December 9, 2015

හදවතට ආදරය කරන්න,දිගු කලක් ඡීවත් වන්න..

හෘදය යනු මනුෂ්‍ය ශරීරයේ ඇති සුවිශේෂිම ඉන්ද්‍රියන්ගෙන් එකකි.මොළය,පෙනහළු, අක්මාව,වකුගඩු ආදී සෙසු ඉන්ද්‍රියන්ට වඩා වැඩි වටිනාකමක් රැගත් හෘදයට හෘද වස්තුව ලෙස ආමන්ත්‍රණය කරන්නේද එබැවිනි.මව්කුස පිළිසිද ගැනීමේ සිට ආරම්භ වන හෘදයේ ක්‍රියාකාරිත්වය නොනවත්වාම කෙනෙකුගේ මරණය තෙක් පවතී.
හෘදය රැකගත යුත්තේ ඇයි?
මිනිස් සිරුරේ උරස් කුහරය ඇතුළත වම් හා දකුණු පෙනහළු වලට තරමක් වම් පැත්තට මැදිව හෟද වස්තුව පිහිටා ඇත. මාංශ පේශීන් ,කුහර, ශිරා ,ධමනි සහ ස්නායු ආදියෙන් මෙය සකස් වී ඇත.හෘදය මගින් සිරුරට රුධිරය සැපයීම සිදු කරන අතර එසේ සපයන රුධිරය හරහා ඔක්සිඡන් මෙන්ම අවශ්‍ය පෝෂක කොටස් මිනිස් දේහයේ සෑම සෛලයක් කරාම ගෙන යාම සිදු කරයි.සංකීර්ණ ක්‍රියාවලියක් වන මෙය සිදු කිරීමට හෘද වස්තුවටද යම් ශක්තියක් අවශ්‍ය වේ.මෙවැනි සංකීර්ණ ක්‍රියාවලියක යෙදෙමින් මනුෂ්‍ය  ශරීරයේ සුවිශේෂි කාර්යයක් සිදු කරන හෘදය පිළිබදව දැඩි අවධානයක් යොමු කිරීම ඉතා වැදගත්ය. මිනිසෙකුගේ ජිවිත කාලය තුළ හෘද රෝග වැළදීමේ අවධානම වර්තමාන වන විට ඉහළ ගොස් ඇති බව පර්යේෂණ වලින් තහවුරු වී ඇත.එම නිසා තමාගේ හෘදය රැකගැනීමට සෑම කෙනෙක්ම වෙහෙසිය යුතු කාලයක් බවට වර්තමානය පත්ව ඇත.

හෘදය ආශිත ඇති විය හැකි ලෙඩ රෝග සහ සංකූලතා මොනවාද?
 *උපතින්ම හෘද රෝගීන් ලෙස  මෙලොව බිහිවන පිරිසක් මෙන්ම,                                                    
  *ශරීරයේ අනවශ්‍ය ලෙස මේදය තැම්පත් වීම (කොලෙස්ටරෝල්)   *දියවැඩියාව  *අධිරුධිර පීඩනය *ස්ථුල බව *ව්‍යායාම මදිකම *මානසික ආතතිය *දුම්පානය වැනි හේතු මෙන්ම *හෘද රෝග සම්බන්ධව පවුල් පරිසරයක් ඇති අය ආදී පිරිස් හටද හෘද රෝග වැළදීමේ අවධානම වැඩිය.

හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය රුධිර සපයන නාල වල යම් අවහිර තාවයක් (Block) ඇති වුවහොත් හෘදයේ මාංශ පේශින්ගේ ක්‍රියාකාරිත්වයට ඔක්සිජන් ඇතුළු පෝෂක කොටස් නොලැබී යාම සිදුවන අතර ඉතාම සුළු කාලයක් තුළ හෘද පේශි මිය යෑමට ලක් වේ. ඒ නිසා හැකි ඉක්මනින් එම අවහිරතාවයට යම් පිළියමක් නොකලහොත් එම හෘදයේ ක්‍රියාකාරිත්වය නතර වී අදාළ පුද්ගලයා  මරණයට පත් වීමට පවා ඉඩකඩ ඇත.රුධිර නාල වල අනවශ්‍ය පරිදි මේද තට්ටු තැම්පත් විම හා එකවර වෙනත් ස්ථානයක තිබෙන රුධිර කැටියක් නාලයක් තුළ සිරවීම වැනි මත ඉහත තත්වයන් ඇති වේ.මෙහිදී  ඇති වන මාංශ පේශින්ගේ වේදනාව “ඇන්ජයිනා“(Anjina)ලෙස හැදින්වේ.හෘද පේශි කොටසකට සම්පූර්ණයෙන්ම රුධිර සැපයුම නතර වුවහොත් හෘද අකර්මන්‍යතාවය ඇති වන අතර එය හෘදයාබාද ලෙස (Heart Attack)ලෙස හැදින්වේ.තවද හෘදයේ සිදුරු වැසී නොයාම දඇති වීමේ අවධානමද ප්‍රමුඛතාවයක් ගනී.

