December 28, 2014

"බ්ලූබ්‍රේන්" ව්‍යාපෘතිය නොහොත් කෘත්‍රිම මිනිස් මොළය නිර්මාණය කිරීම


ප්‍රතිවර්ත ඉංජිනේරු(Reverse-Engineering) ක්‍රමයට, වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණ පහසු කළ හැකි වන සේ කෘත්‍රිම මිනිස් මොළයක් නිර්මාණය කිරීම, ස්විට්සර්ලන්තයේ පෙඩරල් තාක්ෂණ ආයතනයේ(EPEL) මහාචාර්යවරයෙකු වන ඊශ්‍රායල් ජාතික හෙන්රි මාක්‍රම්(Henry Markram) ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම විසින් 2005 වර්ෂයේ මැයි මසදී ආරම්භ කරන ලදී.

දැනට බොහෝ සේ සාර්ථක වී ඇති මෙම බ්ලූබ්‍රේන් ව්‍යාපෘතිය තුලින්, 2014 වසර අවසන් වීමට පෙර මීයෙකුගේ මොළයේ ඩිජිටල් ආකෘතියක් තනා අවසන් කල හැකි බව පර්යේෂකයින්ගේ අදහසයි. මීයෙකුගේ මොළයට සාපේක්ෂව ඉතා  සංකීර්ණ වන මිනිස් මොළය,  ප්‍රමාණාත්මකව ද ඊට වඩා දහස්(1000) ගුණයක් විශාලය. ඒ කෙසේ වෙතත් 2023 වෙන විට මිනිස් මොළයේ ඩිජිටල් ආකෘතියක් තනා අවසන් කිරීම හෙන්රි මාක්‍රම් ප්‍රමුඛ පර්යේෂකයින්ගේ අභිප්‍රාය වේ.                                           
මෙම ව්‍යාපෘතිය තුලින්, මිනිස් මොළයේ බාහිකය ලෙස හඳුන්වන ප්‍රදේශයේ  ඇති නිතරම දියුණු වෙමින් හෙවත් පරිණාමය වෙමින් තිබෙන විශේෂ කලාපයක් වන, නව බාහිකයේ (neocortex) ස්නායු
සැකැස්ම නිරූපණය කරන ඩිජිටල් ආකෘතියක් තැනීම සිදුකරනු ලබයි. මිනිසුන් වයසින් මුහුකුරායත්ම ඔවුන්ගේ අත්දැකීම් වැඩිවන අතර, ඒ අනුව නව බාහිකය වෙනස් වී එම දැනුම අනුව ක්‍රියා කිරීමට ඒ ඒ පුද්ගලයාගේ මොළය යොමු කරවනු ලබයි. මොළයේ මෙම විශේෂ ප්‍රදේශයේ  ස්නායු පිහිටා ඇති ආකාරය පමණක් නොව, එම ස්නායු එකිනෙක අතර තොරතුරු හුවමාරු කර ගන්නා ආකාරයට ක්‍රියාත්මක කෘත්‍රිම මොළයක් තැනීම ද බ්ලූ බ්‍රේන්හි වෑයමයි.

මෙම ව්‍යාපෘතිය තුලින් මේ වනවිට නව බාහිකය ප්‍රදේශයේ  තිබෙන නියුරෝන දස දහස් ගණනක මෘදුකාංග ආකෘති(පරිගණක වැඩසටහන්) නිර්මාණය කර ඇත. මේ එක් පරිගණක වැඩසටහනක් වෙන්කර ගත්විට  එය ක්‍රියා කරනුයේ, ස්නායු සෛලයක් ක්‍රියාත්මක වන ආකාරයටය.  එනම් ස්නායු සෛලයක් ආවේග ලබා ගන්නේ කෙසේද? ඒවා සම්ප්‍රේෂණය කරන්නේ කෙසේද? අනෙක් ස්නායු සමඟ සම්බන්ධතා පවත්වා ගන්නේ කෙසේද? යනාදී  ස්නායු සෛල වල මූලික ස්වරූප සියල්ලම මෙම පරිගණක වැඩසටහන් තුලින් නැවත නිර්මාණය කරන්නට හැකිවීමයි.
මෙම කටයුතු සඳහා යොදා ගන්නේ IBM සමාගමේ බ්ලූජීන්(Blue Gene) සුපිරි පරිගණකයයි.  ඒ සහා මයිකල් හින්ස්(Michael Hines) විසින් නිර්මාණය කරන ලද නියුරෝන් නම් විශේෂ පරිගණක වැඩසටහනද යොදාගනී.
                                                                                                                                                                     උපුටා ගැනීම :- 
http://en.wikipedia.org/wiki/Blue_Brain_Project සහ පොත පත ඇසුරිනි. 
සැකසුම : -
ඒ.ටී. පතිරත්න - විද්‍යා හා තාක්ෂණ නිලධාරී,බියගම විදාතා සම්පත් මධ්‍යස්ථානය

0 comments:

Post a Comment