December 24, 2014

මිනිසාටත් පරිසරයටත් හානිදායක වූ PCBs

PCBs හෙවත් Poly Chlorinated Biphenyls යනු කෘත්‍රිම ලෙස සංස්ලේෂණය කළ ක්ලෝරිනීකෘත හයිඩ්‍රොකාබන ලෙස හැදින්වෙන කාබනික රසායනික සංයෝග වේ. මේවා දිගුකල් පවතින කාබනික දූෂක වන බැවින් පරිසරයට වන හානියද අතිමහත්ය. දැනට ලෝකයේ මේ ආකාරයේ  දිගු කල් පවතින කාබනික දූෂක හෙවත් POPs (Persistent Organic Chemicals) වර්ග 12ක් හඳුනාගෙන ඇති අතර ඒ අතුරින් මිනිසා විසින් නිපදවන කාර්මික රසායනික දූෂක කාණ්ඩයක් ලෙස PCBs හදුනාගෙන ඇත. 
PCB වල ඇති විශේෂ රසායනික ගුණ නිසා මේවා කෘත්‍රිම ලෙස නිෂ්පාදනය කර විවිධ කර්මාන්ත සදහා භාවිතා කරයි. මෙම  සංයෝග බොහෝ විට ගන්ධයක්, රසයක් නොමැති පැහැදිලි හෝ ලා කහ පැහැයට හුරු විනිවිද පෙනෙන දියර වේ. PCB වලට ලාක්ෂණික ගුණාංග කිහිපයක් නම්,
  •  රසායනිකව අක්‍රියබව
  •   තාපයට දක්වන ප්‍රතිරෝධීබව
  •   ගිනි ගන්නා සුළු නොවීම
  •  අඩු වාෂ්ප පීඩනය
  •  අධික පාරවිද්‍යුත් ද්‍රව්‍යයක් වීම

මේ විශේෂ ගුණාංග හේතුවෙන් PCB සංයෝග ප්‍රධාන වශයෙන් පහත සදහන් භාවිතයන් සදහා බහුලව යොදා ගනී.
  •   පරිණාමකවල සිසිල්කාරකයක් ලෙස (Coolant fluid)
  •   ධාරිත්‍රකවල පාරවිද්‍යුත් ද්‍රව්‍යයක් ලෙස
  •   ඇලවීමට භාවිතා කරන ද්‍රව්‍යවල සුනම්‍යකාරකයක් ලෙස
  •   තීන්ත හා මතුපිට ආලේපන වල ගිනිගැනීම වලක්වන ද්‍රව්‍යයක් ලෙස
  •  ඉදිකිරිම් කර්මාන්තයේදී කාන්දු වැලැක්වීමට භාවිතා කරන සංයෝග ලෙස
  •   කෘමිනාශක සදහා
 PCB සංයෝග ඉතා ස්ථායි වන අතර පහසුවෙන් වියෝජනය විමක් සිදු නොවේ.  එසේම ඉතා දිගු අර්ධ ආයු කාලයක් (Half-life) ඇත. රසායනික, ජෛව රසායනික ක්‍රම මගින් හෝ තාපය මගින් විනාශ කිරීමක් සිදුකළ නොහැකි බැවින් ඉතා දීර්ඝ කාලීනව දූෂකයක් ලෙස පරිසරයේ රදා පවතී.

PCB පරිසරයට ගැටළුකාරී වනනේ ඇයි?

PCB සංයෝග මිනිස් සෞඛ්‍යයට මෙන්ම පරිසරයටද භයානක තර්ජන ඇති කරයි. මේ සංයෝග බොහොමයක්ම දරුණු පිළිකාකාරක බවට හදුනාගෙන ඇත.
PCB දූෂක අඩංගු වායුව ආඝ්‍රාණය  කිරීම මගින් හා එවැනි දූෂක අඩංගු ආහාර පරිභෝජනය මගින් මිනිසා PCB සංයෝග වලට නිරාවරණය වේ. PCB සංයෝග වාතයට එකතුවන ස්ථානයේ සිට කිලෝමීටර දහස් ගණනක් දුර ප්‍රදේශ කරා ගමන් කළ හැකි බැවින් නිරාවරණය වීමේ හැකියාව වැඩිය.
එසේම මේවා අඩංගු පැරණි විද්‍යුත් උපකරණ ස්පර්ශය වීම නිසාද PCB ශරීරගත වේ.
 ශරීරය තුළදී මේවා වෙනත් හානිකර සංයෝග බවටද පරිවර්තනය වන අතර ශරීරයේ මේද පටකවල ගබඩාවේ. එමෙන්ම කිරිවල මේදය තුළ ගබඩාවූ PCB විෂකාරක මව්වරුන් හරහා අළුත උපදින දරුවන්ටද ගමන් කළ හැක. මෙවැනි දරුවන් අසාමාන්‍ය වර්ධනයන් හා දුර්වලතාවයන් පෙන්නුම් කරයි.
PCB සංයෝග ශරීරගතවීම හේතුවෙන් මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි පමුණුවයි. එසේම අන්තරාසර්ග පද්ධතියට, ප්‍රජනන පද්ධතියට මෙන්ම ස්නායු පද්ධතියටද විවිධ ගැටළු ඇති කරයි. එසේම ආහාර දාම ඔස්සේ යමින් සාන්ද්‍රගත වීමේ හැකියාව හෙවත් bioaccumulation ද සිදුවේ.
PCB වලට නිරාවරණය වීම නිසා මිනිස් ජීවිතවලට සිදුවූ අහිතකර බලපෑම් පිළිබදව විවිධ අවස්ථාවලදී ලෝක ඉතිහාසය සාක්ෂි දරයි. සම්පීඩනයකින් (Compressor) කාන්දු වු PCB, සහල් ආශ්‍රිත තෙල් වර්ගයකට මිශ්‍රවීමෙන් ඉතා භයානක විෂ වීමක් සිදුවී  1968දී ජපානයේ මිනිසුන්  1800ක් පමණ දරුණු ලෙස රෝගී විය.
PCB වල ඇති විශේෂ රසායනික ගුණ නිසා මේවා කර්මාන්ත සදහා භාවිතාය නවතාලිය නොහැකි වුවද විධිමත් අයුරින් භාවිතා කිරීම මගින් මිනිසාටත් පරිසරයටත් වන භයානක තර්ජන අවම කර ගැනීමේ හැකියාව ඇත.
මූලාශ්‍ර:

                සැකසුම:
                         K.Y.P. දර්ශිකා - විද්‍යා හා තාක්ෂණ නිලධාරී- වත්තල

0 comments:

Post a Comment