Bringing you the latest information in the field of Technology and Research

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Authored by National Vidatha Network Writers

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Adapted from renowned international sources

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Educational blog for future generation of the nation

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

Project of the Ministry of Science,Technology and Research, Sri Lanka

විද්‍යා,තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයෙන් ජාතියේ දරුවන්ට පිදෙන තිළිණයකි | நாட்டு குழந்தைகளுக்கான விஞ்ஞான தொழில்நுட்பவியல் ஆராய்ச்சி அமைச்சின் வெகுமதி

November 21, 2018

ජෛව පරිණාමය 2

ඉංශ්‍රීසි ජාතික රොබට් චාල්ස් ඩාවින්
(Robert Charles Darvin1809-1882) ස්වාභාවික වරණ වාදය (Theory of Natural Selection) ඉදිරිපත් කල අතර එය ඔහු විසින් ප්‍රකාශයට පත් කල “The Origin of Species by means of Natural Selection” නම් කෘතියේ සඳහන්ව ඇත. ඩාවින් වාදය ගොඩ නැගී ඇත්තේ සත්ව ගහනවල කරනු ලැබු නිරීක්ෂණ 02 හා ඒ ඇසුරෙන් ගොඩනගන ලද උපකල්පන 03 පදනම් කරගෙනය.
ඩාවින් වාදයට පදනම් වූ නිරීක්ෂණ වුයේ අධිජනනය හා ප්‍රභේදනයයි.
සතුන් ජීවිත කාලය පුරාවට ප්‍රජනනය මගින් ජනිතයන් ඉතා අධික සංඛ්‍යාවක් නිපදවති. මෙසේ නිපදවනු ලබන සංඛ්‍යාව නොනැසී පවතින සංඛ්‍යාවට වඩා විශාලය. ජනිතයන් ප්‍රජනනය කරන අවධිය තෙක් ජීවත් වී ප්‍රජනනය කළ හොත් ඇති වන ජනිතයන් සංඛ්‍යාව අති මහත් වීම අධිජනනය ලෙස හැඳින්වේ.
ගහනයකට අයත් සතුන් සියල්ලම එක සමාන නොවන අතර ස්වරූපය, ක්‍රියාකාරීත්වය සහ චර්යාව ආදියේ ඇති එකම විශේෂයේ සතුන් අතර වෙනස් කම්  ප්‍රෙභේදන ලෙස හැඳින්වේ.



අලින් වසර 100 පමණ ජීවත් වන අතර ඇතින්නක් තම ජීවිත කාලය තුලදී පැටවුන් 6 පමණ බිහිකරයි. මේ අනුව වසර 750 ක කාලයකදී ජීවත් වන අලි සංඛ්‍යාව 19 000 000 පමණ වන බව ඩාවින් ගණනය කලේය.
කෙසේ වෙතත් ගහනයක සිටින ජීවීන්  සංඛ්‍යාව උක්ත අලි ගහනයේ ගණනය කිරීමේ ආකාරයට කාලයත් සමග අධික ලෙස වැඩි නොවේ. ඊට හේතුව තරඟය, අහිතකර පාරිසරික තත්ත්ව ආදී විවිධ සාධක ගහනයක නිසා ජීවීන් සංඛ්‍යාව අසීමිත ලෙස වැඩි වීම පාලනය වීමයි.
උස,මහත,වර්ණය, ගතිගුණ ආදී  ලක්ෂණ අතින් එකම පවුලේ සහෝදර සහෝදරියන් අතර ඇති වෙනස් කම් මගින් ප්‍රභේදන නිසා එකිනෙකා සර්වසම නොවේ.
ප්‍රභේදන වර්ග කිහිපයකි. එම් සන්තත ප්‍රභේදන, අසන්තත ප්‍රභේදන, ආවේණික ප්‍රභේදන, ආවේණික නොවන ප්‍රභේදන ලෙස චාල්ස් ඩාවින් විසින් විස්තර කර දී ඇත.
 සන්තත ප්‍රභේදන යනු යම් ගහනයක සාමාජිකයන් සැලකිල්ලට ගත් විට ඔවුන් අතර ක්‍රම ක්‍රමයෙන් වෙනස් වන ලක්ෂණයි. උදාහරණ ලෙස මිනිසාගේ සමේ වර්ණය,උස, බුද්ධිය ආදී ලක්ෂණ
අසන්තත ප්‍රභේදන යනු යම් ගහනයක සාමාජකයන් අතර පවතින පැහැදිලි ලෙස එකිනෙකින් කැපී පෙනෙන ලක්ෂණයි.



