December 8, 2016

සෙලියුලෝස් සත්වයාට බලපාන අන්දම කෙසේද?

ග්ලූකෝස් ලෙස හදුන්වන සරල සීනි අණු රාශියකින් සෑදුනු බහුඅවයවික කාබනික අණුවක් ලෙස සෙලියුලෝස් අණුව හැදින්විය හැකිය. ග්ලූකෝස්  අණුවේ බහු අවයවිකයක් වුවද සෙලියුලෝස් පැණි රසයෙන් යුක්ත නොවේ. මෙයට හේතු වනුයේ ග්ලූකෝස් වල දිගු දාමයක් ලෙස සෙලියුලෝස් සෑදෙන බැවින් මිනිස් මුඛයේ ඇති රස ප්‍රතිග්‍රාහක වල ව්‍යූහයට සම්බන්ධ වීමේ හැකියාවක් නොමැති වීමයි. සෙලියුලෝස් තන්තුමය ද්‍රව්‍යක් වන අතර ආහාරයේ අඩංගු වැදගත්ම සංඝටකයකි. ශාක සෛල වල සෛල බිත්තියේ සෙලියුලෝස් අඩංගු වුවද සත්ව සෛල වල සෙලියුලෝස් නැත. සෙලියුලෝස් සෛල බිත්තියේ සංඝටකයක් ලෙස පැවතීම නිසා සෛල බිත්තියට දෘඩතාවයක් ලැබී ඇත.  


                    සෙලියුලෝස්  ව්‍යුහය  








                  
            

සෙලියුලෝස් ව්‍යුහය පිෂ්ඨයේ ව්‍යුහයට බොහෝ සෙයින් සමාන වුව  ද මානව ශරීරය ඇතුලත සෙලියුලෝස් ජීර්ණය කිරීමේ හැකියාවක් නැත. මෙයට හේතු වනුයේ සෙලියුලෝස් ජීර්ණයට අවශ්‍ය සෙලියුලේස් නම් එන්සයිමය මානව ශරීරයේ නිපද නොවීමයි. නමුත්  සෙලියුලෝස් බහුල තන්තුමය ආහාර ගැනීම නිසා ආහාරයේ බර වැඩි වීමෙන් (බහු අවයවිකයක අණුවක් බැවින්) ආහාර මාර්ගය තුලින් ආහාර ගමන් කිරීම කාර්යක්ෂම කරයි. මේ නිසා සෙලියුලෝස් ශරීරයේ අපද්‍රව්‍ය ඉවත් කිරීමට උදව් වේ. මෙම අපද්‍රව්‍ය වල පරිවෘත්තීය අපද්‍රව්‍යක් වශයෙන් පිත ද අඩංගු වේ. මෙම පිතෙහි රුධිරයේ වැඩිපුර ඇති සීනි සහ කොලෙස්ටරෝල් ද ඇත. එනිසා වැඩිපුර තන්තු අඩංගු ආහාර නොගතහොත් මෙම අමතරව වැඩිපුර ඇති සීනි සහ කොලෙස්ටරෝල් නැවත ශරීරයට අවශෝෂණය වේ.
තන්තු ජීර්ණය සෙමින් සිදු වන නිසා පරිවෘත්තීය අක්‍රමිකතා වලකා රුධිරයේ සීනි මට්ටම වඩාත් ක්‍රමාණුකූලව පවත්වා ගැනීමට තන්තු අඩංගු ආහාර ගැනීම යෝග්‍ය වේ.
වැඩිපුර තන්තුමය ආහාර ගන්නා විට ජීර්ණය වූ ආහාර  පහසුවෙන් ආහාර මාර්ගය ඔස්සේ ගමන් ගන්නා බැවින් ආහාර මාර්ගයේ ආහාර රැදීමක් සිදු නොවේ. මේ නිසා ආහාර මාර්ගයේ බිත්ති පිරිසිදුව තබා ගත හැකි අතර මහාන්ත්‍රයේ පිළිකාමය තත්වයන් ඇති වීම වලක්වයි.   
තන්තුමය ආහාර ගන්නා විට ආමාශයේ ආම්ලිකතාව අඩු වී ක්ෂාරීයතාවය වැඩි වේ. ආමාශය ආම්ලික වීමේ දී හිතකර ක්ෂුද්‍ර ජීවීන් විනාශ වන අතර ක්ෂාරීය වීමේදී   හිතකර ක්ෂුද්‍ර ජීවීන් සදහා සුදුසු මාධ්‍යක් සකස් වේ. මේ නිසා තන්තු සහිත ආහාර ගැනීම ආමාශයේ ක්ෂාරීය තත්වය පවත්වා ගැනීමට උපකාරී  වේ.
     බොහෝ බැක්ටීරියා විශේෂ වලට සෙලියුලේස් නිපදවීමේ හැකියාව ඇත. එනිසා අප පරිභෝජනය කරණ සෙලියුලෝස් ආමාශය හරහා කුඩා අන්ත්‍රය තුලින් ගමන් කර අවසානයේ දී මහාන්ත්‍රයට ලගා වූ පසු එහි ඇති බැක්ටීරියා මගින් බිද හෙලීම් කරණු ලබයි. එම ක්‍රියාවලියේදී අතුරුළුල ලෙස විවිධ වායු වර්ග නිපදවෙන බැවින් තන්තු අධික ආහාර ගත් විට බඩ පිපුම වැනි තත්ව ඇති විය හැකියි.
සෙලියුලෝස් ජීර්ණය කිරීමේ හැකියාව මිනිසාට නොමැති වුවද එලුවා, බැටලුවා, හරකා, ගෝනා වැනි සතුන්ගේ ශරීරයේ ආහාර මාර්ගයේ ජීවත්වන බැක්ටීරියාවන්ට සෙලියුලේස් එන්සයිමය ඝ්‍රාවය කිරීමේ හැකියාව ඇත. මෙම එන්සයිමය මගින් ඔවුන් ආහාරයට ගන්නා තන්තුමය කොටස් වල ඇති සෙලියුලෝස් ජීර්ණය කරයි.
මේ අනුව සෙලියුලෝස් යනු සත්වයින්ට අත්‍යාවශ්‍ය මෙන්ම වැදගත් සංඝටකයකි.

http://study.com/academy/lesson/the-biological-function-of-cellulose.html

0 comments:

Post a Comment