December 27, 2014

ලොවටම තර්ජනයක්වූ සාගර දූෂණය

ගොඩබිම සාගරයද මෙන්ම මිනිසාට සම්පතකි. සාගර සම්පත් අතර ප්‍රධාන තැනක් ගන්නේ ජීව විද්‍යාත්මක සම්පත්ය. විවිධාකාර වූ මත්ස්‍යයන්ගෙන් මෙන්ම වෛවර්ණ කොරල්පර, මුහුදු හතු, මෘද්වංශික ජීවීන්, හා මුහුදු ඇල්ගී වලින් සාගරය සමන්විතය. ලෝක ජනගහණයෙන් විශාල ප්‍රමාණයකගේ ප්‍රධාන ප්‍රෝටීන් ප්‍රභවය වී ඇත්තේ සාගරයෙන් අල්ලා ගන්නා මත්ස්‍යයන් හා මුහුදු බෙල්ලන් වේ. එසේම බොහොමයක් කර්මාන්ත සඳහා  වැදගත්වන ඛනිජ ද්‍රව්‍ය හා රසායන ද්‍රව්‍ය සාගර පත්ලේ මිහිදන් වී ඇත. තඹ, නිකල්, මැංගනීස්, කොබෝල්ට් වැනි ලෝහ ද්‍රව්‍ය මෙන්ම ඛනිජ තෙල් හා වායු වර්ගද  මේ අතර වේ. ලොව බොහෝ රටවල් මුහුණපා ඇති උග්‍ර ජල හිඟයට පිළියමක් සපයන්නේද  සාගර සම්පතයි. ඒ සාගර ජලයේ ලවණ ස්වභාවය ඉවත්කොට මිනිස් පරිභෝජනයට සුදුසු තත්ත්වයට පත්කරලීමේ හැකියාව ලැබී තිබීම නිසායි. එසේම මහ පොළව මත කාලගුණ තත්ත්වයන් පාලනය කරන්නේත්, ස්වභාවික ජල චක්‍රයේ ප්‍රධාන නියමුවා වන්නේත් මහා සාගරයයි. මෙවන් වූ අසිරිමත් සාගර සම්පතද බොහෝ දුරට මිනිස් ක්‍රියාකාරකම් නිසා දූෂණයට ලක්වී ඇත.
සාගර දූෂණය සිදුවන්නේ කෙසේද?
සාගර දූෂණය සිදුවන ක්‍රමවේද අතුරින් මූලිකම වන්නේ සෘජු ලෙසම සාගරයට අපද්‍රව්‍ය මුදාහැරීම හෝ වක්‍ර ලෙස ගංඟා, ඇළ, දොළ හරහා අපද්‍රව්‍ය මුහුදට එකතුවීමයි. කර්මාන්තශාලාවලින්, රෝහල් වලින්, භෝජනාගාරවලින් මෙන්ම නිවෙස්වලින්ද ඉවත්කරන අපද්‍රව්‍ය මේ ආකාරයට මුහුදට ගලා ඒම නිසා දූෂණය වන්නේ වෙරළබඩ කලාපයයි. සාගරයට එක්වන ලෝහමය අපද්‍රව්‍ය අතුරින් වඩාත් විෂදායි වන්නේ රසදියයි. වසරකට රසදිය ටොන් 5000කට අධික ප්‍රමාණයක් අපද්‍රව්‍ය සමග සාගර ජලයට එකතුවේ. රසදිය සාගර ජීවීන්ගේ ශරරගත වන අතර ආහාර දාම ඔස්සේ යමින් මිනිසා ඇතුළු අනෙකුත් සර්ව හෝ මාංශ භක්ෂක ජීවීන් තුළ සාන්ද්‍රගත වීමෙන් එම ජීවීන්ට හානි සිදු කරයි. මුහුදු ජලයට එක්වූ රසදිය අපද්‍රව්‍ය හේතුවෙන් සිදුවූ මහා ව්‍යසනයක් පිළිබදව වර්ෂ 1950 දී පමණ ජපානයේ මිනිමාටා බොක්ක අවට සිදුවූ විපත නිදසුන් දක්වයි.
ඉන්දියාව, බංගලාදේශය, චිලී ඇතුළු රටවල් ගණනාවක්ම මිනිස් මලද්‍රව්‍ය සෘජුවම මුදාහරිනු ලබන්නේ මුහුදටය. ශ්‍රීලංකාවේද බොහෝ මුහුදුබඩ ප්‍රදේශවල තත්ත්වයද මේ ආකාරමය. මිනිස් මලද්‍රව්‍ය සමග බොහෝ විට රෝග කාරක විෂබීජද මුහුදු ජලයට එක්වන අතර මේවා දියවැල් ඔස්සේ විවිධ ප්‍රදේශවලට රැගෙන යයි. එසේම මිනිස් මලද්‍රව්‍ය නිසා මුහුදු දිය නෑමේ යෙදෙන්නන් විවිධ ආසාදන හා රෝගාබාධ වලටද ලක්වේ. ලොව ඇතැම් ප්‍රදේශවල බෝවන ඉස්සන්, කකුළුවන් වැනි සතුන් මිනිස් ආහාරයට නුසුදුසු තත්ත්වයට පත්වී ඇත්තේද මේ හේතුවෙනි.