 උදාහරණ ලෙස ඇසේ වර්ණය, හිමොෆීලියාව,ඇලි බව,වර්ණාන්ධතාව, දිව රෝල් කිරීමේ හැකියාව ආදී ලක්ෂණ
ආවේණික ප්‍රභේදන යනු ඊලඟ පරම්පරාවට උරුම විය හැකි ලක්ෂණයි. උදාහරණ ලෙස සමේ වර්ණය, වර්ණාන්ධතාව ආදී ලක්ෂණ
ආවේණික නොවන ප්‍රභේදන යනු ඊලඟ පරම්පරාවට උරුම නොවන ලක්ෂණයි. උදාහරණ ලෙස හිරු එලියේ බලපෑම නිසා සම තාවකාලික තද පැහැයක් ගැනීම ආදී ලක්ෂණ
නමුත් ඩාවින්ගේ පරිණාම වාදයට අනුව පරිණාමික ක්‍රියාවලියට හේතු සාධක වනුයේ ආ‍වේණික ප්‍රභේදන පමණි.
ඩාවින් වාදයට පදනම් වූ උපකල්පන වුයේ ජීවන සටන හා උචිතෝන්නතිය හා ස්වභාවික වරණයයි.
අප ජීවත් වන පෘථිවියේ ආහාර,වාසස්ථාන,ජලය ආදී ස්වභාවික සම්පත් සීමිත වලට උපයෝගයෙන් තම ජීවිතය පවත්වාගෙන යාමට ජීවීන් අතර ඇති නිරනිතර තරඟය ජීවන සටන ලෙස හැඳින්වෙන අතර එහිදී විවිධ විශේෂ වල සාමාජිකයන් අතර ඇති වන තරඟය අන්තර් විශේෂ තරඟය ලෙසත් එකම විශේෂයේ සාමාජිකයන් අතර ඇති වන තරඟය අන්තඃ
ජීවන සටනට මුහුණ දීමේදී වාසිදායක ප්‍රභේදන දරන සතුන්ට පරිසර සම්පත් ලබා ගෙන පරිසරය තුළ නොනැසී ජීවත් වීමට වැඩි හැකියාවක් ඇති අතර ගහනයේ පැවැත්ම සඳහා උචිත සතුන් ලෙස ඔවුහු පරිසරය තුල ඉතිරි වීමේ ක්‍රියාවලිය උචිතෝන්නතිය නම් වේ.
උචිතෝන්නතියෙන් ඉතිරි වන ජීවීහු වාසිදායක එනම් පරිසරය තුළ ජීවත් වීමට උචිත වන ප්‍රභේදන ප්‍රජනනයෙන් ජනිතයන්ට සම්ප්‍රේශණය කරයි.  ජීවත් වීමට උචිත නොවන ප්‍රභේදන දරණ ජීවීහු බොහෝ විට ප්‍රජනන කාලයට පෙර මිය යයි.
උචිතෝන්නතිය නිසා ඉතිරි වන ජීවින් ප්‍රජනනයෙන් නව වාසිදායක ප්‍රභේදන දරන ජීවීන් බිහි කිරීම නිසා අවාසිදායක ලක්ෂණ දරණ ජීවීන් ගහනයෙන් කාලයත් සමග ඉවත්වේ. උචිත ප්‍රභේදන දරන සත්තු ස්වාභාවික ලෙස තේරීමකට ලක් වී ගහනයෙහි ඉතිරි වීම ස්වාභාවික වරණය ලෙස චාල්ස් ඩාවින් නම් කලේය.මේ අනුව එක් විශේෂයක ජීවීන්ගේ පරම්පරා ගණනාවකට පසු ඇති වන ජීවීන් පලමු ජීවීන්ට වඩා බොහෝ වෙනස් වීමට හැක. 



මේ අනුව එක් විශේෂයකින් අළුත් විශේෂයක් ඇති විය හැක. මෙලෙස මුලින් ඉතා සරළ ජීවීන් ඇති වී අවුරුදු මිලියන ගණනාවකට පසු සංකීර්ණ ජීවීන් ඇති විය මෙය ජෛව පරිණාමයයි.

