December 26, 2017

සත්ව ලොවේ අපූර්ව සත්වයෝ

සත්ව ලෝකය තුල අපූර්ව ලක්ෂණ පෙන්වන සතුන් බෙහොමයක් සිටින අතර වැම්පයර් වවුලා, යෝධ පැන්ඩා මුහුදු අශ්වයා, හී විෂ ගෙම්බා, මී කොං කැට් ෆිෂ් ඒ අතුරින් කිහිප දෙනෙකි.

නිදි අතරේ  ලේ උරා බොන ලේ පිපාසිතයා ලෙසද හදුන්වන   වැම්පයර් වවුලාගේ මුල්ම නිජබිම ඇමෙරිකා මහද්වීපයයි.ආහාරය ක්ෂිරපායි හා පක්ෂි රුධිරය වන අතර මිනිසාගේ රුධිරය බොන අවස්ථාද දැකිය හැක.මෙම  වැම්පයර් වවුලාගේ ඛේටයේ ඩ්‍රැකියුලීන් නම් රුධිරය කැටි ගැසීම වලක්වන රසායනික ද්‍රව්‍ය අඩංගු වන අතර නිදා සිටින සතුන්ට විද රුධිරය වහනය වන විට එය ලෙව කයි.මෙම   වවුලාගේ කේතු හැඩයක් ගත් නාසය තුල උෂ්ණ ප්‍රතිග්‍රාහක පිහිටා ඇති අතර එමගින් ගොදුරේ රුධිර නාල සොයා ගනියි. එමෙන්ම මෙම සත්වයාගේ මොළයෙහි නිදා සිටින සතුන්ගේ ස්වසන ශබ්දය ඇසීමට  හැකි ප්‍රතිග්‍රාහක සෛලද පිහිටා ඇත. පියෑඹීම, දිවීම හා ඇවිදීම යන සංචරණ ක්‍රම ඇත

යෝධ පැන්ඩාගේ නිජබිම  චීනයයි. කුඩා පැටවකු ග්රෑම්150 ක් පමණ වන අතර පිරිමි    පැන්ඩාවන් ගැහැණු පැන්ඩාවන්ට වඩා විශාලය. ගැහැණු පැන්ඩාවන් කිලෝ ග්රෑම් 100ක් පමණ වන අතර මීටර1.5 ක් පමණ දිගය.ඇස් කන් හා ශරීරය වටා කලු ලප පිහිටයි.අනෙකුත් ප්‍රදේශ සුදුය. හිම කදු ආශ්‍රිතව වෙසෙන ‍‍‍භෞමික හා රුක් වැසි සත්වයෙකි.ප්‍රධාන ආහාරය උණ ගස්වල ලපටි පත්‍රයි.පණිවුඩ හුවමාරුව, ශබ්ද නැගීම, සුවද පැතිරවීම, ගස් පහුරු ගෑම හා මුත්‍රා විදීම වැනි ක්‍රියා මගින් සිදු කරයි.වාසස්ථාන අහිමි වීමත් උපත් අනුපාතිකය අඩු වීමත් උණ  පත්‍ර හැර වෙනත් ආහාර වලට හුරු නොවීමත් නිසා මොවුහු අද  වදවී යාමේ තර්ජනයට මුහුණ පා සිටිති.

දරුවන් කරපින්නා ගත් සෙනෙහෙබර තාත්තා ලෙසද හදුන්වන මුහුදු අශ්වයා සත්ව ලොවේ තවත් අපූර්ව සත්වයෙකි. මත්ස්‍ය වර්ගයක් වන මොවුන් උතුරු ඇමෙරිකාවේ සිට දකුණු ඇමෙරිකාව  දක්වා විහිදුනු පැසිපික් සාගර තීරයේ හමුවේ. පැළෑටි  කොරල්පර හා සෙවන සහිත පරිසර වල ජීවත් වේ.දේහ දිග සෙ.මී2.5- සෙ.මී 30 පමණ වන අතර දික්වූ හොම්බක් වැනි අවයවයක් මගින් ආහාර උරා ගනී. ආහාරය කුඩා ඉස්සන් හා ජලජ ප්ලවාංගයි.දේහය උඩු අතට තබා ගෙන පිහිනයි.ගැහැණු මුහුදු අශ්වයා පිරිමි මුහුදු අශ්වයාගේ පැසක් වැනි ව්‍යූහයක් තුල බිත්තර දමයි.  පිරිමි සත්වයා බිත්තර ආරක්ෂා කර කුඩා පැටවු ජලය‍ට නිදහස් කරයි.එම නිසා සත්ව ලොවේ   සෙනෙහෙබර තාත්තා ලෙස හදුන්වයි.

හී විෂ ගෙම්මා දකුණු ඇමෙරිකානු නිවර්තත වැසි වනාන්තර තුල ජීවත් වේ. ඇමේසන් වනාන්තරය ඔවුන්ගේ නිජබිමයි. ලෝකයේ දරුණුම උභය ජීවී  සත්ව‍යාවේ. දේහ ප්‍රමාණය සෙ.මී 5ක් පමණ වන අතර සමෙහි කහ කලු කොළ හා නිල් වර්ණ සහිත පටි වැනි රටා ඇත. සම පුරා විෂ ග්‍රන්ථි පිහිටා ඇති අතර එමගින් සතුරන් අඩපණ කරයි. මොවුන්ගේ විෂ ග්රෑම් 1 කින් මිනිසුන් ලක්ෂයක් පමණ මරා දැමිය හැකි බව කියවේ.
මී කොං කැට් ෆිෂ් සත්ව ලොවේ තවත් අපූර්ව සත්වයෙකි.මිරිදිය වාසී අයෝමය පුරුෂයා ලෙසද හැදින්වේ. නිජබිම මී කොං සානුව ආශ්‍රිත ප්‍රදේශයයි. අග්නිදිග ආසියානු රටවල ජලාශවල වෙසෙයි. විශාලම මිරිදිය වාසී මත්ස්‍යයා වේ. දේහ බර කි.ග්රෑම් 150 - කි.ග්රෑම්200 පමණ වන අතර මීටර් 3ක් පමණ දිගය.මොවුන්ගේ දත් පළමු අවුරුදු දෙකෙන් පසු ගැලවී විදුරු මස පමණක් ඉතිරි වේ. අධික ලෙස දඩයම් කිරීමත් ජලයේ ගුණාත්මක බව  අඩු වීමත් මත්ස්‍යයාගේ පැවැත්මට තර්ජනයක් වී ඇත.අන්තර්ජාතික වෙළදාම  තහනම් කර ඇති අතර රතු  දත්ත පොතෙහි ඇතුළත් කර ඇත. මෙවන් අපූර්ව ලක්ෂණ පෙන්වන සතුන් රැසක් සත්ව ලෝකයේ දැකිය හැකිය.

සැකසුම-පොත පත ඇසුරිනි
කේ.ඩී.පී.ඩී.සිරිවර්ධන
විද්‍යා හා තාක්ෂණ නිලධාරී-බලපිටිය

1 comments:

ගොඩක් වටිනවා

Post a Comment