December 22, 2014

අම්ල වර්ෂා (Acid Rain)

වායුගෝලයේ පවතින කාබන් ඩයොක්සයිඩ් (CO2) වායුව ජලය සමග ප්‍රතික්‍රියා කිරීම මගින් කාබනික අම්ලය  (H2CO3) නිපදවීම හේතුවෙන් ස්වභාවික වර්ෂා ජලය තරමක ආම්ලිකතාවයකින් යුක්ත වන අතර එය pH 5.6 ක පමණ අගයක් ගනී. එහෙත්  pH අගය 3ට වඩා අඩු වන තරමට වර්ෂා ජලය ආම්ලික වූ විට එය අම්ල වැස්සක් (Acid Rain) ලෙස හදුන්වනු ලබයි.
වර්ෂා ජලය මේ ආකාරයට ආම්ලික වන්නේ කෙසේද?
එය වායු දූෂණයේ ප්‍රතිඵලයකි. ස්වභාවයෙන්ම CO2 දියවීම නිසා ඇතිවන කාබනික අම්ලය දුර්වල අම්ලයක් වුවද මිනිස් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස වායුගෝලයට එක්වන සල්ෆර් ඩයොක්සයිඩ් (SO2) හා නයිට්‍රජන් ඩයොක්සයිඩ් (NO2) වැසි ජලය සමග ප්‍රතික්‍රියා කිරීම මගින් සාදන සල්ෆියුරික්  (H2SO4) හා නයිට්‍රික් (HNO3) අම්ලය හේතුවෙන්  වර්ෂා ජලය අධික ලෙස ආම්ලික වීමේ හැකියාව ඇත.