තුෂංග හේරත්, 
විද්‍යා හා තාක්ෂණ නිලධාරී,
හාලිඇල




ජෛව පරිණාමය හෙවත් ජීවය ඇති වු අයුරු 1

විවිධ ආගමික මිත්‍යා විශ්වාසයන්ට ගොදුරුව සිටින අවිද්‍යාත්මක මිනිසාට තම පරිණාමණය හා නොපෙනෙන දෙවියන් පිලිබඳ සත්‍ය අවබෝධය පිණිස මෙම ලිපි පෙළ මෙසේ ලියා දක්වන වගයි.
ජීවීන් වසන අප දැනට දන්නා ග්‍රහලොව වන අප වාසය කරන පෘථිවියේ සත්ත්ව කොට්ඨාශ අතර විවිධ වෙනස් කම් පවතී. එම  විවිධත්වය සෛලීය ලෙස ගත්කල ඒකසෛලික සිට බහු සෛලික දක්වා වර්ග කල හැකිය. ඒකසෛලික ජීවීන් ලෙස ඇමීබාවන්, පැරමීසියම්, බැක්ටීරියා, දීලීර, වයිරස සිට ගෙම්බන්, තල්මසුන් ආදීන් බහුසෛලික ජීවීන් ලෙස හඳුනාගත හැක. සජීවී ශාක අතරද මෙලෙස විවිධත්වයක් දැකිය හැකිය. මෙම විවිධත්වයට හේතු වනුයේ ජෛව පරිණාමික ක්‍රියාවලියයි.










ජෛව පරිණාමය යනු එක් ජීවී කාණ්ඩයක් කාලයත් සමඟ ක්‍රම ක්‍රමයෙන් වෙනස් වෙමින් වෙනත් ජීවී කාණ්ඩයක් බවට පත් වීමයි.
ජෛව පරිණාමිය ක්‍රියාවලිය 1930 දශකයේ ලංකාවේ මැලේරියා පැතිරීමට හේතු කාරක වන ඇනොපිලස් (Anopheles) මදුරුවන් DDT වලට දැක්වු ප්‍රතිරෝධයෙන් හා එංගලන්තයේ කාර්මීකරණය නිසා වු (Biston betularia) සලබ ගහනයේ වු පරිණාමික වෙනස් කම් මගින් මනාව තහවුරුවේ. 





මෙම උදාහරණ දෙකෙහිම ගහනය තුළ වු උචිත නොවු ලිංගික ව ප්‍රජනනය කරන සාමාජිකයන් පිරිස කාලයත් සමග ගහනයෙන් ඉවත්ව යාම නිසා ඔවුන්ගේ ජාන ගහනයෙන් ඉවත් විය.  මේ අනුව ගහනයක ජාන සංඛ්‍යාතය අනුයාත පරපුරෙන් පරපුරට වෙනස් වීමේ ක්‍රියාවලියක් ජෛව පරිණාමයේදී සිදුවේ.



ජෛව පරිණාමය යන්න වඩාත් නිවැරදි ව අර්ථ දැක්වෙන්නේ පරම්පරාවෙන් පරම්පරාවට ජීවී ගහනයක ජාන සංඛ්‍යාතයේ සිදු වෙන වෙනස් වීමක් යනුවෙනි. ජෛව පරිණාමයට ලක්වනුයේ යම් විශේෂයක සමස්ථ ගහනයම මිස එහි තනි සාමාජිකයකු නොවේ.



පරිණාමික වෙනස්වීමක් සිදු වීමට වසර මිලියන ගණනාවක් හෝ ඊට වැඩි කාලයක් ගත විය හැකි අතර මුල්ම ජීවය බිහිවු ජලජ පරිසරයේ සිට මත්ස්‍ය කාණ්ඩයකින් උභය ජීවීන් ඇති වීමේ සිට උරග කාණ්ඩයකින් පක්ෂීන් හා ක්ෂීරපායීන් ඇති වීම ආදී පරිණාමික වෙනස් කම් කෙටි කාලයක දී නොව වසර මිලියන ගණනාවක් දක්වා දිවෙන අතීතයක් ඇති වෙනස්කම්ය.




නවීන තාක්ෂණය හා විද්‍යාත්මක පරීක්ෂණ මගින් පරිණාමීය කාලය කෙටි කිරීමට විද්‍යාඥයින් සමත්ව ඇති අතර උදාහරණ ලෙස වරණීය හා කෘතීම අභිජනන ක්‍රම මගින් මිනිසාට ප්‍රයෝජනවත් සත්ත්ව හා ශාක වර්ග නිපදවා ඇත. මෙලෙස නිපදවු සතුන් අතර අධික කිරි ප්‍රමාණයක් නිපදවන Freshian එලදෙනුන් හා රෝග වලට ඔරොත්තු දෙන  Hayline  හා  Babcook වර්ගයේ කුකුළු විශේෂ ද අධික අස්වැන්නක් හා රෝග වලට ඔරොත්තු දෙන BG 379-2 හා BG 276-5 යන වී වර්ගද ජෛව තාක්ෂණයෙන් නිපදවා ඇත.





පරිණාමය සිදු වන බවට පැහැදිලි  සාක්ෂ්‍ය ලබා ගෙන ඇත්තේ සත්ව ගහනයක ජාන සංඛ්‍යාතයේ සිදු වන වෙනස් වීම් නිර්ණය කිරීමෙනි.

