December 6, 2017

ගෝලිය උෂ්ණත්වය ඉහළ යාම හා ලෝක ආහාර අර්බුදය



2013 වර්ෂයේදී නිකුත් වු දේශගුණික විපර්යාසයන් පිළිබඳ අන්තර් මණ්ඩලයේ පස්වන ඇගයීම් වාර්තාවට අනුව විසිවන සියවසේ මැද භාගයේ සිට ගෝලිය උෂ්ණත්වයේ කැපි පෙනෙන වැඩිවීමක් දක්නට ඇත. කාර්මික විප්ලවය හරහා මානවයාගේ භෞතික අවශ්‍යතාවයන් සඳහා වු නිෂ්පාදන වැඩි වැඩියෙන් ලොවට බිහිවනවාත් සමගම ඒහා සමානව ස්වභාවික පරිසර පද්ධතිය විනාශ කරන්නා වු අපද්‍රවය පරිසරය හා මුසුවිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය උෂ්ණත්වය වැඩිවිය.


            මෙම පරිසර උෂ්ණත්වය ඉහළ දැමිම සඳහා ප්‍රධාන වශයෙන් දායක වන්නේ කාබන්ඩයොක්සයිඩ්, මීතේන් සහ නයිට්‍රස් ඔක්සයිඩ් වැනි හරිතාගාර වායුන්ය. මුහුදු මට්ටම ඉහල යාම, කාන්තාරකරණය, ග්ලැසියර් දියවීම සහ  සාගරය ආම්ලිකකරණය වීම වැනි ක්‍රියාදාමයන් සඳහා වගකියනු ලබන්නේ මෙම ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමයි.

            ගෝලීය උෂ්ණත්වයේ වැඩිවන සෑම අංශකයක්ම ප්‍රධාන ආහාර බෝගවල අස්වැන්න කපා දමනු ඇත. මෙම තොරතුරු සඳහා සාක්ෂි සපයන්නේ කෘෂිකාර්මික පර්යේෂණ ක්ෂේත්‍රයේ මේ හා සම්බන්ධව පුළුල්ව පරික්ෂණ සිදුකරනු ලබන විද්‍යාඥයන්ගේ පරීක්ෂණ වාර්තායි. මිනිසුන්ගේ දෛනික කැලරි අවශ්‍යතාවයෙන් තුනෙන් දෙකක් සපයනු ලබන්නේ  තිරිඟු, සහල්, බඩ ඉරිඟු සහ සෝයා බෝංචි වැනි ධාන්‍ය වර්ගය.ලෝක ධාන්‍ය ඉල්ලුමෙන් 25% සපයන ඇමරිකා එක්සත් ජනපදයෙහි, සෙල්සියස් අංශක එකකින් පරිසර උෂ්ණත්වය වැඩිවීම එරට බඩඉරිඟු නිෂ්පාදනය 7.4% කින් පහත හෙලනු ලබයි.(තවද අර්තාපල් වගාව සඳහා රාත්‍රි කාලයේදි හා දහවල් කාලයේදි පැවතිය යුතු ප්‍රශස්ත උෂ්ණත්ව අන්තරය වෙනස් වන නිසා අස්වැන්න ශිඝ්‍රයෙන් අඩු වි යනු ඇත.) සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රධාන ආහාර ප්‍රභවය වන සහල් නිෂ්පාදනය සඳහා මෙය 3.2% ත් 6% අතර වේ. ලෝකයේ හතරවන විශාලතම බෝගය වන සෝයා බෝංචි සඳහා මෙය 3.1% කි.


උෂ්ණත්වය වැඩිවීමේ සෘජු බලපෑම් වලට අමතරව වක්‍ර බලපෑම් තුළින් සිදුවන හානි ද  ලඝුකොට තැකිය නොහැක. පාංශු ජලය මඳ වීම හා වියළි පස අස්වැන්න අඩු කිරිමට බලපා ඇත. වගාවන් සඳහා හිතකර කෘමින් වර්ග විනාශ කිරිමට හා අහිතකර ක්ෂුද්‍රජීවීන්ගේ පැවැත්මට, වැඩිවන උෂ්ණත්වය උදව් කරයි.  (වැඩිවන උෂ්ණත්වය හේතු කොට ගෙන සෝයා බෝංචි වල ප්‍රෝටින හා නයිට්‍රජන් ප්‍රමාණයන් අඩුවීම ආහාරවල පෝෂණය අඩුවීම සඳහා කදිම උදාහරණයකි.) වගාව සඳහා වින කරනු ලබන වල්පැලෑටි වර්ග වර්ධනය, දිලිර වර්ග වර්ධනය යනාදිය සඳහා ද පරිසරයේ CO2 පරිමාව ඉහළ යාම වක්‍රාකාරව බලපානු ඇත. CO2  ශාක වර්ධනයට උත්තේජකයක්  වුවද අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිවිම  තිරිඟු, සෝයා බෝංචි සහ සහල් වල ප්‍රොටීන් හා අත්‍යවශ්‍ය ඛණිජ ද්‍රවයන්ගේ සාන්ද්‍රණය අඩු කරයි. මෙවැනි ඌණ පෝෂිත ආහාර තුළින් මානවයාගේ සෞඛ්‍යයට ඇතිවන බලපැම නොගෙනිය නොහැක.


            මානවයා විසින් ස්වභාවධර්මය පාලනය කිරිමට උත්සහ කිරිමේ ප්‍රතිඵල ලෙස ස්වභාවධර්මයා විසින් විවිධ දඩුවම් ලබා දෙමින් සිටි. මානවයාගේ මූලික අවශ්‍යතා තුනෙනුත් මූලිකව ඇති ආහාර පිළිබඳව සිතිමේදි අනාගතයේදි  විශාල ආහාර අර්බුදයක් නිර්මාණය වීම නොවැලැක්විය හැකිය. ඉදිරි පරම්පරාවල මානවයන්ට  තම ජිවිතය කෙටි කලක් හෝ  ගැටගසා ගැනිමට අවශ්‍ය නම් මෙම අර්බුදය සඳහා විකල්ප සොයා ගැනිම උගහටය. ජෛව රසායනය හා ජාන විද්‍යාව උපයෝගි කර ගනිමින් වැඩිවන  උෂ්ණත්වය සඳහා ඔරොත්තු දෙනු ලබන බෝග  ප්‍රභේද වර්ග නිර්මාණය මින් එකකි. අනෙක් ප්‍රධාන කරුණ නම් තවදුරටත් ස්වභාවධර්මයාට කෙනෙහිලිකම් නොකොට ස්වභාවධර්මයාද මානවයාගේ ජිවිතයේ කොටසක් ලෙස සලකා සිතිම, ක්‍රියාකිරිම හා ජීවත්වීමය.

(තොරතුරු ලබා ගැනිම අන්තර්ජාලය ඇසුරිනි.)


එස්.එම්.එස්. මධුශංක,    

විද්‍යා හා තාක්ෂණ නිලධාරි,

ඇල්ල

0 comments:

Post a Comment