December 15, 2014

ඔබත් ක්ලෙමථයෙන් පීඩා විඳින්නෙක්ද ?

ක්ලෙමථය යන වචනය ඇතැම්විට ඔබට හුරුපුරුදු නොවන්නට පිළිවන. නමුත්  “ stress”  යන්න අද  සමාජය තුල වැඩිපුරම කතා බහට ලක්වන වදනක් බවට පත් වී ඇති බව ඔබත් මමත් දන්නා කරුණකි.  “ ක්ලෙමථය එසේත් නැතිනම් ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන  “ stress”   යනු කුමක්ද ?
    යම් බාහිර වෙනසකට අපේ ශරීරය දක්වන්නා වූ ප්‍රතික්‍රියා සමූහයක් ලෙස ක්ලෙමථය අර්ථනිරූපණය කළ හැක.
ඔබ  ක්ලෙමථයෙන් පෙළෙන්නෙකු නම් අනවශ්‍ය ලෙස දහඩිය දැමීම, ශ්වසන වේගය වැඩිවීම, හෘද ස්පන්දනය වැඩිවීම, රුධිර පීඩනය වැඩිවීම,  මතකය අඩු වීම, නින්ද නොයෑම වැනි තත්වයන්ට මුහුණ පෑමට ඔබට සිඳුවනු ඇත. අප තුල ඇතිවන බිය, දුක, වේදනාව, තරහව වැනි දෑ  අප තුල ක්ලෙමථය ඇති කිරීමට සමත් වේ. අද ජීවත් වන නූතන මිනිසාව " ක්ලෙමථය විසින්  මහා භයානක ලෙස ගිලගනිමින් සිටී. මෙය මහත් ඛේදනීය තත්වයකි. මෙම තරඟකාරී සමාජය තුල අප ගත කරන කාර්ය බහුල  ජීවිතයේදී බොහෝ විට අපට නොයෙකුත් ගැටළු  වලට.අභියෝගයන්ට, දුක්මුසු අවස්ථාවන්ට, ශාරීරික අපහසුතාවයන්ට , මුහුණ පෑමට සිඳුවනු ඇත. එවන් අවස්ථා වලදී අපත් නොදැනුවත්වම ක්ලෙමථය ට ගොදුරු වීමට අපට සිඳුවනු ඇත.           
නමුත් ඇතැම් කාර්යයන් වලට ( විභාගයන්ට සූදානම් වීම, ක්‍රීඩා තරගයකට මුහුණ දීම, වැනි)  යම්
පමණක ක්ලෙමථයක් පුද්ගලයෙකු තුල තිබීම ඔහුගේ හෝ ඇයගේ කාර්යක්ෂමතාවය වැඩිකිරීමට හේතුවන බව සොයාගෙන ඇත. එය හිතකර ක්ලෙමථය ( eustress) ලෙස හඳුන්වනු ලබයි. නමුත් පුද්ගලයෙකු තුල දිගින් දිගටම ක්ලෙමථය පැවතීම නිසා එම පුද්ගලයා ශාරීරිකව මෙන්ම මානසිකවද රෝගී විය හැකිය. අද සමාජයේ දක්නට ලැබෙන දියවැඩියාව, ගැස්ට්‍රයිටිස්, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, පිළිකා වැනි බොහොමයක් බෝනොවන රෝග වැළඳීමට සහ සුවනොවීමට පුද්ගලයා තුල පවතින ක්ලෙමථය හේතු වී ඇති බව වෛද්‍ය මතය වි ඇත. මෙය සිඳුවනුයේ කෙසේ ද? පුද්ගලයෙකු තුල දිගු කලක් පවතින ක්ලෙමථය ඔහුගේ හෝ ඇයගේ රසායනික සමායෝජනය කෙරෙහි අහිතකර ලෙස බලපෑම් ඇති කරනු ලබයි. එමෙන්ම අපගේ ශාරීරික ක්‍රියාවන් වලට හෝමෝන බලපාන බවද , අප සැවොම දන්නා කරුණකි. ස්‍රාවය වන හෝමෝන වෙනස් කිරීමට දිගුකාලීන ක්ලෙමථයට හැකියාව ඇත. එවිට ස්‍රාවය වනුයේ ශරීරයට අහිතකර හෝමෝනයන්ය. දිගු කාලීන ක්ලෙමථය නිසා හයිපොතැලමස සහ පිටියුටරි ග්‍රන්ථිය අතර හටගන්නා සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස අධිවෘක්ක බාහික උත්තේජක හෝමෝනය ( ACTH ) ස්‍රාවය වීම සිඳු වේ.  එනිසා අධිවෘක්ක ග්‍රන්ථිය උත්තේජනය වේ.එවිට එමඟින් කෝටිසෝල් යන හෝමෝනය ස්‍රාවය  වන අතර මෙම හෝමෝනය මඟින් රුධිර ප්‍රවාහයේ ( Blood flow)  සහ  ශ්වසන වේගයේ ක්ෂණික  වෙනස්වීම් සිඳුකරනු ලැබේ. එමඟින් සෞඛ්‍යයට සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ලබයි. මේනිසා  අප නොසිතන අයුරින් ශාරීරිකව මෙන්ම මානසිකවද රෝගීන් වීමට අපට සිඳුවනු ඇත.
   අහිතකර ක්ලෙමථය මෙතරම් හානිකර නම් කුමක් ද  ඊට තිබෙන විසඳුම ?

            Ø  ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම
Ø  සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා ගැනීම
Ø  ආගමික කටයුතු වල නිරත වීම
Ø  අතීතය හෝ අනාගතය ගැන අනවශ්‍ය ලෙස කරදර නොවීම
Ø  ක්‍රීඩා හා කළා කටයුතු වලත් සාමාජීය ක්‍රියාකාරකම් වලත් නිරත වීම
Ø  රැකියාව හා පවුල් ජීවිතයේ සමබරතාවය රඳවා ගැනීම
Ø  ඉහිල්වීම් (relaxation)  අභ්‍යාස වල නිරත වීම

 තරඟකාරී සමාජය තුල හමුවන ක්ලෙමථය ඇති කරන තත්වයන් වලට මුහුණ දීම සඳහා ඉහිල්වීම් අභ්‍යාස යොදාගත හැකි ආකාරය තවත් ලිපියකින් අපි විමසා බලමු.


සැකසුම
කාංචනා හෙට්ටිඅරච්චි

විද්‍යා හා තාක්ෂණ නිලධාරි - කැලණිය

0 comments:

Post a Comment