December 30, 2014

නිරතුරුව වැඩිදියුණු වීමේ රහස

දැන් සිටින තත්වයට වඩා පියවරක් හෝ ඉදිරියට යමින් සාර්ථකත්වය කරා පියමං කිරීමට අපි කවුරුත් කැමතියි. ඊයේ දවසට වඩා අද හොද වෙනසක් අදට වඩා හෙට දවසේ හොද වෙනසක් අප සියලු දෙනාගේම අවශ්‍යතාවයයි. ගතවන සෑම තත්පරයක් පාසාම අපගේ දියුණුවට ඉවහල්වන කුඩා හෝ කටයුත්තක් කරන්නට පුලුවන් නම් එය ඉතා අගනේය. දැනට පවතින  තත්වය වැඩිදියුණු කර ගැනීමේ දී අපේ අවධානය යොමු කල යුතු අංශ 4 ක් හදුනාගත හැකියි.
1.      පුද්ගලික වශයෙන් දියුණුව

2.    පවුලක් වශයෙන් දියුණුව
3.    ආයතනයක් වශයෙන් දියුණුව
4.     රටක් වශයෙන් දියුණුව
මෙකී ක්‍රමික වර්ධනයකට ඉවහල්වන වැදගත් වූ සංකල්පයක්  ලෙස “Kaizen” සංකල්පය හැදින්විය හැකිය. මෙයත් ජපානය මූලිකව බිහිවූ එක්තරා ඵලදායිතා සංකල්පයක් වේ.
Kaizen යන පදය කොටස් දෙකකින් යුක්තයි. Kai යන්නෙන් අදහස් වනුයේ වෙනස්විමයි. Zen යන්නෙන් අදහස් වනුයේ වඩා යහපත් යන්නයි. එවිට Kaizen කියනුයේ වඩා යහපත් වෙනසක් සිදුවීමයි. සිදුවන වෙනස අයහපත් නම්, හානියක් ගෙනදේ නම් එවැනි ක්‍රියාකාරකම් Kaizen ලෙස හැදින්වීම අපහසුය. නමුත් සිදුවන වෙනස මගින් පුද්ගලික වශයෙන් හෝ ආයතනික වශයෙන් හොද ප්‍රතිථල ලැබෙනවා නම් එසේත් නැතිනම් එය නොකඩවා දියුණුවට ඉවහල් වනුයේ නම් එවැනි වෙනසකට Kaizen යැයි කිව හැකියි.
Kaizen ක්‍රියාත්මක කිරීමෙන් අපගේ පෞද්ගලික ජීවිතයේ ඵලදායිතාවය,සාමූහික කණ්ඩායමක් ලෙස ඵලදායිතාවය,ආයතනික ඵලදායීතාවය මෙන්ම ජාතික ඵලදායීතාවයද වර්ධනය කළ
හැකිවේ. මෙම Kaizen ක්‍රියාකරකම් මගින් අපට අපේ ශ්‍රමය,ද්‍රව්‍ය,මුදල්,කාලය හා පරිසරය යොදාගන්නා ආකාරය වැඩිදියුණු කරගැනීම මගින් ඉහල ඵලදායීතාවයක් ලබාගැනීමට හැකිවේ. යම් සේවා ස්ථානයක හෝ ව්‍යාපාරයක Kaizen ක්‍රියාත්මක කිරීම යනු ඉහල මට්ටමේ කළමනාකාරීත්වයේ සිට පහළ සිටින සේවකයා දක්වාම සියලුම දෙනා සහභාගී වන අඛණ්ඩ වර්ධන ක්‍රියාදාමයක් ලෙස හැදින්විය හැකිය. මෙහි සරල බව නිසාම එය ඔනෑම කර්මාන්ත ශාලාවකට,ආයතනයකට,පාසැලකට, පවුලකට මෙන්ම පුද්ගලික ජීවියතටත් ඉතාමත් ප්‍රබල බලපෑමක් කිරිමට යොදා ගත හැකිය.
