December 27, 2017

MRI ස්කෑනරයක් යනු කුමක්ද

MRI ස්කෑන් එකක් ලෙසින් හඳුන්වන්නේ රෝග විනිශ්චය සඳහා භාවිතා කරන අති නවීන තාක්‍ෂණයක්. මෙමගින් අපගේ ශරීරයේ  අභ්‍යන්තර අවයව වල තිබෙන රෝගී තත්වයන් නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙය ඉතාම මිල අධික වගේම ඉතාම නිවැරදි තොරතුරු ලබා දෙන තාක්‍ෂණයක්. ශරීරයේ සෑම අවයවයක්ම වාගේ පරික්ෂා කරන්න මෙම ක්‍රමය භාවිතා කරන්න පුළුවන්. X කිරණ සටහන්, CT ස්කෑන් වැනි දේ භාවිතා කර නිරීක්‍ෂණය කරන්න බැරි සංකීර්ණ අවස්ථා සඳහා MRI ස්කෑන් භාවිතා කරනවා. උදා: පිළිකා අධ්‍යයනය, මොළය පරික්ෂා කිරීම, අනතුරකදී ශරීර අභ්‍යන්තරයට සිදුවී ඇති හානි පරික්ෂා කිරීම, හදවත පරික්ෂා කිරීම මින් කිහිපයක් පමණයි.

MRI යන කෙටි යෙදුමෙන් හඳුන්වන්නේ Magnetic Resonance Imaging යන්නයි. මෙහිදී සිදුවන්නේ අධි තීව්‍ර චුම්භක ක්ෂේස්ත්‍රයක් අපගේ සිරුර හරහා යැවීමෙන් අපේ සිරුරේ අභ්‍යන්තර අවයව වල ඉතා පැහැදිළි රූප සටහන් ලබා ගැනීම.

MRI ස්කෑන් පරීක්ෂාවකදී මොකද වෙන්නේ?
MRI ස්කෑන් පරික්ෂාවකදී රෝගියාව පැතලි ඇඳක දිගා කොට ස්කෑනරය ඇතුලට සෙමෙන් යවනවා. පළමුව යන්ත්‍රය තුලට යොමු කරන්නේ හිස පෙදෙසද නැති නම් දෙපයද කියන දෙය තීරණය වන්නේ පරික්ෂා කරන අවයවය අනුවයි.

MRI ස්කෑනරයක් ක්‍රියා කරවන්න අවසර තියෙන්නේ ඒ සඳහා විශේෂ පුහුණුව ලැබූ විකිරණ තාක්ෂණ ශිල්පියෙකුට පමණයි (radiographer). ඔවුන් මෙම යන්ත්‍රය පාලනය කරන්නේ පරිගණකයක් ආධාරයෙන්. සාමාන්‍යයයෙන් මෙම පරිගණකය තියෙන්නේ වෙනම කාමරයක. ස්කෑනරය මගින් නිකුත් කරන අධික චුම්භක ක්ෂේස්ත්‍රයෙන් පරිගණකය වෙන් කිරීමට තමයි මෙලෙස කරන්නේ. මෙම තාක්ෂණ ශිල්පියාට කැමරා ආධාරයෙන් ස්කෑනරය තුල සිටින රෝගියාව නිරීක්ෂණය කල හැකි අතර intercom එකක් ආධාරයෙන් ඔහු සමග සංවාදයේ යෙදෙන්නත් පුළුවන්.

ස්කෑන් පරීක්ෂාවක් සඳහා මිනිත්තු කිහිපයක් හෝ ඇතැම් මිට මිනිත්තු 90ක් පමණ දීර්ග කාලයක් ගත වෙන්නත් පුළුවන්.  කාලය බොහෝ දුරට තීරණය වන්නේ කොපමණ පින්තුර ප්‍රමාණයක් ලබා ගන්නවා ද සහ කුමන අවයවද පරික්ෂා කරන්නේ, පරික්ෂා කරන පෙදෙසේ විශාලත්වය වැනි  කාරණා මත. කොහොම වුනත් ස්කෑන් පරික්ෂාව සිදුකෙරෙන සම්පුර්ණ කාලය පුරාම රෝගියාට හැකි තරම් නිසොල්මන්ව සිටින්න සිදුවෙනවා මෙය ඉතාම වැදගත් දෙයක්.

මෙය ආරක්‍ෂිත ක්‍රමවේදයක් ද?
මෙය  ඉතාම ආරක්ෂිත සහ වේදනා රහිත ක්‍රියාවලියක්. මෙහිදී තිබෙන ප්‍රධානම ගැටළුවක් වන්නේ කුඩා ඉඩ ප්‍රමාණයක කොටුවී සිටීමේදී හිතට දැනෙන බිය. මෙය හැම කෙනෙකුටම නැති එක්තරා මානසික තත්වයක්. මෙයට කියන්නේ claustrophobia කියල.

MRI ස්කෑන් පරීක්ෂාවකදී X කිරණ පරීක්ෂාවකදී මෙන් ශරීරය විකිරණ වලට නිරාවරණය වීමක් සිදුවන්නේ නැහැ. මේ නිසා ගැබිණි මව්වරුන්ට පවා මෙම ස්කෑන් පරික්ෂාව සිදුකර ගන්න පුළුවන් හානියකින් තොරව.

මෙතෙක් කිසිදු පර්යේෂණයකින් හෝ සිදුවීමකින් තහවුරු වී නැහැ MRI ස්කෑන් පරීක්ෂාවකදී ශරීරයට හානි ගෙනදීමක් සිදුවෙනවද කියන දෙය. මේ නිසා ලොව දැනට ඇති ආරක්ෂිතම රෝග පරික්ෂාණ කරන ක්‍රමවේදය ලෙසින් MRI හඳුන්වනවා. 

0 comments:

Post a Comment