December 29, 2014

බෝ නොවන රෝග

වර්තමානයේ පුද්ගලයින් බහුලව පෙලෙන බෝ නොවන රෝග ලෙස අධිරුධිර පීඩනය, හෘදයාබාධ, දියවැඩියාව, පිළිකා හා මානසික රෝග හැඳින්විය හැක. මේවා කෙනෙකුගෙන් තවත් අයෙකුට සම්ප්‍රේෂණය නොවන නමුත් ජාන වල බලපෑම මගින් පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරයි.
යම් පුද්ගලයකුගේ හෘදයේ සිට රුධිරය ගෙන යන නාල එනම්, ධමනි තුල පවත්නා රුධිර පීඩනය වයසටත්, ස්ත්‍රී පුරුෂභාවයටත් නොගැලපෙන සේ ඉහල යාම අධි රුධිර පීඩනය ලෙස සැලකේ. මෙම රෝගයෙන් ආරක්ෂා වීම සඳහා ශරිරයේ බර අඩුකර ගැනීම, ව්‍යායාමයේ යෙදීම, අධික ලුණු සහිත ආහාරයන් වැළකීම, එළවළු පලතුරු වැඩිපුර ආහාරයට එක්කර ගැනීම, මේද ආහාර අඩුවෙන් ආහාරයට ගැනීම, දුම්පානයෙන් වැලකීම මනස සන්සුන්ව තබා ගැනීම වැනි ජීවන රටාවේ වෙනස්කම් කරගත යුතුය.

හෘදයාබාධ වලට ප්‍රධාන හේතුව වනුයේ රුධිරයේ කොලෙස්ටරෝල අධික වීමයි. එහි නල තුළ මේදය තැන්පත් වී රුධිරය ගලා යාමට බාධා ඇති කරයි. මේදය හා කෙලෙස්ටරෝල් බහුල ආහාර ගැනීම අඩු කිරීම මෙහිදී  ඉතා වැදගත්වේ. ක්ෂණික ආහාර භාවිතයද මෙම කොලෙස්ටරෝල් මට්ටම වැඩි වීම කෙරෙහි බලපාන බැවින් එවැනි ආහාර පුරුදු වලින්ද ඈත්වීම වැදගත්වේ.
දියවැඩියාව පරම්පරාගත ජානමය රෝගයක් ලෙස විශ්වාසයක් ඇතත් පාරිසරික බලපෑම්, ජීවිතයේ මුල්කාලයේ වන පෝෂණ ඌණතා මේ රෝගයට හේතුවන බව සොයා‍ ගෙන ඇත. ඕනෑම වයස් මට්ටමක කෙනෙක් මෙම රෝගයෙන් පෙළීමේ ඉඩකඩ ඇත. මෙම රෝගයෙන් මිදීම සඳහා රුධිරයේ සීනි මට්ටම පාලන කිරීම, විධිමත් ආහාර පාලනය, වැඩි කෙඳි ප්‍රමාණයකින් යුත් ආහාර ගැනීම, අඩු මේද ආහාර ගැනීම, දුම්පානයෙන් වැළකීම, ආහාරයට එළවළු, පළතුරු වැඩිපුර එක්කර ගැනීම, ක්ෂණික ආහාර භාවිතයෙන් වැළකීම, ප්‍රශස්ථ ශරීර බර පවත්වා ගැනීම කළ යුතුය. එමෙන්ම මානසික ආතතියෙන් වැළකිය යුතුය. රෝගය වැළදී ඇත්නම්, නියමිත ප්‍රතිකාර වෛද්‍ය උපදෙස් මත ගත යුතුය.

පිළිකාද වර්තමානයේ බහුලව දක්නට ලැබෙන බෝ නොවන රෝගයකි. විවිධ ආහාර ආකලන වර්ග සහිත ක්ෂණික ආහාර අනුභවයද මෙම පිළිකා වැඩිවීම කෙරෙහි බලපා ඇත. මුල් අවධියේදී හදුනාගැනීම මගින් මෙම රෝගය පාලනය කල හැකිය.

මීට අමතරම තැලසීමියාවද අප රටේ හමුවන බෝ නොවන පරම්පරාගත රෝගයකි. මෙහිදී රුධිරයේ රතු රුධිරාණු නිපදවීම අඩාල වන අතර ඇතැම් විට විනාශ වීමද සිදුවේ. ලේ ඥාතීන් අතර විවාහ සිදු වීමෙන් යටපත් වී ඇති රෝග ඉස්මතු වේ. එනම් දරුවන්ට රෝගය ඇති විය හැකිය. මෙහිදී රෝගියාට සෑම මසකදීම පිටතින් රුධිරය ලබා දීමට සිදු වේ.

මෙම බෝ නොවන රෝග ඇතිවීමට නොගැලපෙන ආහාර රටාව හා ක්ෂණික ආහාරවලට ඇබ්බැහි වීම, සිරුරේ බර පාලනය නොකිරීම, දුම් පානය, මත්පැන් පානය, මානසික ආතතිය, ව්‍යායාම නොමැති කම හා නොසැලකිල්ල බලපායි. එවැනි කරුණුවලින් මිදීම මගින් බෝ නොවන රෝගවලින් වැළකී නිරෝගිව සිටීමට හැකියාව ලැබේ. එම නිසා සෑම විටම නිරෝගිකම රැකගැනීමට වයසට සරිලන උසක් සහ උසට සරිලන බරක් පවත්වා ගැනීම, පෝෂදායී ආහාර ගැනීම, ව්‍යායාම, ප්‍රමාණවත් නින්ද සහ විවේකය පවත්වා ගැනීම වැදගත් වේ.

සකස්කලේ
විද්‍යා හා තාක්ෂණ නිළධාරි-බලපිටිය.

1 comments:

Mewage dewal watinawa aththatama.

Post a Comment