තුෂංග හේරත්,
විද්‍යා හා තාක්ෂණ නිලධාරී,
හාලිඇල

November 14, 2018

කුස්සියේ තාක්ෂණය


මුළුතැන්ගෙයි ආහාර පිසගන්නා ප්‍රධාන ක්‍රම කීපයකි. පිසිනද්‍රව්‍ය ජලයත් සමග පිස ගැනීම ප්‍රධානතම ක්‍රමයයි. (බත්) තෙලෙන් බැදගැනීම තවත් ක්‍රමයකි. (මස්, මාළු, කැවුම්, කොකිස්) ජල හුමාලය මගින් තම්බා ගැනීම තවත් ක්‍රමයකි. (ඉදි ආප්ප, පිට්ටු) ලෝහ තාච්චියකට තාපය කැවීමෙන් පිසීම තවත් ක්‍රමයකි. (ආප්ප, රොටී)උෂ්ණත්වය පාලනය කල උදුනක් තුල දමා ගැනීම තවත් ක්‍රමයකි. (කේක්)
මෙම ක්‍රම සියල්ලම අතුරින් පීඩන පිසුම් උපකරණය මෙම තාක්ෂණ අතුරින් වඩාත් කාර්යක්ෂම හා ඉන්ධන අවම වශයෙන් වැය වන තාක්ෂණයකි.  ආහාරයක් කෙටි කාලයක් තුල පිස ගැනීමට හැකි වීම තවත් වාසියකි.
ජලය උතුරන්නේ බාහිර පීඩනය අනුවය. සාමාන්‍ය මුහුදු මට්ටමේ මෙය රසදිය මිලි මීටර 760 ක පීඩනයකි. නුවරඑළිය හෝ උස කදු සහිත ප්‍රදේශවල පීඩනය අඩු නිසා ඊට අඩු උෂ්ණත්වයකදී ජලය උතුරයි. සම්මතයක් ලෙස මෙය සෙල්සියස් අංශක 100 ක උෂ්ණත්වයක්ය.
හාල් හෝ එළවළු ව්‍යංජන මෙම  සෙල්සියස් අංශක 100 ක මෙම උෂ්ණත්වයේ පිස ගැනීම සෑහේ. එනම් ඒවායේ ඇති පිෂ්ඨය මෘදු වීම නිසා මෙම ආහාර අනුභව කල හැකිය. නමුත් මස්, මාළු පිස ගැනීමේ දී මෙම මෘදුවීම ආහාර රුචියට බලපායි.
පොල්තෙල් හෝ ගිතෙල් එළවළු තෙල් වලින් ආහාර බැද ගැනීමේදී එහි රසය සහ සුවද වැඩිවෙයි. පොල්තෙල් වැනි තෙල් උතුරා යන්නේ සෙල්සියස් අංශක 180 දී පමණ උෂ්ණත්වයකදීය. වෙනත් තෙල් වර්ග ඊට ඉහල උෂ්ණත්වයකදී උතුරා යයි. උණු තෙල්වල ඉක්මණින් ආහාර පිස ගත හැකිය.
ආහාර වල සුවද රසායන පිටවීම නිසා එහි ප්‍රනීත බව වැඩිවෙයි. අසල ගෙදරක බදින ආහාරයේ සුවදින්ම එය කුමක්දැයි වටහා ගත හැක. කැවුම්, කොකිස් හෝ මස්, මාළු ,අල බැදීම රහසින් කල නොහැක. තෙල් වර්ග උතුරන්නේ ඉහල උෂ්ණත්වයක නිසා ඉක්මණින් ආහාරය පිස ගත හැක.  අමු ආහාර මෘදු වී ආහාරයට ගත හැක. ඇතැම් තෙල් වර්ග සෙල්සියස් අංශක 220 තරම් ඉහල උෂ්ණත්වයකදී උතුරා යයි. එබදු තෙල් වලින් බැද ගැනීම ගැඹුරු තෙල් බැදීම  (Deep frying) නම් වේ. එලෙස බැදගත් ආහාර තදය. විකීමේදී තලපයක් ලෙස නොව කුඩා කැබලි ලෙස මුව තුළ කැඩී යයි. කරස් යන ශබ්දයෙන් විකිය හැකි මෙම ආහාර වඩාත් ප්‍රිය මනාප ගතියක් දක්වයි. (මුරුක්කු , බයිට්ස්)
හුමාලයෙන් තම්බා ගැනීම වණ්ඩුවේ තම්බා ගැනීම වශයෙන් ව්‍යවහාර වේ. මෙයට පිට්ටු බම්බුවක් හෝ තල් කොල ගොට්ටක් හෝ ඉදි ආප්ප වට්ටි මෙන් තට්ටු ගණනක් භාවිතා විය හැක.  ජලය උතුරන විට හුමාලය බවට පත් වන අතර ඊට ලක්වන පිටි වර්ග හා කෑම ඉක්මණින් තැම්බේ. මෙහිදී සිදු වන්නේ හුමාලය ඝණ වී කැටි ගැසීමේදී අධික තාපයක් නිකුත් වීමයි. මෙය ගුප්ත තාපය ලෙස භෞතික විද්‍යාවේදී හැදින්වේ.
ජලය ග්රෑම් එකක් හුමාලය බවට පත් වීමේදී කැලරි 540 ක තාපයක් උරා ගනී. එම හුමාලය ඝනීභවනය වීමේදී එම තාපය පිට වේ. ඉදිආප්ප, පිට්ටු හෝ හැලප ඉදෙන්නේ මෙලෙස පිටවන තාපයෙනි.  
