December 22, 2014

අකුණක උපත හා අකුණු විපත් වලක්වා ගැනීම

අකුණක උපත හා අකුණු විපත් වලක්වා ගැනීම






 වලාකුළක් තුළ හෝ වලාකුළු දෙකක් අතර හෝ වලාකු‍ළක් හා අවකාශය අතර හෝ වලාකුළක් හා පෘතුවිය අතර ඇතිවන විද්‍යුත් විසර්ජනයක් නැතිනම් විද්‍යුත් ධාරාවක් ලෙස ආරෝපන ගලා යාමක් අකුණක් ලෙස හැඳින්වේ.
වලාකුළක් ඉතා සියුම් ජල බිංදු වලින් සෑඳී ඇති අතර වලාකුළ තුලින් ඉතා වේගයෙන් සුළං ධාරා ඉහල නැඟීම නිසා වැහි වලාකුළ ද උසින් වැ‍ඩිවේ. ඉහල අහසේ දී තිරස් සුළං ධාරාවන්ට හසුවීම නිසා එහි මුදුන පැතලිව හත්තක හෝ කුඩයක හැඩය ගනී. ආරෝපණය වූ කැටි වැහි වලාකුළක ඉහල කොටසේ ධන ආරෝපණ ද පහල කොටසේ සෘණ ආරෝපණ ද එක් රැස් වී පවතින අතර ප්‍රේරණය මගින් පෘථිවි පෘෂ්ඨයේ ධන ආරෝපණයන් ඇතිවේ. වලාකුළක් තුල ආරෝපණ විශාල ප්‍රමාණයක් එක් රැස් වූ විට අකුණු ඇතිවේ.
විද්‍යුත් විසර්ජනය සිදු වන ආකාරය අනුව අකුණු වර්ග තුනකි. විද්‍යුත් විසර්ජනය වලාකුළක් තුල හෝ වලාකු‍ළු දෙකක් අතර සිදුවේ නම් එය වලා අකුණක් ලෙස හැඳින්වේ. විද්‍යුත් විසර්ජනය වලාකුළක් හෝ පෘ‍ථිවිය අතර සිදු වේ නම් එය පෘථිවි අකුණක් ලෙස හැඳින්වෙන අතර අකුණු අනතුරු ඇති වීම කෙරෙහි බලපානුයේ ද එයයි. විද්‍යුත් විසර්ජනය වලාකුළක් හා අවකාශය අතර සිදු වේ නම් එය වා විසර්ජන අකුණකි.අකුණක් භූගත වන ආකාරය අනුව අකුණු වර්ග 4 කි. මිනිසකු හෝ ගොඩනැගිල්ලක් කෙලින්ම අකුණු පහරට ලක්වේ නම් එය සෘජු අකුණකි. උස ගසකට වැඳුණු අකුණකින් කොටසක් මිනිසකු හෝ ගොඩනැගිල්ලක් හරහා භූගත වේ නම් එය පාර්ශ්විත අකුණකි. දුරකථන රැහැන්, විදුලි රැහැන්, ඇන්ටනා වයර් ආදිය ඔස්සේ ගොඩනැගිල්ලක් වෙත අකුණු පැමිණේ නම් හෝ අකුණු පහරට ලක් වූ ගසක් ස්පර්ශ කරමින් සිටීම හේතුවෙන් පුද්ගලයකු අකුණු පහරට ලක්වේ නම් එය ස්පර්ශ අකුණක් ලෙස හැඳින්වේ.ගොඩනැගිල්ලකට හෝ ගසකට වැදුණු අකුණක් එම ස්ථානයේ සිටින මිනිසකුගේ එක් පාදයකින් ඇතුළුව අනෙක් පාදයෙන් පිටවේ නම් එය පියවර අකුණකි.
මෙම අකුණක් ඇති වීමේදී ඇතැම් විට වෝල්ට් මිලියන 100 ක පමණ වෝල්ටීයතාවයක් ඇතිවන අතර ඇම්පියර් 25000 ක පමණ ධාරාවක් ගලා යාම සිදුවේ. එමෙන්ම සෙල්සියස් අංශක 20000 ක පම‍ණ උෂ්ණත්වයක් ජනනය විය හැක.
අකුණු විපත් අවම කර ගැනීම සඳහා අකුණු පවතින අවස්ථාවල දී තැනිතලා, පිට්ටනි, කුඹුරු වැනි එළිමහන් ස්ථානවල සිටීමෙන් වැලකීම නිවසක් හෝ ගොඩනැගිල්ලක් තුළට වී සිටීම, විදුලි උපකරණ භාවිතයෙන් වැලකීම හා විදුලි උපකරණ විද්‍යුත් පරිපථ වලින් විසන්ධි කර තැබීම රූපවාහිනී යන්ත්‍රය ක්‍රියාවිරහිත කර එහි ඇන්ටනා වයරය නිවසින් පිටතට දමා එහි ලෝහමය කොටස පොළව සමඟ ස්පර්ශ වීමට සැලැස්වීම, රැහැන් සහිත දුරකථන භාවිතයෙන් වැළකීම, යතුරු පැදි, විවෘත බෝට්ටු වැනි විවෘත වාහන වලින් ගමන් කිරීමෙන් වැලකීම, ලෝහමය ද්‍රව්‍ය ස්පර්ශ කිරීමෙන් වැළකීම, ස්නානය වැනි ජලය භාවිතා කරන කටයුතු වලින් වැළකීම, බිම නිදා ගැනීමෙන් වැලකීම වැනි කරුණු පිළිපැදිය යුතුය. එමෙන්ම ඇඳක නිදාගෙන සිටීම ආරක්ෂිතය. එමෙන්ම අකුණු සන්නායකයක් සවිකර ගැනීම මගින් නිවස හෝ ගොඩනැගිල්ල අකුණු අනතුරු වලින් ආරක්ෂා කර ගැනීමට හැකිවේ.
යම් පුද්ගලකයකු අකුණු පහරකට ලක්වූයේ නම් හා ඔහුගේ හෘදස්පන්දනය නැවතී තිබේ නම් හෘදය සම්බාහනය කර කෘත්‍රිම ස්වසනය ලබා දීම කල යුතු අතර හැකි ඉක්මනින් රෝහලකට රැගෙන යාම කල යුතුය. එලෙස රැගෙන යාමේදී මුඛය පැත්තකට හරවා තබා රැගෙන යාම කල යුතුය. ශරීරයේ පිළිස්සුණු ස්ථාන වලින් රුධිරය වහනය වේ නම් එය වැළැක්වීමට කටයුතු කල යුතුය. එමඟින් රෝගියාගේ ජීවිත අවදානම අඩු කර ගත හැකිය.

අකුණු අනතුරු අවම කර ගැනීමට කටයුතු කිරීම මගින් වසරකට අකුණු අනතුරු නිසා සිදුවන 50 ක් ඉක්මවන මරණ සංඛ්‍යාව, අඩු කර ගත හැකි වන අතර විවිධ ආබාධ වලට ලක්වන සංඛ්‍යාව හා දේපල හානි අවම කර ගත හැකිවේ.

0 comments:

Post a Comment