December 29, 2017

කාබන් ඩයොක්සයිඩ් වායුව ඉන්ධනයක් ලෙස භාවිතා කිරිම.

  
ගෝලීය උණුසුම ඉහල යාමට බලපාන ප්‍රධානතම සාධකයක් තමයි වායුගෝලයේ ඇති කාබන් ඩයොක්සයිඩ්. මෙමගින් ඇති කරන ගෝලීය උණුසුම ඉහල යාම නිසා පෘථිවි වාසී සියලුම සත්වයින්ට ඉදිරියේදී බරපතල විපාක වලට මුහුණ දෙන්න සිදුවීමේ අවධානමක් ඇත. මේ නිසා කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අවම කර ගන්න ලෝකයේ හැම රටක්ම වගේ උත්සාහ ගනී. ඒ සඳහා නීති රීති පවා පනවා තිබේ. නමුත්, කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අඩු කිරීමට තිබෙන ප්‍රධානම බාධකය තමයි දිනෙන් දින ඉහල යන බලශක්ති ඉල්ලුම සහ එම බලශක්ති ඉල්ලුමට සරිලන සැපයීම ලබා දීමට පොසිල ඉන්ධන (උදා:පෙට්‍රල්, ඩීසල්, ගල් අඟුරු )දහනය කිරීමට සිදුවීම.

කාබන් ඩයොක්සයිඩ් භාවිතා කර ඉන්ධන නිපදවීම මගින්  පොසිල ඉන්ධන දහනයකින් තොරව ඉහල යන බලශක්ති ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමේන්  වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු කර ගත හැක. මෙන්න මේ අපූරු ක්‍රියාවලිය සිදුකරන්න ඇමෙරිකාවේ බලශක්ති දෙපාර්තමේන්තුවේ (US Department of Energy) ඕක් රිජ් ජාතික විද්‍යාගාරයේ (Oak Ridge National Laboratory) පර්යේෂකයින් පිරිසක් විසින් පරිසර උෂ්ණත්වයේදී පුංචි විදුලි ධාරාවක් යැවීම මගින් කාබන් ඩයොක්සයිඩ් ඉතාම කාර්යක්ෂම ලෙසින් එතනෝල් බවට පරිවර්තනය කරන්න හැකිවී තිබේ.
ජලයේ දිය කර ඇති කාබන් ඩයොක්සයිඩ් 1.2V වැනි ඉතා කුඩා වෝල්ටියත්වයක් යටතේ කාබන්, කොපර්, සහ නයිට්‍රජන් යන උත්ප්‍රේරක යටතේ ඔක්සිහරණය (reduction) කිරීමෙන් එතනෝල් නිෂ්පාදනය සිදු කෙරේ. මෙහිදී 63% ක පමණ ඉතා ඉහළ ඵලදාවක් සහිතව (yield) එතනෝල් නිපදවන්න හැකිවී තිබේ.

කාබන් ඩයොක්සයිඩ් වලින් ඉන්ධන නිපදවීම සඳහා කෙරෙන පර්යේෂණ අලුත් දෙයක් නොව්. මීට පෙර ද මෙවැනි පර්යේෂණ සිදු කොට ඇත. නමුත්, එම පර්යේෂණ වලින් මෙතරම් සාර්ථක ලෙස කාබන් ඩයොක්සයිඩ් ඉන්ධනයක් බවට පරිවර්ථනය කිරීමට හැකි වී නොමැත. මෙම පර්යේෂණයේ සාර්ථකත්වයට හේතුව ඔවුන් භාවිතා කළ උත්ප්‍රේරක නැනෝ ව්‍යයුහයක් ලෙසින් නිර්මාණය කල උත්ප්‍රේරකවේ.

කාබන් ඩයොක්සයිඩ් ඉන්ධන බවට පරිවර්ථනය කිරීමේ මෙම ක්‍රමවේදයට මිල අඩු උත්ප්‍රේරක භාවිතය, පරිසර උෂ්ණත්වයේදී ප්‍රතික්‍රියාව සිදුකිරීම, ඉහල ඵලදාවක් සහිතව එතනෝල් නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව යන කරුණු නිසා මෙම ක්‍රමය වාණිජ මට්ටමින් එතනෝල් නිෂ්පාදනයට හෙවත් වාණිජ මට්ටමින් කාබන් ඩයොක්සයිඩ් ඉන්ධනයක් බවට පරිවර්තනය කිරීමට යොදා ගැනීමට ඉහල හැකියාවක් තිබේ.

මෙම ප්‍රතික්‍රියාව සඳහා අවශ්‍ය විදුලිය සුළන් බලයෙන් හෝ සුර්ය ශක්තියෙන් ලබා ගත හැක. එලෙස කරන්නට හැකි වුනොත්, විදුලිය අතිරික්තයක් ඇති අවස්ථා වලදී එම අතිරික්ත විදුලිය භාවිතා කර කාබන් ඩයොක්සයිඩ් වලින් එතනෝල් නිපදවා එතනෝල් ගබඩා කර තබා ගත හැක. සුළන් විදුලිය සහ සුර්ය විදුලිය නිපදවීමේ ඇති ප්‍රධානතම ගැටලුව වන ශක්තිය ගබඩා කර තබා ගැනීමේ ගැටලුවටත් මෙමගින් පිළිතුරක් ලැබේ.

මෙම ක්‍රමවේදය පවතින්නේ පර්යේෂණාගාර මට්ටමේ. වාණිජ මට්ටමේදී මෙහි සාර්ථකත්වය තවමත් අධ්‍යයනය කල යුතු දෙයක්. වාණිජ මට්ටමේදීත් මෙය සාර්ථක ක්‍රමයක් බවට පරිවර්තනය කර ගන්න හැකි වුනොත් එය අප හමුවේ ඇති බලශක්ති අර්බුධයට සාධනීය පිළිතුරක් සපයනු ඇති.

විද්‍යා හා තාක්ෂණ නිළධාරි-  හික්කඩුව

0 comments:

Post a Comment