වායු දූෂණය හේතුවෙන් මුහුදට පතිතවන දූෂක වලින්ද සමුද්‍ර දූෂණය සිදුවේ. විශේෂයෙන්ම ඛනිජ තෙල් වලට වඩා ලාභදායි ගල්අඟුරු වැඩි වශයෙන් භාවිතා කිරීම මගින් පරිසරයට එකතුවන SO2  ප්‍රමාණය සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින අතර  දිනපතා ටොන් ගණනක්  වායුගෝලයට එකතුවන SO2  වලින් කොටසක් ධූලි වශයෙන් මුහුදට පතිතවේ. එය සාගර දූෂණයෙන් තුනෙන් එකක ප්‍රමාණයකටම වග කියන තත්ත්වයකට පත්වී ඇත. එසේම විකිරණශීලි ද්‍රව්‍ය එක්වීමද සාගර දූෂණයට හේතුවේ. න්‍යෂ්ටික අත්හදා බැලීම් හා න්‍යෂ්ටික පිපිරීම් නිසාද, න්‍යෂ්ටික විදුලි බලාගාරවලින් පිටවන අපද්‍රව්‍ය නිසාද මුහුදු ජලයට විකිරණශීලි ද්‍රව්‍ය එකතුවේ. මේවා නිසා ජලජ ජීවීන් විශාල වශයෙන් විනාශ වේ. එසේම ජීවීන්තුළ විකෘති ඇතිවීමද සිදුවේ.
සාගර දූෂණය සිදුවන තවත් ප්‍රධාන ආකාරයක් වන්නේ තෙල් වර්ග එකතුවීමයි. තෙල් ගෙනයන නැව් වලින් ජලයට තෙල් කාන්දුවීම, මුහුද හරහා තෙල් යැවෙන නල තුළින් ජලයට තෙල් කාන්දුවීම, තෙල් නැව්වල ඉතිරිවන අපද්‍රව්‍ය හා ටැංකි සේදු වතුර මුහුදු ජලයට එක් කිරීම, අනතුරු වලින් තෙල් නෞකා මුහුදුබත්වීම වැනි කාරණා හේතුවෙන් මුහුදු ජලයට තෙල් එකතුවිය හැක. මේ තෙල් වර්ග එකතුවීම සාගරයේ ජෛව විවිධත්වයට විශාල වශයෙන් හානි පමුණුවයි. බොහෝ ජීවී විශේෂවලට මෙම තෙල් වර්ග විෂ බැවින් ඔවුන් පරිහාණියට පත්වේ. මේ ආකාරයට ලෝකයේ වඩාත් දූෂිත වු සාගර හා මුහුදු ලෙස සැලකෙන්නේ උතුරු මුහුද, බෝල්ටික් මුහුද, රියෝද ජනැයිරෝ අවට මුහුද, ඉන්දුනීසියාව, ජාවා අවට මුහුද, මධ්‍යධරණී මුහුද  හා ජපන් මුහුදයි.
සමුද්‍ර දූෂණය අද ලොව විශාලතම පරිසර ගැටළුවක් බවට පත්වී ඇති නිසා සමුද්‍ර ජල දූෂණය වැළැක්වීමට ජාත්‍යන්තර වශයෙන්ද පියවර ගෙන ඇත. නැව් මගින් කෙරෙන සාගර දූෂණය පාලනය කිරීම සදහා ඇතිකර ගන්නා ලද මාර්පෝල් (Marpol Convention -1973) සම්මුතිය, නැව් හා ගුවන් යානා මගින් අපද්‍රව්‍ය මුහුදට දැමීම අත්හිටුවීම සදහා ඇති කරගත් ලන්ඩන් සම්මුතිය (London Convention-1975), ගොඩබිම් මාර්ග වලින් අපද්‍රව්‍ය මුහුදට ගලායාම වළක්වාලැනීම සදහා මධ්‍යධරණී මුහුද අවට රටවල් විසින් ඇතිකරගත් බාර්සිලෝනා සම්මුතිය (Barcelona Convention-1976) මේ අතුරින් ප්‍රධාන තැනක් ගනී.   
මූලාශ්‍ර:
                සැකසුම:

                         K.Y.P. දර්ශිකා - විද්‍යා හා තාක්ෂණ නිලධාරී- වත්තල

1 comments:

we must protect this marvellous resources.we should prohibit the marine pollution

Post a Comment