December 26, 2014

බිම්මල් වගාවට හානි කරන මයිටාවන්

 මකුළු පවුලට අයත්වේ. පාද 8 ඇත. ඉතා කුඩාය. විශාල සංඛ්‍යාවක් ඇති වන තෙක් සැලකිල්ලට ලක් නොවේ. බිම්මල් වගා කිරීමේ ක්‍රියාවලි‍යේදී වෙනස් ආකාර වල මයිටාවන් රාශියක් හමුවේ. සමහර මයිටාවන් දිලීර හා බැක්ටීරියාවන් මත යැපෙන අතර හතු නිෂ්පාදනයේදී මාධ්‍ය ලෙස යොදා ගන්නා දිරාගිය කාබනික ද්‍රව්‍ය මත විශාල වශයෙන් දක්නට ලැබේ. අනෙක් මයිටාවන් විලෝපිකයන් වන අතර ප්‍රධාන වශයෙන් නෙමටෝඩාවන් හා කුඩා මයිටාවන් ආහාරයට ගනී.
ඔවුන්ගෙන් සුළු ප්‍රමාණයක් පමණක් බිම්මල් පළිබෝධකයන් ලෙස සැලකේ. බිම්මල් මයිටා නැතහොත්  Tarsonemid  (Tarsonemus myceliophagus) මයිටා හා   Red pepper  (Pygmephorus sellnicki) මයිටා  මේ යටතට ගැනේ. බිම්මල් මයිටා ඉතා කුඩාය. පියවි ඇසින් දැකිය නොහැක දිලිසෙන ලා දුඹුරු පාටය. බිම්මල් දිලීර ජාලය හා මාධ්‍ය මත ඇති වෙනත් බොහෝ තරගකාරී දිලීර වල දිලීර ජාල මත යැපීම සිදු කරයි.       


                                             Red pepper Mite              Tarsonemid Mite                          
ඔවුන් හතු දණ්ඩේ පාදය (හතු වෘන්තය) ලෑටි ගෑම නිසා වෘත්තාකාර හා රතු දුඹුරු හැඩයක් ගනී. වැඩෙන බෝගයට මොවුන් විසින් සිදු කරන හානියේ ප්‍රමාණය වගාව පවතින අවධිය හා ආසාදනයේ ප්‍රමාණය අනුව තීරණය වේ. බීජාණු විසිරෙන අවධියේදී විශාල මයිටා ගහණයක් ඇතුල් වුවහොත් සැලකිය යුතු මට්ටමේ හානියක් සිදුවේ.
Red pepper මයිටාවන්ට ඒ නම ලැබී ඇත්තේ ඔවුන්ගේ රතු - දුඹුරු වර්ණය නිසාය. බිම්මල් වල අග්‍රස්ථයේ හා මාධ්‍ය මතුපිට එහා මෙහා යනු නිතරම දැකිය. මෙම මයිටාවන් ප්‍රාථමික පළි‍බෝධකයින් ලෙස නොසැලකේ. උන් සිටීම සාමාන්‍යයෙන් මාධ්‍ය මත Greem mould (Trichoderma) සිටින බවට දර්ශකයක් වේ. මෙම මයිටාවන් බිම්මල් මත නොව වෙනත් වල් දිලීර මත (Weed  moulds) මත යැපේ. ඒ නිසා මොවුන් සිටීම මගින් මාධ්‍ය‍යේ අසතුටුදායක බව පෙන්නුම් කෙරේ.  මොවුන් කහ පාටට හුරු දුඹුරු වර්ණයෙන් යුක්තය. 0.25 mm  දිගය. පැතලි පෙනුමක් ඇත. Trichoderma බීජාණු මල්ලෙන් මල්ලට පැතිරවීම සිදු කරයි. වෙනත් තරගකාරී දිලීර මත යැපෙන නිසා මොවුන් සිටීම මගින් මාධ්‍ය හරියාකාරව පිළියෙල කොට නොමැති බවද Trichoderma සිටීමට ඉඩ ඇති බවද පෙන්නුම් කෙරේ. මොවුන් ඉතා ‍වේග‍යෙන් ප්‍රජනනය කෙරේ. එක් ගැහැණු සතෙකුට දින 5 ක් තුළදී  බිත්තර 160 ක් පමණ දැමිය හැකිය. බිම්මල් හිස දුඹුරු පාට වීමට හේතු වන අතරම ආසාදිත කොටසේ පමණක් නොව මුළු වගා බිමේම Greem mould පැතිරීම ද වැඩි දියුණු කරයි. මොවුන්ගේ ගහණය ඉහළ ගිය විට බිම්මල් නෙලන්න්නන්ට අපහසුතා ඇති කරන අතරම අසාත්මික වීමටද හේතුවේ
පාලනය
·         බිම්මල් නිවාස තුළ දැඩි සනීපාරක්ෂාවක් පවත්වා ගත යුතුය. මේ සදහා පහත ක්‍රියාකාරකම් සිදු කරන්න.
·         සියළුම උපකරණ, වගා කාමර හොදින් පිරිසිදු කිරීම
·         වගා චක්‍රය අවසානයේ වගා කාමර ජීවාණුහරනය
·         විෂබීජ නාශක භාවිතා කර සියළු මතුපිටවල් හා ස්ථාන පිරිසිදු කිරීම (Sodium hypochlorite අඩංගු ගෘහස්ථ විෂබීජ නාශක - ටීපෝල්)
·         කම්කරුවන් පිරිසිදු ඇදුම් ඇදිය යුතු අතර වගා කාමර තුළට ඇතුල් වීමට පෙර පාවහන් විෂබීජ නාශක දියරයක ගිල්විය යුතුය. (Sodium hypochlorite - ටීපෝල්)
·         පිදුරු හා ඉවත් කරන වගා මාධ්‍ය බිම්මල් වගා ගෘහ වලින් ඈත්කර තැබීම
·         මැනවින් ජීවාණුහරිත මාධ්‍ය භාවිතා කිරීම
·         බිම්මල් මැස්සන් පාළනය කිරීම
·         භාවිතා කර ඉවත්කරන මාධ්‍යයන් ආරක්ෂාකාරීව විනාශ කිරීම

ජේ. සී රාමනායක
විද්‍යා තාක්ෂණ නිලධාරි
පස්ගොඩ

0 comments:

Post a Comment