December 17, 2014

ඉහිල්වීම

ශරීරයට සහ මනසට හානිකරන , අපගේ ජීවිත වලට මහත් තර්ජනයක් වූ අහිතකර " ක්ලෙමථයෙන්" මිදීමට ඉහිල්වීමේ (Relaxation) අභ්‍යාස යොදා ගත හැකි බව පසුගිය ලිපියෙන් සඳහන් කළ බව ඔබට මතක ඇති. ක්ලෙමථයෙන් මිදී සතුටින් , සැහැල්ලුවෙන් ජීවත් වීමට ඉහිල් වීමේ අභ්‍යාස ඉවහල් වන අයුරු සහ එවන් අභ්‍යාසයක් සිදු කරන ආකාරය පිළිබඳව අපි මඳක් විමසා බලමු.
දිගින් දිගටම පවතින අහිතකර ක්ලෙමථය නිසා ශරීරයට අහිතකර හෝමෝනයක් වූ ' කෝටිසෝල්' නම් හෝමෝනය ස්‍රාවය වන බවත් එය අපගේ  ශරීරයේ රසායනික සමායෝජනයට බලපෑම් කර අපව ලෙඩ කරවන බවත් දැන් අපි දන්නෙමු. කෝටිසෝල් වල බලපෑම අඩපණ කළ හැකි යාන්ත්‍රනයක් සැබවින්ම මිනිසා තුල නොමැතිද? නැතහොත් කෝටිසෝල් වලට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකළ හැකි හෝමෝනයක් ස්වභාවිකව මිනිසා තුල නිපදවෙන්නේ නැතිද? සැබවින්ම එවැනි වූ හෝමෝනයක් මිනිස් ශරීරය තුල ස්වභාවිකව නිපදවන බව ඔබ දන්නෙහිද? මෙම මහඟු හෝමෝනය වනුයේ " මෙලටොනින්ය" .


මෙලටොනින්  හඳුන්වනුයේ ක්ලෙමථය සමනය කරවන  (Anti Stress ) පිළිකා මර්ධනය කරන       (Anti Cancer ) සහ වයසට යෑම පාලනය කරන  (Anti Aging ) හෝමෝනයක් ලෙසය. මෙම හෝමෝනය ස්‍රාවය වනුයේ මොළයේ හරි මැද පිහිටා ඇති පයිනල් ග්‍රන්ථියෙනි. එය සිදු වනුයේ රාත්‍රි නින්දේදී බව සොයා ගෙන ඇත. මොළය මගින් නිකුත් කරනු ලබන තරංග වල තරංග ආයාමය (Brain Waves  ) අනුව නින්දේ ප්‍රධාන අවධි හතරක් ඇති බව බොහෝ පොත් පත් වල සඳහන්වේ. එහි එක් අවධියක් වනුයේ ඇල්ා අවධියයි. ( නින්දත් නොනින්දත් අතර අවධිය ) මෙලටොනින් ස්වභාවිකව ස්‍රාවය වනුයේ මෙම අවධියේදී බව පර්යේෂණ වලින් සනාථ කර ඇත. එබැවින් මෙම අවධිය පයිනල් ග්‍රන්ථිය අරින යතුර ලෙස මනෝවිද්‍යාඥයින් විසින් හඳුන්වනු ලැබේ. නමුත් මෙම අවධිය පවතිනුයේ විනාඩි 2 - 3 ක් වැනි සුළු කාලයක් පමණි. රාත්‍රි නින්දේදී ඇල්ා අවධිය ඇතිවන අතර එහිදී ස්වභාවිකව ස්‍රාවය වන මෙම හෝමෝනය අපට අවශ්‍ය විටක  ස්‍රාවය කරවා ගැනිමට හැකි නමි කෙතරමි භාග්‍යයක්ද ? ඉහිල්වීමේ අභ්‍යාස ප්‍රගුණ කිරීම තුලින් එම අවස්ථාව අපට උදා කරගත හැකිය.   ඉහිල්වීමේ අභ්‍යාස සිදු කිරීමේදී  අවදියෙන් සිටිමින් ඇල්ා අවධියට යාමට  අපට හැකිවේ. තවද එම කාලය අපට අවශ්‍ය පරිදි දිගු කර ගැනීමට ද හැකිය. එවිට පිටවන මෙලටොනින් ප්‍රමාණය වැඩිය.
පහසුවෙන් කළ හැකි එවැනි ඉහිල්වීමේ අභ්‍යාසයක් පහත දක්වා ඇත.


*         නිදහස් නිහඬ පරිසරයක් වෙලාවක් තෝරා ගන්න.

*         සැහැල්ලු ඇඳුමකින් සැරසී පහසු ආකාරයකට වාඩි වෙන්න.
*         දෑස් පියා ගන්න.
     දෑස් පියා ගත් විට පෙනෙන අන්ධකාරය දෙස මද වේලාවක් බලා සිටින්න.
   ගැඹුරින් සහ සෙමින් හුස්ම ගැනීම සහ පිට කිරීම තුන් වරක්  සිදු කරන්න.
*        පසුව සාමාන්‍ය පරිදි හුස්ම ගැනීම පිට කිරීම සිදු කරන්න.
*        හුස්ම දෙස අවධානය යොමු කරමින් විනාඩි 10 - 15  අතර කාලයක් හුස්ම ගැනීම සහ පිටකිරීම සිදු කරන්න.
*        ස්වයං යෝජනාවක්  මෙනෙහි කරන්න.
 උදා:-  මගේ සිත සැහැල්ලුයි
           මගේ සිත සැහැල්ලුයි
           මගේ සිත  හොඳටම සැහැල්ලුයි
*         නැවතත් ගැඹුරින් සෙමින් හුස්ම ගැනීම සහ පිටකිරීම තුන් වරක් සිදු කරන්න.
*        දෑස් අරින්න
                                                                                                                                                                     මෙම ඉහිල්වීමේ අභ්‍යාස වයස් බේදයකින් තොරව සිදු කළ හැකිය. මෙය පුහුණු වනතෙක් ඔබට අපහසුවක් දැනෙනු ඇත. නමුත් මෙය ප්‍රගුණ  කර ගත් පසු ඕනෑම වේලාවක පහසුවෙන් කර ගැනීමට ඔබට හැකි වනු ඇත.
ක්ලෙමථයෙන් මිදුනු කිසිවකු මේ මිනිස් සමාජය තුල සොයා ගැනීමට  අපහසු වනවාට සැකයක් නොමැත. අද පවතින තරඟකාරි සමාජය තුල ක්ලෙමථයෙන් සහනය ලබා ගෙන සතුටින් සැහැල්ලුවෙන් තම කාර්යයන් කර ගැනීමට  ඔබත් මෙම අභ්‍යාසය ප්‍රගුණ කිරීමට උත්සුක වන්න.

සැකසුම
කාංචනා හෙට්ටිආරචිචි
විද්‍යා හා තාක්ෂණ නිලධාරි -  කැළණිය

1 comments:

thank!!!
I was read it!

Post a Comment