නූඩ්ල්ස් හා පැස්ටා ආහාර තාක්ෂණය පදනම්ව ඇත්තේ හුමාලයෙන් තම්බා ගැනීම මතය. එම ආහාර වේලා ගත් පසු ශීතකරණයක් නොමැතිව ගබඩා කල හැක. එහි ඇති පිෂ්ඨය කලින් පිසගෙන ඇති බැවින් ආහාරයට ගැනීමට පෙර මිනිත්තු 2 තරම් කෙටි කාලයක් තුල උණු වතුරේ තම්බා ගැනීම ප්‍රමාණවත්ය. ක්ෂණික ආහාර බිහි කිරීමේ එක් තාක්ෂණ ක්‍රමයක් ලෙස මෙය හැදින්වේ. සොසේජස් වර්ග ද මෙලෙස සකසයි.
උෂ්ණත්වය පාලනය කරන ලද උදුනක් තුළ දමා ආහාර ප්‍රයෝජනට ගන්නා ක්‍රමයකි. ගෙදර ආප්ප සෑදීමේදී උපයෝගී කර ගන්නේ මෙම තාක්ෂණ ක්‍රමයයි. මීට දශක කීපයකට පෙර ආප්ප පුච්චා ගැනීමට උඩින් හා යටින් ගිනි කවන මැටි ඇතිලියක් පාවිච්චි කරන ලදී. එම රත්වු ඇතිලියට වක්කර  ආප්ප මිශ්‍රණය දෙපැත්තෙන්ම ලැබෙන තාපය නිසා ක්‍රමවත්ව ඉදේ. වත්මන් තාක්ෂණය අනුව පියනකින් වසන ලද ලෝහ තාච්චියක් යොදා ගැනේ.
ගමේ පාන් බේකරියේ ඇතතේ දර දමා රත් කළ පාන් පොරණුවකි. විදුලිය ලබා ගැනීමට හැකිවීමෙන් ක්‍රමවත්ව උෂ්ණත්වය පාලනය කල හැකි පෝරනු බිහි විය. කේක් ගෙඩියක් හෝ වෙනත් පුළුස්සන දෙයක් රන්වන් පාටින් පිස ගත හැක්කේ  මෙලෙස උෂ්ණත්වය පාලනය කල හැකි නිසාය. පාන් ගෙඩියක් පුළුස්සන උෂ්ණත්වය සෙල්සියස් අංශක 160 පමණ වන අතර කේක් සෙල්සියස් අංශක 220 දී ය. උෂ්ණත්වය වැඩිනම් පිටත පිළිස්සී අභ්‍යන්තරය අමුවෙන් සිටී.
කුස්සියේ රොටියක් හෝ තෝසෙ එකක් නැත්නම් වෙල්ල වැහුමක් පිස ගැනීමට යොදා ගන්නේ යටින ගිනි ගැසු ලෝහ තැටියකි. ලෝහ තැටියේ තාපය අමු පිටි අතරින් ගමන් කර එය ක්‍රමයෙන් පිස ගැනීමකට භාජනය වේ. ආප්පයක්, රොටියක්  පිස ගැනීමට පෙර එම තැටිය මත තෙල් ස්වල්පයක් ආලේප කරනු ලැබේ. පිටි මිශ්‍රණය තැටියට ඇලීම මෙම තෙල් පටලය නිසා වැළකේ.
පීඩන උදුන සහ ක්ෂුදු තරංග උදුන මෑතකදී මුළුතැන්ගෙට එකතු වී ඇති පිසින උපකරණ වේ. පිසින ආහාරයක් පීඩන උදුනක් තුල දමා ජලය සමග තැම්බීමකට භාජනය වෙයි. පීඩන භාජනයේ අභ්‍යන්තර පීඩනය පාලනය කරන පියනකින් වසා ඇත. පීඩන උදුනක ජලය උතුරා හුමාලය වන්නේ සෙල්සියස් අංශක 100 දී නොව 115 දී පමණය. යෙදෙන පීඩනය අනුව මෙම උෂ්ණත්වය වෙනස් වේ. කෙසේ හෝ ඉහල උෂ්ණත්වයක් ඇති බැවින් එය තුල ඇති ආහාර ඉක්මණින් ඉදේ. පැය භාගයක් පමණ ගත වන කඩල ඇට තැම්බීම පීඩන උදුනේදී මිනිත්තු 05 කදී කල හැක. පීඩන උදුන තුල බත් සහ එලවළු වර්ග කීපයක් එකවර පිසගත හැක. කාලයත් ඉන්ධන පිරිමසා ගැනීමත් මෙහිදී සිදු වේ. නො එසේ නම් එය බෝම්බයක් ලෙස පුපුරා ගොස් විශාල අනතුරක් විය හැක.
ක්ෂුද්‍ර තරංග උදුන ක්‍රියාකරන්නේ ගුවන් විදුලි තරංග වැනි අධි කම්පනීය තරංග නිපදවන ප්‍රභවයක් මෙහි ඇත. ඉන් පිටවන තරංග ආහාරයේ ඇති ජලය හෝ තෙල් අණු මත ක්‍රියාකර එවා වේගවත් චලනයකට භාජනය කෙරේ. මෙම චලනය නිසා සිදු වන ඇතිල්ලීම නිසා තාපය ජනිත වේ. එම තාපය ආහාරය පිස ගැනීමට උදව් වේ. පිසින භාජනය හෝ උදුන රත් නොවී ආහාරය පමණක් පිසීම මෙහිදී සිදු වේ. ශක්තිය පිරිමසා ගැනීමක්ද මෙහිදී වේ.
ආහාර පිසීමට භාවිතා කරන තාක්ෂණයන් විවිධාකාර වන අතර අවශ්‍ය තාක්ෂණය නිසි පරිදී යොදා ගැනීමෙන් වැඩි කාර්යක්ෂමතාවයක් ලබා ගත හැක.
තුෂංග හේරත්
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
හාලිඇල
 

