Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

September 29, 2017

නව පුනර්ජනන බලශක්තියක් ලෙස වාෂ්පීභවනය

සුර්යයා, සුළං සහ ජලය මගින් නිපදවන පුනර්ජනන බලශක්තින් අතරට නව පුනර්ජනන බලශක්ති නිර්මාණයක්   ලෙස වාෂ්පීභවනය භාවිතා කිරීමේ විභවයක් ඇතිවී තිබේ. බලශක්ති මුලාශ්‍රයක් ලෙස වාෂ්පීකරණය අනෙක් බොහෝ මුලාශ්‍රවලට වඩා අඛණ්ඩව ලබා ගත හැකි එකකි. දැනට මෙම තාක්ෂනය කුඩා පරිමාණයෙන් පමණක් ක්‍රියාත්මක කර ඇති අතර එය ඉහල පරිමාණයෙන් ක්‍රියාතමක් කළ හැකි නම් විදුලිය ලබා ගැනීම සදහා වඩාත් පලදායි ලෙස යොදා ගත හැකි බව බොහෝ අධ්‍යනයන්ගෙන් පැහැදිලිවී තිබේ.

ද්‍රව, වායු බවට පරිවර්තනය වීමේදී ශක්තිය උරා ගනියි. ජලය ජලවාෂ්ප බවට පරිවර්තනය කිරීම සදහා සැළකිය යුතු තරම් ශක්ති ප්‍රමාණයක් අවශ්‍ය වේ. ජලයේ මෙම අසාමාන්‍ය විශේෂ ගුප්ත තත්වය නිසා එය ශක්ති මුලාශ්‍රයක් නොව ශක්තිය රැස්කර ගන්නා ප්‍රභවයක් සේද සලකනු ලැබේ.

කොලොම්බියාවේ ජෛව භෟතිකවිද්‍යාඥ ආචාර්ය Ozgur Sahin නව වාෂ්පීභවන එන්ජිමක් වසර දෙකකට පෙර නිර්මාණය කළේය. වතුර උරා ගැනීම නිසා ඉදෙමෙන (ප්‍රසාරණය) වන බැක්ටීරියා බිජාණු මෙම එන්ජිමට යොදාගන තිබේ. අනුලම්භන රේඛනයක් සහිත පටියේ දෙපසටම බැක්ටීරියා බිජාණු සම්බන්ධ කර ආර්ද්‍රතාවය (තෙතමනය) වෙනස් කිරීම මගින් පටිය  ඇදීම සහ හැකිලීම සිදුකර තිබේ. පසුව එම ක්‍රියාවලිය පිස්ටනයක් හෝ භ්‍රමණ එන්ජිමක් ලෙස යොදා ගෙන තිබේ. බැක්ටීරියා බිජාණු සහිත කුඩා පටි අඩක් ජලය පිරුණු භාජන මත තැන්පත් කර මෙම තාක්ෂණය වැඩි දියුණු කිරීමෙන් කුඩා බලශක්තියක් නිර්මාණය කිරීමට ඔහු සමත් විය.

Nature Communication හි අදහස් පළ කරමින් Sahin සදහන් කලේ මෙවැනි එන්ජින් ඇමෙරිකාවේ විල්වල ස්ථාපනය කර වර්ග මිටරයකට වොට් 15 ක  බලයක් ජනිත කළ හැකි බවත් ඒ අනුව ඇමෙරිකාවේ ප්‍රධාන විල් හැර අනෙක් විල්වලින් පමණක් ගිගා වොට් 325 ක බලශක්තියක් ජාතික වශයෙන් ගොඩ නැගිය හැකි බවයි.

විල්වල නව වාෂ්ප එන්ජින් ස්ථාපනය කිරීම වියදම් අධික කාර්යයක් විය හැකි නමුත් සුර්යබලයෙන් හා සුළං බලයෙන් වාෂ්පීකරණය සිදු කළද එය නොනැවතී අඩු වේගයකින් හෝ රාත්‍රී කාලයේදීද සිදුවීම වඩා වැදගත් වේ. තවද වාෂ්පීකරණයෙන් බලගැන්වූ පද්ධති සදහා අවශ්‍ය කෝෂ ගබඩා ප්‍රමාණය සුර්ය සහ සුළං බලශක්තියෙන් බලගැන්වීමේ කෝෂ අවශ්‍යතාවයට වඩා අඩුය.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

https://youtu.be/XJjj2SF5q1s?t=9

ජීවමාන ස්වරුපයේ රොබෝ

ජීවමාන ස්වරුපයේ රොබෝ නිර්මාණය කිරීමට සුදුසු මෘදු මෙන්ම ඉතා ශක්තිමත් මාංපේශී කෘතිමව නිර්මාණය කිරීමට විද්‍යාඥයෝ සමත් වෙති. රොබෝවරුන්ගේ මොලය වර්ධනය කිරීම පසුගිය වසර කිහිපය තුල අඛණ්ඩව සිදුවුවද ඔවුන්ගේ ශරීරයේ බාහිර පෙනුම වෙනස් වුයේ සුළු වශයෙනි. 1970 දශකයේ  විද්‍යාත්මක ප්‍රබන්ධ වල දුටු යාන්ත්‍රික රොබෝ පෙනුම ඉවත් කිරීමට මේතාක් සමත්වී නැත. එනයින් බලනකළ මෙමක් විප්ලවීය නව ද්‍රව්‍ය අනාගත රොබෝ ප්‍රධානින් හැඩ ගැන්වීමට හෝ මෘදු සහ ශක්තිමත් මාංෂපේශී සහිත ජීවමාන ස්වරුපයේ රොබෝ නිපදවීමට සමත් වනු ඇත. ජීවමාන ස්වරුපයේ රොබෝ නිපදවීමේ ප්‍රධාන බාධකයක් ඉවත් කරමින් නව කෘතීම මාංපේශී තම බර මෙන් 1000 ගුණයක බරක් ඔසවන ලදී.

