December 31, 2014

සිරිලක් පොළවේ දිදුලන මිණිකැට

ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම අගනා මිණිකැට සහා ලෝ සුපතළ වී ඇත. ස්වභාවික සම්පතක් වන මැණික්, කැපීමෙන් හා ඹප දැමීමෙන් අලංකාරයක් එක් කර ගත හැකි ඛනිජයකි.  ස්වභාවික ක්‍රියාවලියකින් ඇතිවන අකාබනික, සමජාතීය  ඝනයක් ඛනිජයක් වුවද යම් ඛනිජයක් මැණිකක් වීමට නම් අලංකාරබව (Beauty), විරලතාවය (Rarity) හා කල් පැවතීම (Durability) යන ගුණාංග වලින් සමන්විත විය යුතුය.

මැණික් නිපදවෙන ක්‍රියාවලියේදී මුහුණදෙන විවිධ භෞතික හා රසායනික තත්ත්වයන්ගේ වෙනස් වීම් මත නිර්මාණය වන මැණික්වල විවිධත්වයක් දැකිය හැකිය. ඒ අනුව, ලංකා පොළවෙන් හමුවන මැණික් විශේෂ ගණනාවක්ම හදුනාගත හැකිය.

ශ්‍රී ලංකාවේ හමුවන මැණික් ඒවායේ වෙළදපොළ වටිනාකම අනුව ප්‍රධාන කාණ්ඩ 2කට වර්ග කෙරේ. එනම් වටිනා මැණික් (Precious gems) හා අර්ධ වටිනා මැණික් (Semi- precious gems) වශයෙනි.
වෙළදපොළේ ඉහළ  ඉල්ලුමක් මෙන්ම  ඉහළ වටිනාකමක් ඇති කුරුවින්ද පවුලට (Corundum Group Gems)  අයත්  නිල් කැට (Blue Sapphire),  පුෂ්පරාග (Yellow Sapphire), ආරනූල් (Star Sapphire), රතු කැට (Ruby) වැනි මැණික් වර්ගද,  කණක පවුලට (Chrysoberyl Group Gems)  අයත්  වෛරෝඩි (Cat’s eye), පසිංගල් (Alexandrite) වැනි මැණික් වර්ගද වටිනා මැණික් ලෙස සැලකේ.
එසේම, වෙළදපොළේ සාපේක්ෂව අඩු වටිනාකමක් හා ඉහළ  ඉල්ලුමක් නැති මැණික් වර්ග අර්ධ වටිනා මැණික් ලෙස හදුන්වයි. රබහ (Garnet), තරිප්පු (Beryl), පළිගු (Quartz), පූනක්කන් (Moonstones), තෝරමල්ලි (Tourmaline), කිරිංචි (Spinel) ආදිය අර්ධ වටිනා මැණික් ලෙස සැලකේ.
ශ්‍රී ලංකාවේ මැණික් හමුවන සුප්‍රකට  ප්‍රදේශ ගණනාවක්ම ඇත. මෙහිදී මැණික්, ඒවා බිහිවූ මව් පාෂාණ සමගම පිහිටා තිබේ නම් එය ප්‍රාථමික නිධියක් වන අතර   ශ්‍රී ලංකාවේ එවැනි ප්‍රාථමික මැණික්  නිධි හමුවන්නේ ඕපනායක, බකමූණ, මහදොළ වැනි ප්‍රදේශ කිහිපයකින් පමණි. ශ්‍රී ලංකාවේ මැණික් සදහා ප්‍රසිද්ධියක් උසුලන රත්නපුරය, පැල්මඩුල්ල, රක්වාන, ඔක්කම්පිටිය ඇඹිලිපිටිය වැනි ප්‍රදේශවල ඇත්තේ ද්විතියික මැණික්  නිධි වේ. එනම් මැණික්, ඒවා බිහිවූ මව් පාෂාණවලින් ගැලවී ජලය සමග ගසාගෙනවිත් පහත් බිම් වල එක් රුස්වීමෙන් සෑදෙන නිධි වේ. 
මෙවැනි ද්විතියික  නිධියක මැණික් එක් රැස් වී ඇති පාංශු ස්ථරය මැණික් ඉල්ලමක් ලෙස සැලකෙන අතර මෙවැනි  ඉල්ලමකින් මැණික් ලබා ගැනීම සදහා පොළව කැණිමේ ක්‍රියාවලිය පතල් කැණිම ලෙස හැදින්වේ.
මෙසේ ලබා ගන්නා මැණික් කපා ඹප මට්ටම් දැමීමෙන් විශාල අලංකාරයක් මෙන්ම ඉහළ වටිනාකමක් එක් කරගත හැකිය.

සැකසුම:     K.Y.P. දර්ශිකා - විද්‍යා හා තාක්ෂණ නිලධාරී- වත්තල

0 comments:

Post a Comment