ජීව වායු තාක්ෂණයේ විද්‍යාව

සත්ව හා කාබණික කසළ හා ජලයේ පැසවීමේ ප්‍රතික්‍රියාව මගින් ජීව වායුව හා පොහොර නිපදවීමේ ක්‍රියාවලිය ජීවවායු තාක්ෂණයයි.
ගොම , කාබණික අපද්‍රව්‍ය                  ජීව වායුව + පොහොර
මෙලෙස නිපදෙන පොහොර වල NPK බහුලව අඩංඟු වේ.
 ජීවවායු ඒකකයක් නිපදවීමේදී සලකා බැලිය යුතු කරුණු පහත පරිදී වේ. පළමුව ජීව වායුව පාරිභෝජනය කරනුයේ කුමන ස්ථානයක් / ස්ථාන සඳහා ද යන්න සලකා බැලිය යුතු වේ. දෙවනුව ජීව වායුව නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා අමුද්‍රව්‍ය ලබා ගැනීමේ පහසුව හා ජීව වායු ඒකකය මගින් නිපදවෙන ද්‍රව්‍ය වල ගබඩා පහසුකම් හා භාවිතා කිරීමේ හැකියාව පිළිබඳව සොයා බැලිය යුතුය. තෙවනුව භූගත ජල මට්ටම හා පසෙහි ස්වාභාවය සැලකිය යුතුය.
ජීවවායු නිෂ්පාදන ඒකකයක සැලසුමක් සකස් කිරීමේදී සලකා බැලිය යුතු කරුණු පහත පරිදී වේ. එනම්  සරළව නිර්මාණය කල හැකිවිය යුතු බව හා සරළව ක්‍රියාත්මක කල හැකි ආකාරයේ  ඇටවුමක් විය යුතුය. අඩු වියදමකින් සැකසිය හැකි විය යුතු අතර කල් පවතින්නක් විය යුතුය. කාර්යක්ෂමව ජීව වායුව නිෂ්පාදනය කල හැකි ඇටවුමක් විය යුතු අතර දේශීය අමුද්‍රව්‍ය හා අළුත්වැඩියාවට හා නඩත්තු වියදම් අධික නොවිය යුතුය.
ජීව වායු නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රධාන ක්‍රියාවලි 4 කට විස්තර කල හැක. එනම් ජලවිච්ජේදනය,   අම්ලජනනය , ඇසිටෝන් ජනනය , මීතේන් ජනනය වශයෙනි. මෙම එක් එක් අවස්ථාවේදී කාබණික උපස්ථර (C6H12O6)  කාබන්ඩයොක්සයිඩ්(3CO2) හා මෙතේන්(3CH4) වායුව බවට පත්වේ.
පලමු අදියරේදී ජීව වායු ජනනය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය හෙවත් දිගු දාම බහුඅවයවික සහිත උපස්ථරයේ (long chain polymers)ඇති ලිපිඩ(fats), ප්‍රෝටීන(proteins), හා කාබොහයිඩ්රේට්(carbohydrate)  ජලවිච්චේදන ක්‍රියාවලියේදී කෙටි දාම බහුඅවයවික(short chain polymers) හෙවත් ද්වී අවයවික(dimres) බවට පත්වේ. එහිදී ලිපිඩ -> ලිපිඩ අම්ල බවටත්, ප්‍රෝටීන -> ඇමයිනෝ අම්ල බවටත්, පිෂ්ඨය -> සීනි බවටත් පත්වේ.