“ රොබෝ මනස දියුණු කිරීම සදහා අප ඉතා දියුණු පියවර තැබුවා ඒත් රොබෝ ශරීරය තවමත් ප්‍රාථමිකයි” ව්‍යාපෘති ප්‍රධානි Columbia Engineering ආයතනයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ මහාචාර්ය Hod Lipson පවසයි. “නව නිෂ්පාදනය දහස්වාරයක් හැඩ ගැන්වීමට සහ නැවත හැඩ ගැන්වීමට හැකියි. අප ජීවමාන රොබෝවරුන් නිපදවීම ක්‍රියාවලියේ අවසාන බාධකයද ජයගත්තා” Lipson තවදුරටත් පැවසිය.

නව ද්‍රව්‍ය ත්‍රිමාණ මුද්‍රණයෙන් ලබා ගත හැකිය. එය සංකෝචනය හා ප්‍රසාරණය වීමට බාහිර සම්පිඩකයක් හෝ අධි බලැති උපකරණ අවශ්‍ය නොවේ. කෘතීම මාංපේශීන් කුඩා විදුලි ආරෝපනයක් මගින් උණුසුම් කිරීමෙන් ප්‍රසාරණය කිරීමටද ශිත කිරීමෙන් සංකෝචනය කිරීමටද හැකිය. සිලිකන්, රබර් මිශ්‍රණයක් සමග ක්ෂුද්‍ර බුබුළු ලෙස සම්පුර්ණයෙන් ව්‍යාප්ත වූ එතනෝල් වලින් එය සමන්විත බැවින් පහසුවෙන් සකස් කර ගත හැකිය. සාපේක්ෂව අඩු වියදමකින් සහ පරිසර හිතකාමී අමුද්‍රව්‍ය වලින් මෙය නිපදවා තිබේ.

නව කෘතීම රොබෝ මාංපේශීන් පරිගණක පාලකයන් සහිත විවිධාකාර පරීක්ෂණවලට භාජනය කාර ඇතිඅතර එමගින් එය කදිම නිමවුමක් ලෙස පෙනී ගියහ. කෙසේවෙතත් ස්වභාවධර්මයේ සත්ව මාංපේශීන්වලට එයට අභියෝග කළ නොහැක. “ කෘතීම මාංපේශී වලට යම් බරක් තල්ලු කිරීමට, ඇදීමට, නැමීමට, කරකැවීමට සහ එසවීමට හැකියාව තිබේ. එනිසා ස්වභාවික මාංපේශීනට වඩාත් ආසන්න වශයෙන් සමාන කෘතීම මාංපේශී ලෙස මෙය සැලකිය හැකිය.” යැයි ප්‍රධාන කතෘ පශ්චාත් අචාර්ය රොබෝ පර්යේෂක Aslan Miriyev පවසයි.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

https://youtu.be/A8Ur1VUoB1k?t=1

September 28, 2017

ආලෝකය, ශබ්දයක් ලෙස ගබඩා කිරීම

ආලෝකය, ශබ්දයක් ලෙස ගබඩා කිරීමට විද්‍යාඥයින් ප්‍රථම වරට සමත්වී තිබේ. ඕස්ට්‍රේලියාවේ Sydney (සිඩ්නි) විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් ආලෝක තරංග මගින් දරාගෙන යන ඩිජිටල් (digital / සංඛ්‍යාංක) තොරතුරු microchip (මයික්‍රෝචිපය) තුල ශබ්ද තරංග බවට පරිවර්තනය කර තිබේ.

දත්ත ගබඩා කිරීම හා කළමනාකරණය සදහා ඉලෙක්ට්‍රෝන වෙනුවට ආලෝකය භාවිතා කරන පරිගණකවල photonic integrated circuit (ෆොටෝනමය සංඝටන පරිපථ) භාවිතා වේ. නව තාක්ෂණික සොයාගැනීම photonic integrated circuit තාක්ෂණයේ සංවර්ධනයට තීරණාත්මක ලෙස බලපානු ඇත.එලෙසම පරිගණකවල වැඩි උණුසුමක් සහ වැඩි ශක්ති පරිභෝජනයක් සිදුකරන විද්‍යුත්චුම්භක බාධක (electromagnetic interference) ඇතිනොවන පද්ධති සදහා නව තාක්ෂණය සංවර්ධනය කිරීමේ විභවයක් පවතියි.

ආලෝකය වේගවත් නිසා විදුලිසන්දේශන කාර්යයේදී එය ඉතා යෝග්‍ය වන නමුත් පරිගණකවල ක්‍රියායනය සදහා ආලෝකයේ අධි වේගය සුදුසු නොවේ. මේනිසා පර්යේෂකයින් ආලෝකය ශබ්ද තරංගවලට හැරවූ චිපයක් මගින් ආලෝකයේ වේගය අඩුකර පරිගණකයට සුදුසු ලෙස සැකසීමට උනන්දු වූ බව Nature Communication සඟරාව වාර්තා කරයි.