වායුගෝලයට SO2  හා NO2 වැනි විෂ වායුන් එකතුවන මිනිස් ක්‍රියාකාරකම් මොනවාද?
අද ලෝකයේ සීඝ්‍ර කාර්මිකකරණයත් සමගම බලශක්ති පරිභෝජනයද සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇත. ඩීසල්, පෙට්‍රල් භාවිතයෙන් ගමන් කරන වාහන වලින් නිකුත්වන දුම් වලින්, ගල්අඟුරු හා ඛනිජ තෙල් වලින් ක්‍රියාත්මකවන කර්මාන්තශාලා හා බලාගාර වලින් පිටවන කළු දුමාරය මගින්ද, දර ආදිය දහනය මගින්ද පරිසරයට SO2  හා NO2 එකතුවේ. විශේෂයෙන්ම ඛනිජ තෙල් වලට වඩා ලාභදායි ගල්අඟුරු වැඩි වශයෙන් භාවිතා කිරීම මගින් පරිසරයට එකතුවන SO2  ප්‍රමාණය සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතී. ලොව පුරා  ක්‍රියාත්මකවන ගල්අඟුරු තාප විදුලි බලාගාර මගින් දිනපතා ටොන් ගණනක්  වායුගෝලයට SO2  එකතු කරයි. ඉන් කොටසක් ධූලි වශයෙන් පොළවට පතිත වන අතර ඉතිරිය වායුගෝලයේ ජලවාෂ්ප සමග මිශ්‍රවී අම්ල වර්ෂා ඇති කිරීමට දායක වේ. විශේෂයෙන්ම අධික කාර්මිකකරණයට ලක්වූ යුරෝපා රටවලින් වාර්ෂිකව ටොන් මිලියන ගණනක් වාතයට SO2 එකතු කරන අතරම අම්ල වර්ෂා නිසා ලොව පීඩා විඳින ප්‍රධාන රටවල් බවටද පත්වී ඇත. වාතය එක් ප්‍රදේශයක සිට තවත්  ප්‍රදේශයකට ඉතා වේගයෙන් ගමන් කරන හෙයින් මෙම වායු දූෂණය යුරෝපීය රටවලට පමණක් සීමා වී නොපවතින අතර අම්ල වර්ෂා අද මුළු ලෝකයම වෙළාගත් පාරිසරික විපතක් බවට පත්වී ඇත.
 අම්ල වර්ෂා වල අහිතකර ප්‍රතිඵල මොනවාද?
මෙමගින් වනාන්තර, ගස්වැල් වලට මෙන්ම මිනිසාට හා සතුන්ටද දුර්විපාක ඇතිකරයි. ලෝකයේ ඇතැම් ප්‍රදේශවල  විශේෂයෙන්ම ජර්මනිය, පෝර්ලන්තය, බටහිර යුරෝපයේ හා කැනඩාවේ ඇති වනාන්තර අම්ල වැසි නිසා මිය යමින් පවතින බව වාර්තා වී ඇත. ආම්ලික වැසි ජලය ශාක පත්‍ර මතට වැටුනු විට එහි උච්චර්මයේ ඇති ආරක්ෂිත මැලියම් ආවරණය ජීර්ණය කර ඇතුලට කා වැදීම නිසා ජල වාෂ්ප හා වායූන්ට ඇති පාරගම්‍යතාවයට බාධා පමුණුවමින් පත්‍රවල ආශ්වාස ප්‍රශ්වාස හැකියාව මෙන්ම ප්‍රභාසංස්ලේෂණ හැකියාව නැති කරයි. මෙමගින් ශාක, පැලෑටි වලට මෙන්ම විශාල වෘක්ෂවලටද හානි පමුණුවයි. අම්ල වර්ෂා හේතුවෙන් බටහිර ජර්මනියේ හෙක්ටයාර මිලියන 2ක පමණ වන විනාශයක් සිදුවී ඇතිබැව් වාර්තා වී ඇත.
අම්ල වර්ෂා පොළවට පතිතවීම නිසා පාංශු තත්ත්වයන්ටද වෙනස්කම් ඇති කරයි. අම්ල වැසි සමග පසට එකතුවන නයිට්‍රජන් අයන පසේ ඇති ඛනිජ ද්‍රව්‍ය සමග සිදු කරන අන්තර්ක්‍රියා හේතුවෙන් පස් අංශු වල ඇති Ca++, Mg++, K+ වැන පෝෂ්‍යදායි අයන වර්ග පසෙන් ඉවත් කරයි. මේ මගින් පසේ pH අගය තව දුරටත් ආම්ලික වන අතර එමගින් ශාක වර්ධනයට බාධා පමුණුවයි. එහි අවසන් ප්‍රතිඵලයක් වන්නේ පවතින වගාබිම් නිසරුවී යමින් මුඩුබිම් ඇතිවීමයි.
අම්ල වර්ෂා වලින් ලැබෙන ජලය ගංගා ඇල දොළ ආදී ජලාශ වලට එක්වීම නිසා එම ජලයේ ආම්ලිකතාවයද ඉහළ නංවමින් එහි ජීවත්වන මත්ස්‍යයන්ට හා පැලෑටි වර්ග ඇතුළු සියළුම ජලජ ජීවීන්ට අහිතකර බලපෑම් ඇති කරයි. සාමාන්‍යයෙන් ජලජ පැලෑටි වල ප්‍රශස්ත වර්ධනයක් දැකිය හැක්කේ pH   7-9 අතර පරාසය තුළය. ජලයේ pH අගය 7 ට වඩා පහළ අගයක් ගත්විට එනම් ජලය ආම්ලික වුවිට ජලජ ශාක වර්ධනය අඩාල වන අතර ඒ මත යැපෙන මත්ස්‍ය ප්‍රජාවටද ආහාර අහිමි වේ. මේ නිසා ජලජ ආහාර දාම බිඳවැටීමත් ඒ මගින් පරිසර අසමතුලිතතාවයන් ඇති වීමත් සිදුවේ.
අම්ල වැසි නිසා ගොඩනැගිලි හා ස්මාරක ආදියටද හානි පැමිණෙන අවස්ථා දක්නට ලැබේ. ලෝකයේ ශත වර්ෂ ගණනාවක් පැරණි බොහෝ කලා නිර්මාණ කිරිගරුඩ හා හුණුගල් වලින් නිර්මාණය කර ඇත. අධික ආම්ලික වර්ෂා ජලය කාලාන්තරයක් තිස්සේ මේවා මත පතිතවීම නිසා හුණුගල් (CaCO3) වර්ෂා ජලයේ දියවු H2SO4 සමග ප්‍රතික්‍රියා කිරිම මගින් CaSO4 හෙවත් ජිප්සම් බවට පත් වීමෙන් මේ ස්මාරක විනාශ වෙමින් පවතී. ග්‍රීසියේ පිහිටි සුප්‍රකට  කිරිගරුඩ පිළිම හා කැටයම් මෙන්ම නිව්යෝර්ක් වරායේ පිහිටා ඇති නිදහසේ සිහිවටනයද මේ අභාග්‍ය සම්පන්න ඉරණමට ගොදුරු වෙමින් පවතී.

මූලාශ්‍ර:
http://www.epa.gov/acidrain

                සැකසුම:

                         K.Y.P. දර්ශිකා - විද්‍යා හා තාක්ෂණ නිලධාරී- වත්තල

1 comments:

වටිනා දැනුමක් ලැබුවා........................ අගෙයි

Post a Comment