සත්ත්ව ලෝකයේ විවිධ අනුවර්තනයන් මෙන්ම
විශ්මිත චර්යාවන් දක්නට ලැබෙනවා. බොහෝවිට මේ අනුවර්තනයන් හෝ චර්යාවන් දක්වන්නේ
විලෝපිකයන්ගෙන් බේරී තම වර්ගයා ආරක්ෂා කර ගැනීම සදහායි.
සත්ත්ව ලෝකයේ බොහෝ සතුන් තමා ජීවත්වන
පරිසරයට සමාන පැහැයක් ගන්නවා. තවත් සමහර සතුන් තවදුරටත් විලෝපිකයන්ගෙන් බේරී
පරිසරයේ සැඟවී සිටීම සදහා
වේශාන්තරණය සිදු කරනවා. වේශාන්තරණය කියන්නේ සතුන් තම සමේ ගිලී ඇති වර්ණධර ආධාරයෙන්
ශරීරයේ වර්ණය අවට ස්වභාවික පරිසරයේ වර්ණයට
සමකර ගැනීමයි. මෙලෙස වේශාන්තරණ ක්‍රියාව හොදින් පෙන්වන සත්ත්ව විශේෂයක් වන්නේ උභය
ජීවීන්.
සමහර සතුන් වේශාන්තරණය සිදු නොකළත් උගේ
ශරීරයේ ඇති වර්ණ රටා තම සතුරාගෙන් බේරීමට උදව් වෙනවා. නිදසුනක් ලෙස අප්‍රිකානු
තණබිම්වල වෙසෙන සීබ්‍රාගේ දේහයේ පසුතලය සුදු පැහැති වුනත් එහි ඉහළ සිට පහළට වැටී
තිබෙන කළු ඉරි නිසා ඈත සිටින උගේ විලෝපිකයකුට සීබ්‍රාව පහසුවෙන් හදුනා ගැනීමේ
හැකියාවක් නැහැ.
තවත් සමහර සතුන්ගේ සිරුර තමා ජීවත්වන පරිසරයට හොඳින්ම ගැළපෙන ආකාරයට
සකස්වී තිබෙනවා. අපේ රටේ දෙහි කොළයා, පේර කොළයා යන විවිධ නම් වලින් හදුන්වන කෘමි
සතුන් ඒ අදාල ශාකයේ කොළ වල පැහැය හා හැඩය ගන්නවා. ඉතින් මේ ශාක පත්‍ර අතරේම මේ
කෘමි සතුන් ඉන්නකොට උගේ විලෝපිකයන්ට ඌව
හොයා ගන්න ඉතාමත් අමාරුයි.
Katydid
නම් කෘමියාත් මේ වගේම ශාක අතරේ ගැවසෙන අනුවර්තනය වූ කෘමියෙක්. උගේ පියාපත් ද්වීබීජ ශාක පත්‍රයක් වගේ නාරටි
වලටත් බෙදිලයි තියෙන්නේ. ඉතින් මේ කෘමියා ශාක පත්‍රයක්
මතට වී නොසෙල්වී ඉන්න කොට සතුරන්ට හොයා ගන්න ඉතාමත් අමාරුයි.
මේ ආකාරයට දිරාගිය ශාක පත්‍රවල හැඩය ගන්නා සමනල් විශේෂද ඉන්නවා. මල් පත්‍ර
සමනලයා ඒ අතුරින් එක්කෙනෙක්. උගේ පියාපත් පත්‍රවල හැඩය ගන්නා අතර ඒවායේ පිටුපස
දුඹුරු පැහැති පසුබිමේ දිරාගිය පත්‍රවල වර්ණ රටාවන් දක්නට ලැබෙනවා. ඒ නිසා ඈතින් බලන කෙනෙකුට පෙනෙන්නේ දිරාගිය ශාක පත්‍රයක් වගෙයි.
විලෝපික කුරුල්ලන්ගෙන් බේරෙන්න මකුළුවා දරන උත්සාහයත්
මේ වගේමයි. බොහෝවිට මකුළුවා තම දැල වියද්දී ඌ සැඟවී සිටින බව පෙන්නන්න
තවත් තැන් දෙකක් විතර හදලා ඒ මැදට උගේ ශරීරයේ ප්‍රමාණයට රොඩු දාලා තියනවා. ඉතින්
මකුළුවා ගොදුරු කර ගන්න එන කුරුල්ලො මකුළුවා කියලා රැවටිලා පහර දෙන්නේ ව්‍යාජ ලෙසට
හදලා තිබුණු ස්ථාන වලටයි.