දැනටමත් ආලෝකය විදුලිසන්දේශනය සදහා භාවිතා කළද එම සංඥා අප භාවිතා කරන ඉලෙක්ට්‍රොනික උපකරණ වලදී ඉලෙක්ට්‍රෝනවලට පරිවර්තනය වේ. එනිසා බොහෝ ආයතන සම්පුර්ණයෙන්ම photonic microchip පද්ධතිවලට පරිවර්තනය වීමට උත්සහ කළද මෙතෙක් සාර්ථක වී නොමැත. නව සොයාගැනීම ඊටද පිලියමක් වීමේ විභවයක් ඇත.

“අපගේ පද්ධති කෙටි තරංග පථ වලට පමණක් සීමාවී නැත. එනිසා පෙර පද්ධතිවලට වඩා වැඩි වේගයකින් හා කාර්යක්‍ෂමතාවයකින්  එකවර විවිධ තරංග ආයාම වලින් යුත් උපකරණවල තොරතුරු ගබඩා කිරීමට සහ ලබාගැනීමට පුළුවන්” යැයි පර්යේෂණයේ පරිපාලක Birgit Stiller ප්‍රකාශ කරයි.

ප්‍රකාශ සන්නිවේදන (optical communication) පද්ධතිවලදී වර්තමාන සහ අනාගත අවශ්‍යතා සියල්ල සපුරාලීමට නව තාක්ෂණයෙන් හැකිවීම නිසා එය ප්‍රකාශ සන්නිවේදන ක්‍රියාවලියේ වැදගත් පියවරක් බව සම කතෘ මහාචාර්ය Benjamin Eggleton ප්‍රකාශ කරයි. වර්තමාන පරිගණක මාදිලි සහ අනාගත කොන්ටම් (quantum) පරිගණක අතර පරතරය photonic උපකරණ මගින් පියවනු ඇතැයිද වාර්තවේ සදහන් වේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

https://youtu.be/fRm99RvbbEY?t=93

September 27, 2017

එකම පසුතලයක රුප දෙකක්

එකම පසුතලයක එකිනෙකට සම්පුර්ණයෙන් වෙනස් පින්තුර හෝ ප්‍රතිරුප දෙකක් වෙන් වෙන්ව නැරඹිය හැකිසේ නිර්මාණය කිරීමට සමත් නව නැනෝ pixel (පික්සල්) විශේෂයක් හඳුන්වාදී තිබේ.

සාමාන්‍ය පික්සල් යනු පින්තුරයක හෝ ප්‍රතිරූපයක ඇති පාලනය කළ හැකි කුඩාම කොටසයි. එය යම් විශේෂ වර්ණයක් හා දීප්තියක් සහිත ඉතා සියුම් සමචතුරශ්‍රයකි. එක්සත් ජනපදයේ Glasgow විශ්ව විද්‍යාලයේ Alasdiar Clark හා ඔහුගේ කණ්ඩායම නිපදවා ඇති නව නැනෝ පික්සල් දෙක, එකක එක් පාදයක් මයික්රෝමිටරයකට වඩා කුඩාය. ඒවා වර්ණක හෝ ආලෝක තිත් වර්ගයක් නොවන අතර සිහින් ඇලුමේනියම් තහඩුවක සිදුරු වේ. මෙම විදුම් කුඩා අකුරු මෙන් දිග පාදයකින් හා කෙටි පාදයකින් සැදී තිබේ.

සෑම එක විදුමකම දිග ආලෝකයේ සෑම එක වර්ණයක තරඟ ආයාමයට අනුරුප වේ. සුදු ආලෝකය තහඩුව මත පතිත වූ විට එක වරකට එක වර්ණයක ආලෝකයට පමණක් මෙම සිදුරු තුලින් ගමන් කළ හැකිය. ප්‍රතිරුප හෝ පින්තුරු නැරඹීම සදහා තහඩුව, ආලෝක ප්‍රභවය හා නරඹන්නා අතර පිහිටිය යුතුය. සිදුරු පාදවල දිග හෝ සිදුරු අතර දුර වෙනස් කිරීම මගින් වර්ණ වෙනස් කිරීමට Clark ඇතුළු පර්යේෂක කණ්ඩායම සමත් වී තිබේ.

පින්තුරය ඇඳීමේදී සාමාන්‍යයෙන් බුරුසුව යම් වර්ණයක ගිල්වා වර්ණය ලබා ගෙන චිත්‍රණය කරනවා වෙනුවට මෙහිදී සිදුරු රටාව වෙනස් කිරීම සිදු කර පින්තුරය ගොඩනගන බව Central Florida විශ්ව විද්‍යාලයේ Debashis Chanda පවසා තිබේ. නියමිත පරිදි සිදුරු රටා සැකසීමෙන් පින්තුර හෝ ප්‍රතිරුප දෙකක් එකම පසුතලයක ස්ථාපනය කළ හැකි අතර විවිධ වර්ගයේ ධ්‍රැවිකරණ ආලෝකය මගින් පින්තුරු දෙක වෙන් වෙන්ව දැක ගත හැක.

මුදල් නෝට්ටු සදහා භාවිතයේදී වර්ණ බොහෝ කාලයක් බොද නොවී පැවතීම සුදුසු තත්වයක් නමුත් සියුම් වුවද තහඩු විශේෂයක් බැවින් නැවීම් ,කැඩීයාම සිදුවිය හැකිය. එම දුර්වලතාවය මඟහැරීමට හැකිවේ නම් නව පික්සල් නෝට්ටු , හොර නෝට්ටු ලෙස සකස් කිරීම අපහසු බැවින් වඩා ආරක්ෂාකාරී වේ.


අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

 https://youtu.be/xWSfbMeifJ0

September 26, 2017

දියනොවන අයිස්ක්‍රීම්

දරුවන් බොහෝ ප්‍රිය කරන පොප්සිකල් අයිස්ක්‍රීම් ඉක්මනින් දියවීම නිසා එය සිත්සේ රසවිදීම හා පිරිසිදුභාවය පිළිබද අපහසුතා ඇතිවීම සාමාන්‍ය සිදුවීමකි. එහෙත් මෙම තත්වය වෙනස් කිරීමට සමත් දියනොවන පොප්සිකල් අයිස්ක්‍රීම් නිපදවීමට ජපානයේ ඉංජිනේරුවන් පිරිසක් කටයුතු කර ඇති බව වාර්තා වේ. විශේෂත්වය නම් ඒ සදහා දායක වී ඇත්තේ වසර 6 කට පෙර ජපානයේ සිදුවූ සුනාමි හා භුකම්පනයන්ය.

ජපානයේ Kanazawa (කනසාවා) නගරයෙහි පිහිටි ජෛවචිකිත්සක පර්යේෂණ මධ්‍යස්ථානය (Bio-therapy Development Research Center) මගින් සංවර්ධනය කරන ලද නව අභිජනක පොප්සිකල් අයිස්ක්‍රීම් දැඩි උණුසුම් දිනයකදී පවා දිය නොවන බව වාර්තා වේ. ස්ට්‍රොබරි (strawberry) වලින් ලබාගන්නා polyphenol (පොලිෆෙනොල්) දියරය භාවිතා කර නව දියනොවන පොප්සිකල් අයිස්ක්‍රීම් සකස් කර තිබේ.

ජපානයේ Asahi Shimbun පුවත් පත වාර්තා කරන අන්දමට මෙය අහඹු සොයා ගැනීමකි. 2011 වසරේදී Tohoku හි හටගත් සුනාමි සහ භූමිකම්පා ව්‍යසන නිසා Fukushima Daiichi න්‍යෂ්ටික බලාගාරයේ උණුවී දියවීයාම් බහුල ලෙස සිදු විය. එමගින් විපතට පත්වූ Miyagi ප්‍රාන්තයේ ගොවීන්ට උපකාර කිරීමේ වැඩසටහන් මෙම නව නිෂ්පාදනයට හේතුවී තිබේ. සුනාමි හා භුමිකම්පන ව්‍යසනයෙන් ස්ට්‍රොබරි ගොවිතැන ප්‍රධාන කොට ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය සම්පුර්ණයෙන්ම පාහේ අඩපන විය. ස්ට්‍රොබරි කර්මාන්තය නැවත නගා සිටුවීම සදහා අවධානය යොමු කළ පර්යේෂණ කණ්ඩායම ස්ට්‍රොබරි වලින් ලබා ගන්නා polyphenol යොදා ගනිමින් නව රසකැවිලි නිෂ්පාදනය කරන මෙන් ප්‍රදේශයේ දක්ෂ කෝකිවරයෙකුට ආරාධනා කළේය.

මෙම කාර්යයේදී ඔහු නිෂ්පාදනය කරන ක්‍රිම් වර්ග සදහා polyphenol එකතුකළ විට ඒවා ක්ෂණිකව ඝනීභවනය වන බවට කෝකියා නිතර කළ පැමිණිල්ල සැලකිල්ලට ලක්කළ Kanazawa විශ්ව විද්‍යාලයේ ඖෂධවේදය පිළිබද විශ්‍රාමික මහාචාර්ය Tomihisa Ota දියනොවන පොප්සිකල් අයිස්ක්‍රීම් නිපදවීම සදහා එම ක්‍රමය භාවිතා කර තිබේ. දියනොවන අයිස්ක්‍රීම් නිෂ්පාදනය මිට පෙර එක්සත් රාජධානියේ අයිස්ක්‍රීම් ප්‍රවර්ධන වැඩසටහනකදී ඉදිරිපත් කර ඇති බවද වාර්තාවේ තවදුරටත් සදහන් වේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

https://youtu.be/lfGoE242KEg?t=5

හතරවැනි මාදිලියේ නව චොකලට් විශේෂයක්

පැණි රසැති ආහාර වලට ප්‍රියකරන පාරිභෝගිකයන්ගේ සතුට වඩවන හතරවැනි මාදිලියේ නව චොකලට් විශේෂයක් විද්‍යායින් විසින් නිපදවා තිබේ. මෙය දැනට පවතින චොකලට්ම රතුකැට ආකාරයෙන් මිහිරැති මිශ්‍රණයක් ලෙස ඉදිරිපත් කිරීමක් නොවේ. වසර 80 ක් වැනි දිගු කාලයකට පෙර සුදු චොකලට් ලොවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඉදිරිපත් කළ ප්‍රථම නවතම චොකලට් වර්ගය ලෙස මෙය හදුන්වාදී  තිබේ.

නව චොකලට් රෝස පැහැති වීමට හේතුව ඒ සදහා යෙදු වර්ණක හෝ සායම් නොවේ. Ruby Chocolate (රතුකැට චොකලට්) නිෂ්පාදනය කිරීමට යොදා ගත් Ruby කොකෝවා තුල අන්තර්ගත වර්ණ ස්වරුපය නිසා නව චොකලට් සදහා රෝස පැහැය ලැබී තිබේ.

