December 31, 2014

විස්මිත පිළියමක් වූ Straddling බස් රථය

රථවාහන තද බදය ඕනෑම නගරයකට ගැටළු රැසක් ඇති කරන බව අමුතුවෙන් කිව යුතු නැත. ශබ්ද දූෂණය , වායු දූෂණය මෙන්ම නගරයේ කාර්යක්ෂම ක්‍රියාකාරිත්වයටද මෙය අහිතකර ලෙස බලපානු ඇත. පොදු ප්‍රවාහන සේවා වන බස්රථ , දුම්රිය වැනි සේවාවන්  භාවිතා   කළද රථවාහන තද බදයට පිළිතුරක් ලැබෙනවාද යන්න ප්‍රශ්ණයකි. සැබැවින්ම මාර්ග තදබදයක් ඇති නොවන පරිසර හිතකාමි පොදු ප්‍රවාහන සේවයක් ඇතිකළ නොහැකිද?
   චීනයේ Shenzhen hashi future parking equipment  සමාගම මෙවැනි බස් රථයක් නිර්මාණය කර ඇත. එය මුල් වරට 2010 වර්ෂයේ 13 වන බීජිං හයිටෙක් ප්‍රදර්ශණයට ඉදිරිපත් කරන ලදී. මෙය Straddling බස්රථය ලෙස හදුන්වා ඇත.
   මෙම බස්රථය දිගින් මීටර 24 වන අතර පළල මීටර් 7.8 කි. එසේම එහි උස මීටර 4.6 කි. මෙතරමි විශාල බස්රථයකින් වාහන තද බදයට පිළිතුරක් ලැබේවිද?

මෙම බස්රථය තටිටු දෙකකින් සමන්විතය. (Double decker  බස්රථයක් මෙනි. )  නමුත් මගීන් ගමන් කරනුයේ උඩ තටිටුවේ පමණි. යට තටිටුව ගුහාවක් ආකාරයෙන් හිඩැසක් සහිතව තනා ඇත. මෙම හිඩැස තුලින් පාරේ යන අනෙකුත් වාහන වලට ගමන් කල හැකිය. විශේෂයෙන්ම කාරයන් වැනි වාහන දෙකකට එකවර මෙය තුලින් ගමන් කිරීමට හැකිය. එබැවින් මෙම බස්රථය විශාල වුවද මාර්ග තද බදයක් ඇති නොවේ.
      මෙම බස්රථයෙහි ඇති සංවේදකයන් ( sensors )  මගින්  බස්රථයේ යට තට්ටුවේ හිඩැසට  වඩා උස වාහන වලට එය තුලට ඇතුළු වීමට අවකාශ ලබා නොදේ. මෙම බස්රථය නවතා තබනුයේ පාර මැදය. මේ සඳහා විශේෂ වාහන ගාල් කරන ස්ථාන අවශ්‍ය නොවේ. මන්ද බස් රථය නැවතූ විටද එය ඇතුළින් අනෙකුත් වාහන වලට කිසිදු අපහසුවකින් තොරව ගමන් කළ හැකිය. එසේම මෙම බස්රථයේ ගමන් කරන මගීන් එයින් බැස ගන්නේ කුඩා සෝපානයක් ආධාරයෙනි. එමෙන්ම මගීන්ට මානසික සුවයක් සලසනු වස් මෙම රථයේ වහලය විශාල වීදුරු වලින් තනා ඇති අතර අවට පරිසරය රිසිසේ නැරඹීම සඳහා වටේට විශාල වීදුරු ජනේල සවිකර ඇත.

   මෙම බස්රථය ගමන් කරනුයේ විදුලියෙනි. බස්රථය ගමන් කරන අතර තුරම අවශ්‍ය පරිදි පොදු විදුලි රැහැන් වලට සම්බන්ධ වී ( බස්රථයේ වහලයේ සවි කර ඇති කොකු දෙකක් ආධාරයෙන් ) ආරෝපණය (charge ) කර ගනී. විදුලියට අමතරව සුර්ය බලශක්තියද මෙම බස්රථය ධාවනය කිරීම සඳහා යොදා ගනී. මෙනිසා සාමාන්‍ය ප්‍රවාහන සේවාවලින් සිදු වන පරිසර දූෂණයද සිදු නොවේ. මෙහි වඩාත් වැදගත් කරුණ නම් අති විශාල මගීන් ප්‍රමාණයකට (1200 පමණ) එකවර මෙම බස් රථයේ ගමන් කළ හැකි වීමයි. ඒ අනුව සාමාන්‍ය බස් රථ 40 ක් ධාවනය කිරීමේ අවශ්‍යතාව මෙම එක් බස්රථය මඟින් සපුරාලනු ඇත. එම නිසාම සාමාන්‍ය බස් රථ 40 ක් ධාවනය සඳහා අවශ්‍ය වන ටොන් 860 ක් වූ පෙට්‍රල් සහ ඉන් පිටවන ටොන් 2640 ක් වූ කාබන් ප්‍රමාණයක් පරිසරයට මුදාලීම නවතිනු ඇත. දැනට චීනයේ නාගරික ප්‍රවාහනය සඳහා මෙම බස්රථය යොදා ගැනීමට සැලසුම් කර ඇත.
      පරිසර හිතකාමි මෙවන් වූ බස්රථයකින් සුවදායි ගමනාත්තයකට  ළගා වීමට ඔබටත් මටත් අප රට තුලදී ද හැකි ඉක්මනින් අවස්ථාවක් උදා වේවායි ප්‍රාර්ථනා කරමි.

අන්තර්ජාලය ඇසුරින්
සකස් කරන ලද්දේ
කාංචනා හෙට්ටිආරච්චි
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
කැලණිය

2 comments:

විශිෂ්ට ලිපියක්.චීනා මාරයිනෙ.එක අතකට ඔය වගෙ දෙයක් අපේ අයට හිතුනත් ඒව ක්‍රියාත්මක කරන්න බෑ හණමිටිකාරයො එක්ක.වැඩෙත් සුපිරියි ලිපියත් සුපිරියි

මා වැස්සෙන් හා වැසි ජලයෙන් විදුලිය නිපදවන හැටියක් සොයමින් විට අැස ගැටුනේ අනේ අපේ 226 අපිට කවදා ඉඩ දේවිද ? නැතිනම් දිනපතා අප්රේල් 21 ද ?

Post a Comment