December 31, 2014

ඕසෝන් ස්ථරයේ විනාශය නිසා ඇතිවන ගැටලු.

ඕසෝන් ස්ථරය අප පෘථිවියට ඉහළින් පවතින අතර එය අහිතකර සූර්යය රශ්මියෙන් පෘථිවි වාසීන් ආරක්ෂා කරන ආරක්ෂිත පෙරණයක් ලෙස ක්‍රියාකරයි. ඕසෝන් ස්ථරයේ සංයුතිය 10%කින් අඩුවීම හේතුවෙන් පොළවට ලැබෙන පාර ජම්බුල කිරණ ප්‍රමාණය 20%කින් ඉහළ යයි. වැඩි වශයෙන් ලැබෙන අහිතකර සූර්යය විකිරණ නිසා පහත සදහන් ගැටලු ඇතිවේ.
01. අධික ශක්තියකින් යුත් පාරජම්බුල කිරණ සම මතට වැටීම නිසා සම වියලීම, රැළිවැටීම, පිළිස්සීම හා පිළිකා ඇතිවේ.
02. පාරජම්බුල කිරණවලට ඇස නිරාවරණයවීම නිසා පෙනීමේ දුර්වලතා, සුද ඇතිවීම හා අන්ධවීම සිදුවේ. වාර්ෂිකව මිලියන 12-15ත් අතර ප්‍රමාණයකට ඇසේ සුද ඇතිවේ. මෙයින් 20%ක් පමණ හේතුවී ඇත්තේ අධිකව අධි ශක්ති සූර්යාලෝකයට නිරාවරණයවීමයි.
03. අධික පාරජම්බුල කිරණවලට නිරාවරණයවීම මගින් ශරීරයේ පිහිටි ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි පැමිණේ. එමගින් බෝවන රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව අඩුවේ.
04. ඕසෝන් වියනේ තුනීවීමත් සමග පහළ වායුගෝලයට වැඩිවශයෙන් පාරජම්බුල කිරණ පැමිණ පහළ වායු ගෝලයේ ඕසෝන් නිපදවේ. මෙය පහළ වායුගෝලයේ වායු දූෂකයක් ලෙස ක්‍රියා කරයි. අධික ප්‍රතික්‍රියාශීලි මෙම වායුව ආශ්වාස කිරීමෙන් ශ්වසන පද්ධතියට හානිවේ.
05. මිනිසාගේ මූලික ගති ලක්ෂණ තීරණය කරන ඒකකය වන ජාන න්‍යෂ්ටික අම්ල හා ප්‍රෝටීනවලින් සෑදී ඇති අතර ඒවා ජාරජම්බුල කිරණවලට සංවේදීය. එබැවින් අධික පාරජම්බුල කිරණ හේතුවෙන් ජාන විකෘතිතා ඇතිවී පිළිකා ඇතිවේ.
06. අධික ශක්තියක් ඇති පාරජම්බුල කිරණවලට නිරාවරණයවීමෙන් ශාක වර්ධනය අඩාලවේ. භෝග ඵලදාව අඩුවේ. විශේෂයෙන් රනිල කුලයේ ශාකවල වර්ධනය අඩුවේ. එබැවින් ඕසෝන් වයනේ විනාශය මන්දපෝෂණයට හේතුවේ.
07. පාරජම්බුල කිරණවල ශක්තිය වැඩිනිසා ඒවාට ජලය තුළ වැඩි දුරක් ගමන් කළ හැක. එවිට මත්ස්‍ය හා උභය ජීවී බිත්තර විනාශවීම හේතුවෙන් ජෛව විවිධත්වයට බලපෑම් එල්ලවේ. මත්ස්‍ය ගහනය අඩුවීම නිසා සාගරවල මත්ස්‍ය නිෂ්පාදනය අඩුවී ගෝලීය ප්‍රජාවගේ ප්‍රෝටීන අවශ්‍යතාවයන් සපුරා ගැනීම ගැටලුවක්වී මන්දපෝෂණය ඇතිවේ.
08. ඕසෝන් ක්ෂයකාරක වායු ප්‍රභල හරිතාගාර වායූන්ය. මේවායේ විශේෂ ලක්ෂණය නම් උෂ්ණත්වය රදවා ගැනීමේ හැකියාවයි. මෙම වායූන් අවකාශයේ වැඩිවීමෙන් වායු ගෝලයේ උෂ්ණත්වය ඉහළයයි. එමගින් මිහිතලය උණුසුම් වෙයි. එවිට ග්ලැසියර දියවී මුහුදු මට්ටම ඉහළ යයි. ඒ හේතුවෙන් පහත් දූපත් ජලයෙන් යටවේ. 

09. වායු ගෝලයේ උෂ්ණත්වය වෙනස්වීම නිසා දේශගුණ රටා වෙනස්වේ. එවිට නියමිත කාලයට වැසි නොලැබීමෙන් වගා විනාශවේ. දිගු නියන් සමයන් ඇතිවේ. කාලගුණ හා දේශගුණ විපර්යාස ඇතිවේ. වායු ගෝලයේ උෂ්ණත්වය වැඩිවීමෙන් ප්‍රතික්‍රියා සීඝ්‍රතාවය වැඩිවී තවදුරටත් ඕසෝන් විනාශය වේගවත්වේ.
සැකසුම:- විද්‍යා හා තාක්ෂණ නිළධාරි - මාවනැල්ල

0 comments:

Post a Comment