Ruby Chocolate (රතුකැට චොකලට්) පලතුරු රසයකින් සහ සුළු ඇඹුල් රසයකින් යුක්තය. මෙම පැණිරස සංග්‍රහය නිර්මාණය කිරීම සදහා Zurich නුවර පිහිටි Barry Callebaut සමාගම වසර 13 කට වැඩි කාලයක් පර්යේෂණ කළ බව වාර්තා වේ. නව චොකලට් පිලිබදව හදුන්වාදෙමින් සමාගම ප්‍රකාශ කළේ එය ඉන්ද්‍රිය කුල්මත් කරන්නක් බවයි. berry පලතුරු සහ අතිමධුර මෘදු බව අතර තත්වයක් එහි ඇති බව ඔව්හු තවදුරටත් සදහන් කළහ.

පසුගිය මස Shanghai නුවර පැවැත්වූ විශේෂ උත්සවයකදී හතරවැනි මාදිලියේ Ruby Chocolate ප්‍රථම වරට ලොවට හදුන්වාදෙන ලද අතර දැනට විශාල පරිමාණයෙන් ලොව පුරා සිටින රසකැවිලි අලෙවිකරුවන් වෙත පමණක් එය නිකුත් කරයි. නුදුරු අනාගතයේදී Ruby Chocolate සාමාන්‍ය වෙළදපොලෙන් මිලදී ගැනීමට හැකිවනු ඇතැයි සමාගම ප්‍රකාශ කරයි.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

https://youtu.be/ERSaxhRp6DU?t=15

September 19, 2017

සමනළ තටුවල වර්ණ රටා රහස්

සමනළ තටු (පියාපත්) වල වර්ණ සහ රටා වෙනස් කිරීමට විද්‍යායින් සමත් වී ඇති බව වාර්තා වේ. painting gene (චිත්‍රණ ජාන)” සුළු වශයෙන් වෙනස් කිරීමෙන් ඔවුන් මෙම ප්‍රතිපල ලබා ගෙන තිබේ.
සමනළයාගේ සාමාන්‍ය පියාපතක් (වම් පස) හා ජාන වෙනස් කර ඇති කළ පියාපතක් (දකුණු පස) අතර සංසන්දනාත්මක වෙනස රුපයෙන් දැක්වේ.

මෙහිදී පර්යේෂකයන්ගේ ප්‍රධාන අරමුණ වුයේ “rule of life (ජිවන රීතිය)” ලෙස හදුන්වන ජාන සහ පරිණාමනය මගින් ජෛව විවිධත්වය සිදුවන ආකාරය පිළිබද යම් අවබෝධයක් ලබා ගැනීමයි.

WntA ජානයේ ක්‍රියාකාරිත්වය අධ්‍යනය සදහා පර්යේෂක කණ්ඩායම දියුණු ජාන සංස්කරණ තාක්ෂණයක් වූ CRISPR/Cas9 මගින් ස්වභාවධර්මයේ විශ්මිත නිමැවුමක් වූ සමනළ තටුවල වර්ණ සහ රටා වෙනස් කළේය. සමනළ විශේෂ 7 කගේ ජාන ඉවත්කිරීමෙන් උන්ගේ පෙනුම විප්ලවීය ලෙස වෙනස් කිරීමට පර්යේෂකයෝ සමත් වුහ. ඔවුන් බලාපොරොත්තු නොවූ ආකාරවලින් පියාපත්වල වර්ණ සහ රටා වෙනස් වී ඇත.

සමනළයින්ට ඉතා වර්ණවත් ලස්සන තටු ලැබී ඇත්තේ සහකාරයින් සොයා ගැනීම සදහා ආකර්ශනීය ලිංගික වර්ණ යොදා ගැනීමට හෝ විලොපයන්ගෙන් උන් ආරක්ෂා වීම සදහා යම් ආකාරයක වර්ණ  හා රටා අනුවර්තනයකට බව අපගේ පිළිගැනිම යැයි  පවසන පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධාන විද්‍යාඥ ඇමෙරිකාවේ ජෝර්ජ් වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ Arnaud Martin තවදුරටත් සදහන් කළේ “අභිරහස නම් සමනලයින් එසේ කරන්නේ කෙසේද ? රේඛා, තිත් හා සංකිර්ණ නිමැවුම් මෙන්ම යම් ලක්ෂණයක් දීර්ඝ පරිණාමන කාල පරාසයක් තුල පවත්වා ගන්නේ කෙසේද?”

CRISPR තාක්ෂණය මගින් එක් සමනළ විශේෂයක් තුල මෙම ජානයේ විවිධ ක්‍රියාකාරිත්වයන් ක්‍රමයෙන් විකාශනය වන බව පැහැදිලි කරන අතර පොදු ප්‍රකෘතියක් මත විවිධත්වයක් සහිත රටා පරිණාමය වීම පිලිබදව සමනළ විශේෂයන් අතර සුවිශාල සංසන්දනයක්ද නිරූපණය කරයි.

මෙම සොයාගැනීම මිනිසා ඇතුළු වෙනත් සත්ව විශේෂයන් පිළිබද අධ්‍යනයෙදී ප්‍රයෝජනවත් වනු ඇතැයි පර්යේෂකයෝ පවසති. ජාන සංස්කරණය සම්බන්ධව CRISPR තාක්ෂණය විප්ලවීය වේ. සමහර විද්‍යාඥයින් මානව කළල ජාන සම්බන්ධව පරීක්ෂණ පවත්වන බවත් මේ සියල්ලන්ගේම අවසාන ඉලක්කය ජානමය රෝග වැලැක්වීම බවත් වාර්තාවේ සදහන් කර තිබේ.


අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ : හර්ෂ ලංකේශ්වර 

September 15, 2017

පරිගණක කේත විසදුමට $ මිලියනයක ත්‍යාගයක්

“Queen Puzzle” නමින් ප්‍රසිද්ධ චෙස් ක්‍රීඩාවේ සරල ප්‍රහේලිකාවක් විසදීමට සුදුසු කාර්යක්ෂම ,පහසු හා වේගවත් පරිගණක කේත (computer code) නිර්මාණය කළ හැකි නම් ඒ සදහා ඩොලර් මිලියනයක ත්‍යාගයක් ලබාදීමට සුදානම් බව Mail Online / Science Tech සඟරාව වාර්තා කර තිබේ. St Andrew විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පවසන පරිදි එවැනි පරිගණක කේතයක් සකස් කළ හැකි නම් එමගින් තොරතුරු තාක්ෂණ සේවය සම්පුර්ණයෙන්ම වෙනසකට භාජනය කළ හැකිය. ඒ සදහා ඇමෙරිකාවේ Clay Mathematics ආයතනය මගින් $ මිලියනයක ත්‍යාගයක් ලබාදෙන බවද එම වාර්තාවේ සදහන් වේ.

 Queen Puzzle” චෙස් ක්‍රීඩාවේ සරල ප්‍රහේළිකාවකි. 8x8 චෙස් පුවරුවක Queen (රැජිණ) ඉත්තන් 8 ක් එකිනෙකාට ප්‍රහාර එල්ල කළ නොහැකි ලෙස ස්ථාන ගත කළ යුතුය. මෙය චෙස් පුවරුවේ ප්‍රමාණය විශාලවීම සහ ඒ අනුව වැඩිවන රැජිණ ප්‍රමාණය සදහාද නිවැරිදි විය යුතුය. එනම් කිසිදු රැජිණ ඉත්තන් දෙදෙනෙකු එකම තීරුවක (column), එකම පේළියක (row) සහ එකම විකර්ණයක (diagonal) පිහිටිය නොහැකිය.

මෙම ගැටලුව සදහා පළමු විසදුම 1850 දී එනම් බොහෝ කාලයකට පෙර ඉදිරිපත් වී ඇති අතර වර්තමාන චෙස් ක්‍රීඩකයෙකුටද විසදිය හැකිය. එනමුත් ඒ සදහා නිර්මාණය වූ සියලු පරිගණක ක්‍රමලේඛන (කේත) චෙස් පුවරුවේ ප්‍රමාණය (කොටු ගණන) විශාල වු විට කාර්යක්ෂම ,පහසු හා වේගවත් නොවේ. එනම් විශාල චෙස් පුවරුවක් සදහා එම පරිගණක ක්‍රම ලේඛන ක්‍රියාකාරිත්වය තවදුරටත් පහසු  නොවේ.

facebook (මුහුණු පොත) පාඨකයන් අතර මේ සදහා උනන්දුවක් පවතින අතර නිවැරිදි පරිගණක ක්‍රමලේඛනයක් නිර්මාණය කළේ නම් එය බොහෝ පරිගණක ගැටළුවලටද පිළියම් ලෙස භාවිතා කළ හැකි බව මාහාචාර්ය Ian Gent පවසා තිබේ. නිවැරිදි සැකසුම් සහිත ස්ථාන ගත කිරීම් 92 ක් මිනිසුන් විසින් සොයා ගෙන තිබේ (සැකසුම් අවස්ථා 4,426,165,368 කින්). ඉන් විසදුම් කිහිපයක් රුපයෙන් දැක්වේ.  8x8 ප්‍රමාණයට වඩා වැඩි මාන සහිත පුවරු සහ ඒ අනුව වැඩි රැජිණ ඉත්තන් සදහා විසදුම් සෙවීම පරිගණකයටද විශාල අභියෝගයක් වී තිබේ. 
  
උදාහරණයක් ලෙස 27 x 27 ප්‍රමාණයේ චෙස් පුවරුවක රැජිණ ඉත්තන් ගැටලුවේ පරිදි ස්ථාන ගත කිරීම් සදහා සැකසුම් අවස්ථා 234,000,000,000,000,000 (234x1015 /ක්වඩ් ඩ්‍රිලියන 2.34) ක් පවතියි. මේනිසා මෙහිදී පරිගණකය සාමාන්‍යයෙන් අනුගමනය කරන සියලු සැකසුම් පරික්ෂා කිරීමේ ක්‍රමවේදය ඉතා අපහසු ක්‍රමයක් බවත් නව අධ්‍යනයක් අනුව 1000x1000 ප්‍රමාණයේ චෙස් පුවරුවක රැජිණ ඉත්තන් 1000 ක් ස්ථාන ගත කිරීමේදී පරිගණකය පතුලක් නොපෙනන ගණනය කිරීමේ අගාදයකට ඇද වැටෙන බවද වාර්තා වේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර
http://www.dailymail.co.uk/sciencetech/article-4840716/Crack-Queens-Puzzle-win-1-million-prize.html

September 13, 2017

වේදනාව හඳුනන පරිගණකය

පුද්ගලයා කොතරම් වේදනාවකින් පෙළෙන්නේදැයි ඔහුගේ හෝ ඇයගේ මුහුණු නිරීක්ෂණය කර වෛද්‍යවරයාට වාර්තා කිරීමට සමත් පරිගණක ක්‍රමවේදයක් නිර්මාණය කර තිබේ. රෝගියාට කළ යුතු ප්‍රතිකාර පිළිබඳ වෛද්‍යවරයාට විශාල සහයක් මෙමගින් ලැබේ. එක් එක් පුද්ගලයාට අදාල මුහුණේ සියුම් ඉරියව් හඳුනාගැනීමෙන් හා ක්‍රමාංකනය කිරීමෙන් සකස් කර ඇති නව පරිගණක ක්‍රමවේදය මගින් සාමාන්‍යෙයන් මිනිස් ඇස තිබෙන සියුම් ඉරියව් හඳුනාගැනීමේ අපහසුතා මගහැරී ඇත. එනම් ව්‍යාජ නිරිභීත භාවයක් පෙන්වා නව ක්‍රමවේදය රැවටිය නොහැකි බව වාර්තා වේ.