දෙවන අදියරේදී කෙටි දාම බහුඅවයවික(short chain polymers) හෙවත් ද්වී අවයවික(dimres) අම්ලජනන ක්‍රියාවලියේදී කෙටි දාම කාබනික අම්ල(short chain organic acid)  හෝ ඇල්කොහොල් (alcohol)බවට පත්වේ. උදාහරණ ලෙස ප්‍රොපියොනික් අම්ලය ගත හැක. (propionic acid)
තෙවන අදියරේදී කෙටි දාම කාබනික අම්ල(short chain organic acid)  හෝ ඇල්කොහොල් (alcohol) ඇසිටෝන් ජනන ක්‍රියාවලියේදී ඇසිටික් අම්ලය(Acetic Acid)(CH3COOH), කාබන්ඩයොක්සයිඩ්(Co2), හයිඩ්‍රජන් (H2)ආදී සංඝටක වලට වෙන් වේ.
සිවිවන අදියරේදී ඇසිටික් අම්ලය(Acetic Acid)(CH3COOH), කාබන්ඩයොක්සයිඩ්(Co2), හයිඩ්‍රජන් (H2)ආදී සංඝටක මීතේන් ජනන ක්‍රියාවලියේදී ‍මෙතේන්(CH4) , හයිඩ්‍රජන් සල්ෆයිඩ්(H2S), කාබන්ඩයොක්සයිඩ් (Co2),  ආදී සංඝටක වලට වෙන් වේ.
ජීව වායු ජනනය සඳහා ප්‍රශස්ථ තත්වයන් වනුයේ ඔක්සිජන් වායුව නොමැති නිර්වායු පරිසරයකි. තවද නිර්වායු ක්ෂුද්‍ර ජීවීන්ට විශ ද්‍රව්‍ය වලින් තොරවිය යුතුය. උෂ්ණත්වය මෙසොෆිලික බැක්ටීරියා සඳහා සෙල්සියස් අංශක 35 විය යුතු අතර තර්මොෆිලික් බැක්ටීරීයා සඳහා සෙල්සියස් අංශක 55 විය යුතුය. pH අගය 7.5% විය යුතුය. කාබන් හා නයිට්‍රජන් අනුපාතය 25:1 විය යුතුය.

තුෂංග හේරත්
විද්‍යා හා තාක්ෂණ නිළධාරී
හාලිඇල


















ප්‍රමිතියයි, ඔබයි.

යහපත් නිෂ්පාදන පිළිවෙත් (GMP) සහතිකකරණය
මෙම සහතිකකර්ණය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පද්ධති සහතිකකරණ අංශය මගින් නිකුත් කරන අතර මෙය ආහාර නිෂ්පාදන ආයතන වලට මෙන්ම ආහාරමය නොවන නිෂ්පාදන සිදු කරන කුඩා හා මධ්‍යම පරිමාණයේ ආයතන වලටද ලබා ගත හැක.
GMP සහතිකකරණය මගින් අදාල නිෂ්පාදනයේ එනම් අමුද්‍රව්‍යෙය් සිට නිමි භාණ්ඩයේ දක්වා ඇති සියළුම ක්‍රියාවලින් යහපත් ප්‍රමිතියෙන් හා සුරක්ෂිත ගුණාත්මක බව ඉහල නංවමින් අඛණ්ඩව පවත්වාගෙන යන බවට සහතිකකරනු ලැබේ.
GMP සහතිකකරණ ක්‍රියාවලිය සදහා පාදක වන්නේ අදාල නිෂ්පාදනය සදහා වු ශ්‍රී ලංකා ප්‍රමිතීන් සහ භාවිත සංග්‍රහ වේ. මෙය අදාල නිෂ්පාදනයේ හෝ සේවාවේ ගුණාක්මක බව සහ සුරක්ෂිත බව තහවුරු කිරීම සිදු කරයි. පසු විපරම් විගණන දෙක වාර්ෂිකව පවත්වනු ලබන අතර එමගින් යහපත් නිෂ්පාදන ක්‍රියාවලිය අදාළ ප්‍රමිතියට හෝ භාවිත සංග්‍රහයට අනුකූලව ගුණාත්මක බව ඉහළ නංවමින් සිදුවන්නේ දැයි විගණනය කරනු ලැබේ.


