරීමේ අරමුණු ඉටුකර ගැනීමට ක්‍රියාත්මක වන ජාතික වැඩ සටහනකි . දිවයිනේ සියලු පළාත්දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි විහිදී විසිරී පවතින මේ ජාලය තුළ විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ මනා දැනුමකින් හා පරිචයකින් මෙන්ම නිර්මාණාත්මක කුසලතාවයකින් හෙබි පිරිසක් දායකත්වය දරති. ඔවුන්ගේ කාර්ය භාරය “ජනතාවට තාක්ෂණය”, “ව්‍යවසායකයන්ට තාක්ෂණය” හා “මතු පරපුරට තාක්ෂණය” සැපයීම වශයෙන් තුන් වැදෑරුම් වේ.

තාක්ෂණය යනු රටක ජාතියක ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය සඳහා සෘජුවම බලපාන සාධකයක් වන අතර ලෝකයේ බිහිවන නව තාක්‍ෂණික ප්‍රවණතා සහ නවෝත්පාදනයන් පිළිබඳව ජනතාවවිශේෂයෙන්ම දැයේ දරුවන් දැනුවත් කිරීම අත්‍යාවශ්‍ය කරුණකි. “ප්‍රභාස්වර”නම් වූ මෙම අධ්‍යාපනික බ්ලොග් අඩවිය නිර්මාණය වූයේ මෙම අවශ්‍යතාවය ඉටු කිරීම සඳහා වන අතර ඒ සදහා භාවිතා කරන ලද්දේ විදාතා ජාලයේ කුසලතාවයන්ය.

ප්‍රභාස්වර” තුලින් පාසල් දරුවන් හා නව යොවුන් තරුණ පරපුර අතර විද්‍යාව හා තාක්‍ෂණය සම්බන්ධයෙන් උනන්දුවක් ඇති කිරීම හා නව තාක්ෂණික සොයා ගැනීම් පිලිබදව ජනතාව දැනුවත් කිරීම  මූලික වශයෙන් අපේක්‍ෂා කරනු ලබයි. තාක්ෂණික විෂය ක්‍ෂේත්‍රයේ මූලාශ්‍ර බොහොමයක් පවතින්නේ ඉංග්‍රීසි භාෂාවෙන් බැවින්අප රටේ බොහෝ පිරිසකට මෙම තොරතුරු ලබා ගැනීමේ දුෂ්කරතා පවතී. මෙයට පිළියමක් වශයෙන් සිංහල හා දමිළ භාෂා දෙකෙන්ම මෙම ලිපි පල කිරීම මෙම අධ්‍යාපනික බ්ලොග් අඩවිය මගින් සිදු කෙරේ.

ලෝකයේ සංවර්ධිත රටවල ජනතාව අත් විඳින නවීන තාක්‍ෂණයේ විස්කම් පිළිබඳ අප රටේ ජනතාව දැනුවත් කිරීමත් එමගින් නවෝත්පාදනය නව පර්යේෂණ හා නව ක්ෂේත්‍ර සඳහා යොමු වීමට ඔවුනට අවශ්‍ය උත්තේජනය සැපයීමත් “ප්‍රභාස්වර” මඟින් සිදුවනු නොඅනුමානය. මෙහි ධනාත්මක බලපෑම රටේ සමාජ ආර්ථික ප්‍රගමනයට බලපාන ආකාරය නුදුරු අනාගතයේදී  අපට දැක ගත හැකි වනු ඇත.
නවීන තාක්‍ෂණයේ විස්කම් පිළිබඳ යාවත්කාලීන තොරතුරු ලබා ගැනීම සඳහා පවතින දැනුමේ උල්පත ලෙස ශ්‍රී ලංකිකයන්ගේ ආදර ගෞරවයට “ප්‍රභාස්වර” බ්ලොග් අඩවිය පත්වනු ඇතැයි යන්න මාගේ විශ්වාසයයි. එහි කටයුතු වඩාත් ශක්තිමත් කර ගැනීම සඳහා අප අමාත්‍යාංශයේ අනුග්‍රහය නිරන්තරයෙන් සැපයෙනු ඇත.නව ක්ෂේත්‍ර සහ පවතින විවිධ ක්ෂේත්‍ර සදහා විද්‍යාව තාක්‍ෂණයේ හා පර්යේෂණවල නවතම තොරතුරුනිවැරදිව හා කාර්යක්‍ෂම ලෙස ජනතාවට ලබා දීමටමෙහි සංස්කාර මණ්ඩලය උත්සාහ කරන බව පෙනේ. එම කර්තව්‍ය උසස් අන්දමින් හා කැපවීමෙන් යුතුව ඉටු කිරීමට අවශ්‍ය ධෛර්ය හා ශක්තිය ඔවුන්ට නිබඳවම ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි.

ප්‍රභාස්වර” වෙබ් අඩවියට සුභ පතමි.

ඒ.ඩි.සුසිල් ප්‍රේමජයන්ත


විද්‍යා ,තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍ය

0 comments:

Post a Comment