මෙම ප්‍රමිතිය මගින් සත්‍ය හා ව්‍යාජ වේදනාව වෙන්කර හඳුනාගත හැකි බව එක්සත් ජනපදයේ Pittsbburgh විශ්ව විද්‍යාලයේ Jeffrey Cohn පවසයි. ඇබ්බැහිවීමේ ප්‍රවනතාවයන් සහිත වේදනා නාශක සාවද්‍ය වේදනා සඳහා නිර්දේශ නොකිරීමටද මෙය උපකාරී වේ.

වේදනාවේ ප්‍රමාණය මැනීම දුෂ්කර කාර්යයක් බව නව ක්‍රමයේ නිර්මාතෘ මැෂචුසේට්ස් තාක්ෂණ ආයතනයේ (MIT) Dianbo Liu සදහන් කර තිබේ. මිනිසුන් අත්දකින සහ ඔවුන්ගෙන් ප්‍රකාශ වෙන වේදනාව විවිධාකාර වන නිසා රෝගියාගේ වේදනාව පිළිබද වෛද්‍යවරයාගේ නිරීක්ෂණය සමහරවිට රෝගියාගේ ස්වයං වාර්තාවට වඩා වෙනස් වේ.

පර්යේෂණයේදී Liu සහ ඔහුගේ කණ්ඩායම මිනිසුන් වේදනාවෙන් පිඩා විදින විට ඔවුන්ගේ මුහුණු පුලුටුවිම වැනි වෙනස් වීම් අවස්ථා වීඩියෝගත කර පර්යේෂණය සදහා විවිධාකාරයෙන් භාවිතා කර තිබේ. උරහිස් වේදනාව සහිත රෝගීන් විශාල පිරිසක් සහභාගී කර ගනිමින්  ඔවුන්ට වේදනාව දැනීමට හේතුවන විවිධ ශාරීරක චලනයන් සිදුකිරිමට යොමු කර ඔවුන්ගේ මුහුණේ ඉරියව් මගින් ප්‍රකාශ වන වේදනාව පටිගත කර ඇත.

ඉන්පසුව එක් එක් ඉරියව් වලදී ඇතිවූ වේදනාව වර්ගීකරණය කිරීමේ පරිගණක ක්‍රමවේදයක් (ඇල්ගොරිදමයක්) සකසා සාමාන්‍යයෙන් තේරුම් ගැනීමට අපහසු මුහුණේ ඉරියව් අනුව එක් එක් පුද්ගලයාට වේදනාව දැනීමේ ප්‍රමාණය අනුමාන කරන ලද බව වාර්තාවේ සදහන්ය.

වේදනාව ප්‍රධාන වශයෙන් හොදින් නිරුපනය කරන මුහුණේ සුවිශේෂී කොටස් තිබේ.  උදාහරණයක් ලෙස නාසය හා මුඛය අවට සිදුවන චලනයන් ස්වයං වේදනා වාර්තා ඉදිරිපත් කිරීමට සමත් ය. වයස, ලිංගිකත්වය සහ සමේ වර්ණය අනුව වේදනාව නිරුපණය වීම විවිධාකාර බව Liu ප්‍රකාශ කරයි.

මිට අමතරව නව පරිගණක ක්‍රමවේදය මගින් වේදනාවේ ප්‍රමාණය හදුනාගැනීමේ නිරවද්‍යතාවය 85% ක ප්‍රතිශතයක් වූ අතර පුහුණුව ලද මිනිසුන් විසින් වේදනාවේ ප්‍රමාණය හදුනාගැනීමේ නිරවද්‍යතාවය 55% ක ප්‍රතිශතයක් විය. පරීක්ෂණය සදහා රෝගීන්ගේ වේදනාව පටිගත කරීමේදී බොහෝ දුරට පරිපුර්ණ ආලෝකකරණ සහ ජායාරුපකරණ තත්ත්ව භාවිතා කළ බවද වාර්තා වේ.කෙසේවෙතත් නව පරිගණක ක්‍රමවේදය තවදුරටත් දියුණු කළ යුතු බවද Liu ඇතුළු කණ්ඩායම ප්‍රකාශ කර තිබේ.


අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර.

September 12, 2017

වැඩි වේදනාවක් (පීඩාව) ලබාදෙන වෙන්වීම

වැඩි වේදනාවක් (පීඩාව) ලබාදෙන වෙන්වීම පිළිබදව මෑතකදී විද්‍යාත්මක පරීක්ෂණයක් මගින් කරන ලද අධ්‍යනයක තොරතුරු වාර්තා වී තිබේ. ඔබට සත්‍යවශයෙන්ම දැඩි වේදනාවක් (පීඩාව)  දැණුනු වෙන්වීම් පිලිබද මතක තිබේද? එයින් ඔබ කොතරම් අපහසුතාවයකට පත්වුයේද? ආහාර ප්‍රිය නොවීම, නින්ද නොයාම මෙන්ම ඇත්තවශයෙන් ඔබ තවදුරටත් නොපවතින්නේය යන හැඟීම් සහ අවස්ථාවන්ට ඔබ මුහුණ දුන්නේද?

