වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට අයත් මුතුරාජවෙල
පාරිසරික ආරක්ෂක ප්‍රදේශය හෙවත් මුතුරාජවෙල
අභය භූමිය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ, වත්තල ප්‍රාදේශිය
ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 05 ක් තුළ ව්‍යාප්තව පවතී.
මුතුරාජවෙල
යනු කෝට්ටේ රාජධානි සමයේ ඉතා සශ්‍රිකව පැවති කුඹුරු යායකි. රජුන් සදහා මුතුවන්
සහල් සැපයීම නිසාත්, මුතුරාජ නම් පුද්ගලයකුගේ අණසකට යටත්ව පැවති නිසාත් එම කුඹුරු
යායට මුතුරාජවෙල යන නම ලැබුණු බව ඓතිහාසික ජනප්‍රවාද වල සදහන් වේ. එහෙත් යටත්
විජිත සමයේදී භාණ්ඩ ප්‍රවාහනයේ පහසුව සදහා කපන ලද ඕලන්ද ඇළ හා හැමිල්ටන් ඇළ හරහා
ලවණ ජලය කුඹුරු යායට ගලා ඒම නිසා පසු කාලයකදී එම කුඹුරු යාය වගා කිරීමට නුසුදුසු
තත්ත්වයට පත්ව වගුරු බිමක් බවට පත්ව ඇත. එම මුතුරාජවෙල වගුරු භූමිය වන ජීවී
සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් 1996 වසරේදී අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී.
හෙක්ටයාර 206.67 ක්වූ මුතුරාජවෙල පාරිසරික ආරක්ෂක භූමි
ප්‍රදේශය ප්‍රධාන කලාප 3කට බෙදා ඇත. එනම් මුතුරාජවෙල සංරක්ෂණ කලාපය, ප්‍රේරණ කලාපය
හා මිශ්‍ර නාගරික කලාපය වශයෙනි. මේ අතුරෙන් මුතුරාජවෙල සංරක්ෂණ කලාපයේ කටයුතු වන
සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුව ක්‍රියාත්මක කෙරේ. මිශ්‍ර නාගරික කලාපය තුළ
සංවර්ධන කටයුතු සදහා ඉඩ අවස්ථාව සලසා දී ඇති අතර මේ කලාපය මගින් සංරක්ෂණ කලාපයට
සිදුවිය හැකි අහිතකර බලපෑම් අවම කිරිම
සදහා ප්‍රේරණ කලාපයක් නම් කර ඇත. ප්‍රේරණ කලාපය
හා මිශ්‍ර නාගරික කලාපය තුළ කටයුතු ශ්‍රි ලංකා ඉඩම් ගොඩ
කිරිමේ හා සංවර්ධනය කිරිමේ සංස්ථාව මගින් පාලනය කෙරේ.
මෙම තෙත් බිම් පරිසර පද්ධතිය අතීතයේ සිටම විවිධ ප්‍රයෝජනයන්
සදහා යොදවා ගන්නා ලදී. එනම්, ධීවර කර්මාන්තය, කෘෂිකර්මාන්තය, වෙළදාම, නාවික
කටයුතු, ස්වභාවික ද්‍රව්‍ය ලබා ගැනිම, ජීවී වාසස්ථාන සැපයීම, අධ්‍යාපන හා විනෝද
කටයුතු සදහා යොදවා ගැනීම ආදියයි.
මුතුරාජවෙල අභය
භූමිය ජෛව විවිධත්ව අතින් ඉතා පොහොසත් තෙත් බිම් පරිසර පද්ධතියකි. ලෝක සංරක්ෂණ
සංගමයේ ( IUCN )
දත්තයන්ට අනුව මෙම වගුරු භූමිය තුළ කුළ 14කට අයත් ක්ෂීරපායි විශේෂ 34 ක්ද, මත්ස්‍ය විශේෂ 21 ක්ද, උභය ජීවී
විශේෂ 14 ක්ද, උරග විශේෂ 31 ක්ද, පක්ෂි විශේෂ 102 ක්ද, බත් කූරන් විශේෂ 22 ක්ද,
සමනල විශේෂ 48 ක්ද, වාර්තාවී ඇත.
උනහපුලුවා |
ක්ෂීරපායි විශේෂ අතර උනහපුලුවා (Loris tradigradus), කොළ දිවියා (Felis rubiginosa ), අඳුන් දිවියා (Prionailurus viverrinus), රිළවා ( Macaca sinica), දිය බල්ලා
(Lutra lutra) දක්නට ලැබේ.