Kaizen සංකල්පය හොදින් වටහා ගැනීමේදී නව්‍යකරණය යන පදය හදුනාගැනිම විශේෂයෙන්ම අත්‍යවශ්‍ය වේ. කාලයත් සමග සිදුවන සුලු සුලු වෙනස්වීම් Kaizen  ලෙසද කාලයත් සමග සිදුවන විශාල වෙනස්විම් නව්‍යකරණය ලෙසද හැදින්විය හැකිය.
කුඩා වැඩි දියුණුකිරිම් Kaizen වලදී සැලකිල්ලට ගැනේ. නමුත් නව්‍යකරණයේ දී විශාල වැඩි දියුණුවක් එනම් විශාල පිම්මක් පැනීමට සිදුවේ. එම නිසා නව්‍යකරණය කිරිම අප සැමටම අපහසුයි. නමුත් වයස,අධ්‍යාපන මට්ටම,ආර්ථික මට්ටම ආදියකින් තොරව අපි හැමෝටම ඉතා පහසුවෙන් Kaizen ක්‍රියාත්මක කළ හැකිය.
නව්‍යකරණය හා සංසන්දනය කරනවිට Kaizen වලට යන වියදම ඉතාම අඩුය. සමහරවිට වියදමක් අවශ්‍ය නොවන අවස්ථා තිබේ. නව්‍යකරණය ක්‍රියාත්මක කිරීමට විශේ‍්ෂඥ දැනුමක් අවශ්‍ය වුවත් Kaizen වලදී තමා කරන කටයුතු ගැන සාමාන්‍ය දැනුමක් තිබීම ප්‍රමාණවත්ය.ජෝන් ලොගී බෙයාඩ් රූපවාහිනිය සොයාගැනීම නව්‍යකරණයක් ලෙස අපට හැදින්විය හැකිය. නමුත් ජෝන් ලොගී බෙයාඩ් එදා සොයාගත් රූපවාහිනය නොවේ අද අප පාවිච්චි කරනුයේ. ප්‍රථමයෙන් සොයාගත් රූපවාහිනිය මෙලෙස දියුණු වූයේ අඛණ්ඩ වර්ධන ක්‍රියාදාමයක් මගිනි.
රූපවාහිනියේ දුරස්ථ පාලකය Kaizen සදහා නිදසුනක් ලෙස සැලකිය හැක‍
මුල් යුගයේ දී නාළිකා මාරු කිරීමට, හඩ අඩු වැඩි කිරීමට අපට රූපවාහිනිය ලගට යන්නට සිදුවිය. නමුත් දැන් අපට අසුනක සුවපහසු ලෙස වාඩි වී ඉදගෙනම එම කටයුත්ත කරන්න දුරස්ථ පාලකය නිසා අවස්ථාව ලැබි තිබේ. එනම් කයිසෙන් ක්‍රියාත්මක විම තුළ අපගේ ඵලදායීතාවය වැඩිවීමක් දක්නට හැකිය.
ලෝකයේ බොහෝ දියුණු රටවල් මෙම කයිසෙන් සංකල්පය තුලින් සීග්‍ර සංවර්ධනයක් කරා පියමං කර ඇති මෙවන් යුගයක ශ්‍රී ලාංකික අපත් අපේ පුද්ගලික ජීවියතටත් අපගේ පවුලටත් අප සේවය කරන ආයතනයටත් මෙම අගනා සංකල්පය මුසුකර ගැනීමෙන් අනාගතයේ දී ආසියාවේ දිදුලන රාජ්‍යයක සිහිනය සැබෑ කරගැනීම අපට එතරම් දුෂ්කර අභියෝගයක් නොවනු ඇත.
පොත පත ඇසුරිනි
සකස්කලේ :  ලතිකා දිල්රුක්ෂි 

0 comments:

Post a Comment