“Comparative Rejection (සංසන්දනාත්මක ප්‍රතික්ෂේපවිම )” ලෙස හදුන්වන වැඩි වේදනාවක් ලබාදෙන වෙන්වීම සම්බන්ධව අන් අයගේ බලපෑම පිළිබද වාර්තාවක් Personality and Social Psychology (පෞරෂය හා සමාජ මනෝවිද්‍යාව) සඟරාවේ පළවිය. මෙම වාර්තාව Cornell විශ්වවිද්‍යාලය මගින් කළ අධ්‍යනයකි. සංසන්දනාත්මක නොවන හේතු මත සිදුවන ප්‍රතික්ෂේප කිරීමකට වඩා බොහෝ සේ වැඩි වේදනාවක් සංසන්දනාත්මකව සැලකීමේ හේතු මත සිදුවන ප්‍රතික්ෂේප කිරීමෙන් සිදුවන බව පර්යේෂණයෙන් පැහැදිලි වූ බව එම වාර්තාවයි. සංසන්දනය නිසා සිදුවන ප්‍රතික්ෂේප කිරීම මගින් තමා බැහැර කිරීම පිලිබදව හැඟීම වැඩිවීමත් සමග  තමාගේ හිමිකාරිත්වය අඩුවන හැඟීම් ඇතිවන ආකාරයේ වෙන්වීමක් සිදුවීම මෙයට හේතුව ලෙස දක්වා තිබේ.

මෙම අධ්‍යනයේදී පුද්ගලයින් 600 කගේ සහභාගිත්වයෙන් පර්යේෂණ වර්ග 4ක් ක්‍රියාත්මක කර තිබේ. පළමු පරීක්ෂණයට විද්‍යාඥයින් සමග රහස්‍ය ලෙස එක්ව සේවය කරන කාන්තාවන් 2 ක් හා බාහිර එක පුරුෂයෙක්  ඇතුලත් විය. එහිදී එක් කාන්තාවකට ප්‍රහේලිකාවක් විසදීමට බාරදෙන ලද අතර ඇයට ඉතිරි කාන්තාව හෝ පුරුෂයා යන දෙදෙනාගෙන් එක් අයෙකු සහය සදහා එක්කර ගැනීමට හෝ කිසිවෙකුගේ සහය ලබා නොගැනීමට ප්‍රසිද්ධියේ උපදෙස් දෙන ලදී. එහෙත් පුරුෂයා සහයට එක්කර නොගන්නා ලෙස රහස්‍ය පණිවිඩයක් ඒ සමගම එම කාන්තාවට පමණක් ලබාදෙන ලදී. එනිසා එම කාන්තාව පුරුෂයා ප්‍රතික්ෂේප කිරීම හෝ පුරුෂයාව කණ්ඩායමෙන් ඉවත් කිරීම, ප්‍රතික්ෂේප වීම හෝ වෙන්වීම සිදුවිය. එමගින් පුරුෂයාට ඇති වූ වේදනාව (පීඩාව) නිරීක්ෂණය කරන ලදී.

දෙවන පරීක්ෂණයට වැඩි පිරිසක් සහභාගී වූ අතර එහිදී ඔවුන් සියලුදෙනාගේම තම ජිවිත කාලයේදී වෙන්වීම හෝ ප්‍රතික්ෂේප කිරීම නිසා ලද අත්දැකීම් පිළිබද ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

මෙම පරීක්ෂණ දෙකෙහිම ප්‍රතිපල නිරීක්ෂණයේදී තමා වෙනුවට වෙනත් අයෙකු තෝරා නොගෙන කළ ප්‍රතික්ෂේප කිරීම හෝ වෙන්වීමේ වේදනාවට වඩා වැඩි සියුම් වේදනාවක් තමා වෙනුවට වෙනත් අයෙකු තෝරාගන්නා ලද අවස්ථාවලදී ඇතිවී තිබෙන බව හදුනාගෙන තිබේ.

තවත් පරීක්ෂණයකදී තමා තෝරා නොගැනීමට හේතුව පිළිබද පැහැදිලි පිළිතුරක් ලබා ගැනීම සදහා ඔවුන් බොහෝ වෙහෙස වූ බව නිරීක්ෂණය විය. පිළිතුරු නොලද විට තමා තෝරා නොගැනීමට හේතුව ලෙස පරීක්ෂණයට අදාළ නොවූ රහස් පුද්ගලයකු හෝ සම්බන්ධ බවට ඔවුන් උපකල්පනය කළ බවද නිරීක්ෂණය විය.

ප්‍රතික්ෂේප කිරීම මගින් වෙන්වීම නිසා ඇතිවන වේදනාව (පීඩාව) පිළිබද පර්යේෂකයන්ගේ උපදේශය වුයේ අප කැමති හෝ අකමැති වුවද ප්‍රතික්ෂේප වීම /වෙන්වීම මගින් වැඩි වේදනාවක් ඇතිවීම මෙම පර්යේෂණවල ප්‍රතිපල මෙන් සාමාන්‍ය තත්වයක් බව අවබෝධයෙන් උපේක්ෂා සහගතව එයට මුහුණ දිය යුතු බවයි. පවුලේ කිසිවකු නොමළ නිවසකින් අබ සොයාගත  නොහැකි වීමෙන් මරණය ප්‍රායෝගික තත්වයක් බව අවබෝධ කරගෙන වියෝවේ වේදනාවට යම් සහනයක් ලබා ගත් බව මෙහිදී සිහිපත් කළ යුතුය.   


අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ : හර්ෂ ලංකේශ්වර