Hark වැනි සමහර සලබයන්ගේ හා
මොණර සමනලයන්ගේ පූර්ව පියාපත් යුගල බොහෝවිට
අවට පරිසරයට ගැළපෙන වර්ණ රටා වලින් යුක්ත වෙනවා. විශාල ඇස් දෙකක සලකුණු සහිත අපර
පියාපත් යුගල පූර්ව පියාපත් යුගලට යටින් සැඟවී තියෙනවා. මේ සලබයන්
ඩැහැගෙන යාමට සතුරකු පැමිණෙනවිට ඇස් සලකුණු
සහිත අපර පියාපත් යුගල දිගහැර වේගයෙන් චලනය කරනවා. ඒ අනුව සතුරා නොමග යවන්නේ ඉතා
විශාල ඇස් ඇති සතෙක් තම ඇස් වේගයෙන් සොලවන බව අගවමින්.
සමහර සතුන් තම විලෝපිකයන්ගෙන් බේරීම සදහා ඉහත
ආකාරයේ උපක්‍රම යොදාගෙන තිබුණද, ඇතැම් විලෝපිකයන් ඔවුන්ට වැඩි වශයෙන් ගොදුරු ලබා
ගැනීම සදහාත් විවිධ අනුවර්තනයන් දක්වනවා.
ලංකාවේ මිරිදිය දිය පහරවල්වල දක්නට ලැබෙන
විලෝපික කෘමියකු වන “දර කෝටුවා” දිය පහරට ගහගෙන ගිය
කුඩා කෝටු කැබලි ගොඩක් මෙන් ජල පහරේ මුල්ලකට වී ඉන්නවා. මේ අසලට වෙනත් කෘමි සතකු
පැමිණිවිට තම අඬු දිගහැර දර
කෝටුවා එම කුඩා සතුන් අල්ලා ගන්නවා.
අප රටේ වනාන්තරවල දක්නට ලැබෙන දිවියාගේ
ශරීරයේ කහ පැහැති පසුබිමේ කළු පුල්ලි පිහිටා තියෙනවා. මෙවැනි වර්ණ රටාවක් තියෙන
දිවියා ඉන්නේ වනාන්තරවල තියෙන විශාල ගස්වල අතුවල. ඉතින් ශරීරයේ වර්ණ රටාව නිසා මේ විලෝපිකයාව
පහසුවෙන් හදුනාගන්න දුර තියා බලන සතකුට අමාරුයි.
ඒ වගේමයි කොටියාගේත් ශරීරය. තැඹිලි පැහැති
පසුබිමේ කළුපැහැති වෛරන් වැටී තියෙනවා. මේ වර්ණ රටාව නිසා ඈතින් සිටින සතකුට කොටියාගේ ශරීරයේ සම්පූර්ණ ප්‍රමාණය එකවර
පැහැදිලිව හදුනාගන්න අමාරුයි. ඒ නිසා කොටියාට ඉතා පහසුවෙන් තම ගොදුර වෙත ලගාවෙන්න පුළුවන්.
මේ අනුව සත්ත්ව ලෝකයේ තියෙන්නේ පුදුමාකාර
අපූර්වත්වයක්. සමහර සතුන් වර්ණය, හැඩය හෝ චර්යා රටාවන් අනුව අනෙක් සතුන්ගෙන්
සැගවෙන්න උත්සාහ කළත් තවත් සමහර සතුන් තම චර්යාවන් හා වර්ණ රටාවන් ඉස්මතු කරගනිමින්
අනෙකුත් සතුන් ගොදුරු කර ගැනීමට දරන උත්සාහය සත්ත්ව ලෝකයේ චමත්කාරය මොනවට පැහැදිලි
කරයි.
පොතපත ඇසුරෙන් සැකසුම:
K.Y.P. දර්ශිකා - විද්‍යා හා
තාක්ෂණ නිලධාරී- වත්තල
0 comments:
Post a Comment