December 6, 2017

අපෘෂ්ඨවංශී ජීවීන්


එකිනොඩෙරා හෙවත් කයිනොරින්චා
එකිනොඩෙරා හෙවත් කයිනොරින්චා අපෘෂ්ඨවංශී ජීවීගණයට අයත් වේ. කණ්ඨක සහිත සිරුරු වලින් යුත් කුඩා පණුවන් වර්ගයකි. පිටතින් පිහිටි ආරක්ෂිත පිට සම ඛන්ඩිකාවලට බෙදී ඇති අතර පුරුක් එකට සම්බන්ධවී නිර්මාණය වී ඇත. වෙරළාශ්‍රිත ජලයේ මඩ සහිත පතුලේ මෙම සතුන් දැකගත හැකිය. අන්වීක්ෂ ජීවීන් සහ කාබනික අංශු ග්‍රසනිකාවෙන් උරා ගැනීමෙන් ආහාරයට ගනී.
උදා - Echinoderes, Condyloderes

ගැස්ට්‍රොටිකා
ගැස්ට්‍රොටිකා අපෘෂ්ඨවංශී ජීවීගණයට අයත් වේ. ගැස්ට්‍රොටිකා මිරිදිය සහ කරදිය යන දෙතැන්හිම වාසය කරන අන්වීක්ෂීය බහු සෛලික සත්ත්ව වර්ගයකි. මේ සතුන්ගේ බාහිර ස්ථරය හෙවත් පිට සම වට කරමින් පක්ෂ්ම පිහිටයි. ඒවා සංචරණය සඳහා උපකාරී වේ. සිරුරේ පැත්තකින් හෝ පසු පස අන්තයේ ඇලෙන සුලු නාළාකාර උපාංග පිහිටන  අතර ඒවා යම් මතුපිටකට සවිවී සිටීම සඳහා යොදා ගනී. මිරිදිය වාසය කරන විශේෂ වලට ගෑරුප්පුවක් මෙන් බෙදී ගිය වලිගයක් පිහිටයි.මේ සත්තු ජීවී හෝ මියගිය බැක්ටීරියා, ඩයටම හෝ කුඩා ප්‍රොටොසොආවුන් ආහාර ලෙස ගනිති.
උදා - Turbanella Cornuta, Chaetonous anomalus



කංකතිකයන්
කංකතිකයන් අපෘෂ්ඨවංශී ජීවීගණයට අයත් වේ. ජල්ලි මසුන් වැනි සාගරවාසී සතුන්ය. මොවුන්ගේ සිරුරේ ජලය තුල පිහිනා යාමට උපකාරී වන පක්ෂ්ම පේළි 8ක් පිහිටා ඇත. ඔවුන් අනෙකුත් අපෘෂ්ඨවංශීන් ආහාරයට ගන්නා අතර, ගොදුරු අල්ලා ගැනීම සදහා ප්‍රතිකර්ෂණය කළ හැකි දණ්ඩාකාර ග්‍රාහිකා 2ක් පිහිටයි. සෑම කංකතිකයෙක්ම ද්විලිංගික වන අතර ලිංගික ප්‍රජනනය සිදු කරයි. බොහෝ දෙනෙක් සංදීප්ත සිරුරුවලින් යුත්කය.

උදා  - Sea Walnuts, Comb Jellies

සකස්කළේ: 
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
ගම්පහ 

0 comments:

Post a Comment