දංකුඩ පෙතියා (Puntius sinhalaya), රැවුල් දණ්ඩියා (Esomus
thermoicos), උඩ හඳයා (Aplochilus dayi), කොළ කණයා (Channa orientalis), මගුරා
(Clarias brachysoma ) වැනි මත්ස්‍ය
විශේෂද, ගඩොල් ගෙම්බා (Kaloula taprobanica),
අතුකෝරළාගෙ ගෙම්බා (Bufo atukoralei), ගොඩ ගෙම්බා
(Bufo melanostictus), ශ්‍රී ලංකා ගස් ගෙම්බා (Rana
gracilis), රතු මුවපටු මැඩියා (Microhyla rubra), වෙල්
මැඩියා (Limnonectes limnocharis), පිහිඹු ගස් මැඩියා (Polypedates cruciger) වැනි උභය ජීවී විශේෂද ගැට කිඹුලා (Crocodylus porosus), කිරි ඉබ්බා (Lessemys punctata),
ගල්ඉබ්බා (Menanochelys trijuga), පිනුම් තැලි
කටුස්සා (Otocryptis wiegmanni), ලක් හීරලුවා (Lankascincus
fallax), ගැරඬි හිකනලා (Mabuya carinata), තිත් ගේ හූනා (hemidactylus brookii),
දියනයා (Xenochrophis asperrimus) වැනි උරග විශේෂද
බහුලව දැකිය හැක.
රැවුල් දණ්ඩියා |
හීන් කොට්ටෝරුවා |
මුතුරාජවෙල අභය
භූමිය තුළ සැරි සරසන පක්ෂි විශේෂද ගණනාවක්ම හඳුනාගත හැකිය. කණ කොකා (Ardeola grayii), කොරවක්කා ( Amaurornis
phoenicurus) , හීන් කොට්ටෝරුවා (Megalaima rubricapilla), තඹ සේරුවා (Dendrocygna javanica),
බෙල්ලන් කොකා (Anastomus oscitans), මැටි කොරවක්කා
(Porzana fusca), කඩොල් කොකා (Butorides
striatus), උලුස්කැස්වටුවා (Rostratula
benghalensis) මේ අතුරින් විශේෂත්වයක් ගනී. එසේම සමනල් වර්ග
විශාල සංඛ්‍යාවක්ම අභය භූමියතුළ සැරිසරනු දැකිය හැකිය.
මුතුරාජවෙල අභය භූමිය තුළ වෘක්ෂලතා
විවිධත්වය සැලකූවිට, කුල
66කට අයත් ශාක විශේෂ 190ක් දැනට හදුනාගෙන ඇත. එයින් විශේෂ 21ක්ම කඩොලාන
හා කඩොලාන ආශ්‍රිත ශාක විශේෂ වේ. ඒ අතුරින් මට්ටි කඩොල් (Xylocarpus granatum), මහ
කඩොල් (Rhyzophora mucronata ), හීන් කඩොල් (Aegiceras
corniculata), මල් කඩොල් (Bruguiera sexangula), පුං කණ්ඩ (Cariops tagal), කැරන්
කොකු (Acrostichum spp) විශේෂත්වයක් ගනී. එසේම
හම්බු පන් (Typha angustifolia), බොරු පන් (Eleocharis dulcis), එළු පන් (Lepironia articulata),
ගල්ලැහැ (Cyperus corymbosus) වැනි පන් වර්ගද
බහුලව දැකිය හැක.
මට්ටි කඩොල් |
ජෛව විවිධත්වය අතින් ඉතා පොහොසත් තෙත් බිම් පරිසර පද්ධතියක් වූ මුතුරාජවෙල
අභය භූමිය ගංවතුර පාලන ප්‍රදේශයක් ලෙස ද ඉතා වැදගත් වේ. එහෙත් වර්තමානයේ දී
නිසියාකාර සැලසුමක් නැතිව සිදුකරන සංවර්ධන ක්‍රියාදාමයන් හා අනවසර ඉදි කිරීම, ගොඩකිරීම්
හා කැළි කසල බැහැර කරලීම් නිසා මෙම අසිරිමත් තෙත් බිම් පරිසරයේ සමතුලිතතායයට හානි පමුණුවයි. එබැවින්, මෙම පරිසරයෙන්
හෙට දිනටත් නිසි ප්‍රයෝජනයන් ලබාගැනීමට නම් එය සුරක්ෂිත කර ගැනීම ඔබ අප සැමගේම
යුතුකමකි.
අත්
පත්‍රිකා ආශ්‍රයෙන් සැකසුම:
K.Y.P. දර්ශිකා - විද්‍යා හා
තාක්ෂණ නිලධාරී- වත්තල
3 comments:
දර්ශිකා.......................
වත්තල පැත්තේ තියෙන පාරිසරික විවිධත්වය ගැන මනාවට ලියලා... අැත්තට ම මෙතෙක් කලක් නොදැන හිටපු ලොකු දැනුමක් ලැබුවා........... ස්තූතියි...........
සාර්ථක උත්සාහයක් අනෙක් තෙත්බිම් ගැනත් ලියමු, ............ ස්තුතියි - ජනාවාසකරණය, සංස්කෘතිය හා සන්නිවේදනය කෘතියෙහි කර්තෘ
ජාතික උද්‍යාන හා තෙත්බිම්
Post a Comment