GMP සහතිකකරණය  සිදු කල හැකි විෂය ක්ෂේත්‍ර
ආහාර වර්ග සහ පාන වර්ග නිෂ්පාදන සපයන, නිෂ්පාදන සිදු කරන හා සැකසුම් කරන ආයතන
ආහාර සම්බන්ධ සේවා
ආහාර ඇසුරුම්කරණය
විලවුන්
කොහු
පිරිසිදුකාරක
දැව
ඇන්තූරියම්, ඕකිඩ් හා බුලත් කොළ අස්වනු නෙලීම හා සැකසීම
ඇසුරුම්කරන ලද පොහොර සැකසීම හා ගබඩා කිරීම
විද්‍යුත් උපකරණ සවි කිරීම
ඇස්බැස්ටෝස්, සිමෙන්ති රැලි තහඩු සැකසීම
කෘෂිකාර්මික නිෂ්පාදන ධූමකරණය
එල් පී ගෑස් හැසිරවීම, ප්‍රවාහනය හා ගබඩා කිරීම
ප්ලාස්ටික් ප්‍රතිශක්තිකරණය කිරීම
ජීව වායු  පද්ධති නිර්මාණය කිරීම සහ ඉදි කිරීම
කුඩා ජල විදුලි බල ශක්ති පද්ධති නිර්මාණය කිරීම සහ ඉදි කිරීම
කෘෂි රසායනික ද්‍රව්‍ය ඇසුරුම්කරණය
ශීතකරණ
ප්ලාස්ටික්
මලද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය ඉවත් කරන පද්ධති නිර්මාණය කිරීම සහ ඉදිකිරීම

GMP සහතිකකරණයේ වාසි
ආයතනයේ කීර්තිනාමය වැඩි දියුණු වීම
පාරිභෝගික විශ්වාසය වැඩි වර්ධනය වීම
ආයතනයේ නිෂ්පාදන ඵලදායීතාව වැඩි වීම
ආයතනයට ලැබෙන අමතර ප්‍රතිලාභ වැඩි වීම
පාරිභෝගික පැමිණිලි අවම වීම
වෙළදාම සදහා අලෙවි උපක්‍රමයක් වීම
SLS ලාංචනය ලබා ගැනීමට පාදක වීම
HACCP ලාංචනය සහ ISO 22000 වැනි අන්තර්ජාතික සහතික ලබා ගැනීම සදහා අඩිතාලම ලබා ගත හැකි වීම
ISO 9001 සහතිකකරණය සදහා මුලික පියවරක් වීම

විදාතා සහතිකකරණය
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන යහපත් හා උසස් තත්වයෙන් නිෂ්පාදනය කිරීම සදහා ඉදිරිපත් කර ඇති සහතික කිරීමේ ක්‍රියාවලියකි. මෙහිදී සමස්ථ නිෂ්පාදන ක්‍රියාවලියම එනම් අමුද්‍රව්‍ය සිට නිමි භාණ්ඩය දක්වා ඇති සියළුම ක්‍රියාවලි යහපත් තත්වයෙන් නිෂ්පාදනය කරන බවට සහ අඛණ්ඩව පවත්වාගෙන යන බවට සහතික කරනු ලැබේ.

විදාතා සහතිකකරණයේ දී අවධානය යොමු කරනු ලබන අංශ
ආයතන - සැලසුම්, පහසුකම්, උපකරණ, පවිත්‍රතාව, හා සනීපාරක්ෂාව, පළිබෝධ පාලනය,  පෞද්ගලික ස්වස්ථතාව, ප්‍රවාහනය සහ අපද්‍රව්‍ය කළමාණාකරණය
ක්‍රියාකාරීත්ව පාලනය
නිෂ්පාදන අනුකූලතාවය
ඇසුරුම් සහ ලේබල් කිරීම
පාරිභෝගික පැමිණිලි, පුහුණු කිරීම සහ නඩත්තුව යන ආදිය

විදාතා සහතිකකරණයට යොමු විය හැක්කේ කෙසේද?
කොළඹ පිහිටි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් විමසීම  හො ඔබ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි විදාතා සම්පත් මධ්‍යස්ථානයෙන් විමසීම
 තුෂංග හේරත්
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
හාලිඇල