හෘදයාශිත ලෙඩ රෝග හදුනා ගැනීම සදහා කරනු ලබන පරීක්ෂණ මොනවාද?

01.E.C.G. ඊ.සී.ජී.
හෘද රෝග හදුනා ගැනීමට මුලිකවම කරනු ලබන පරීක්ෂණයකි.හෘදයේ ස්පන්දනය සිදුවන ආකාරය තුළින් හෘදයේ නිරෝගීකම නිගමනය කළ හැකිය.  පිටත සිට හෘදයෙන් නැගෙන ස්පන්දනය අවශෝෂණය කර එවායේ රිද්මය ප්‍රස්ථාරගත කරමින්  නිරීක්ෂණය කිරීම මෙහිදී සිදු කරයි.කිසිදු වේදනාවක් නොදැනෙන මෙම E.C.G. පරීක්ෂණ තුළින් හෘදයාශ්‍රිත බොහෝ රෝගීතත්වයන් විශේෂයෙන්ම හෘදයාබාදයන් වර්ධනය විය හැකි අවස්ථාද හදුනා ගත හැකිය.


            02.ආතති ඊ.සී.ජී. හෙවත් ව්‍යායාම ඊ.සී.ජී. (Excersice ECG)
මෙය සාමාන්‍ය E.C.G. පරීක්ෂණයට වඩා වෙනස්ව යන පරීක්ෂණයකි.සාමාන්‍ය E.C.G. පරීක්ෂණ රෝගියා වෙහෙසට පත් නොකර වුවද සිදු කළ හැකිය.නමුත් ව්‍යායාම E.C.G. පරීක්ෂණය තුළ E.C.G. ගනු ලබන්නේ  රෝගියා යම් ක්‍රියාකාරිත්වයකට ලක්කරමිනි.ඇවදීමේ ක්‍රියාකරකම් වල යොදවා පියවර කිහිපයක් යටතේ සිදු කරනු ලබන මෙම පරීක්ෂණ මගින් සාමාන්‍ය E.C.G. පරීක්ෂණයට වඩා වැඩි තොරතුරක් ලබා ගත හැකිය.
03. එකෝකාඩියෝගැෆි (Echocordiography)
හෘදයේ ඇති රෝග හදුනා ගැනීමට සිදු කරන මෙම පරීක්ෂණය මගින් හෘදයේ මාංශ පේශීන්ගේ හා කපාට වල ක්‍රියාකාරිත්වය  සොයා බැලීම සිදු වේ.රෝගීනගේ හදවතේ අසාමාන්‍ය තත්වයන් ,සිදු වී ඇති හානි සහ හෘද ස්පන්දනය තුළින් පිටකරන රුධිර ප්‍රමාණය මෙමගින් සොයා බැලේ.
04.සී.ටී. කාඩියැක් ස්කෑන් ( C.T. Cardiac Scan)
C.T. ස්කෑන් පරීක්ෂණ යනු විශේෂිත පරීක්ෂණයකි. මෙමගින් හෘදය වටා ඇති රුධිර නාල ඇතුළු හෘද මාංශ පේශි වල පැහැදිලි ජායා රූප ගැනීමක් සිදු කරයි.ඒවා හොදින් නිරීක්ෂණය කර රුධිර නාල සිහින් වී ඇතිද එය කොපමණ ප්‍රමාණයකින් යුක්තද යන නිගමනයට එළඹීමට මෙම ස්කෑන් පරීක්ෂණයෙන් සිදු කරයි;
05.එන්ජියෝ ග්‍රෑම් (Angrogramme)
කිරීටක ධමනි වල යම් අවහිරතාවයක් පවතී නම් අවහිරතාවයන් ඇති ස්ථානයන් ,අවහිරතාවයන්  කොපමණ තිබේද යන්න සහ අවහිරතාවයන්ගේ ප්‍රබලත්වය ආදිය පිළිබදව  නිශ්චිතව හදුනා ගැනීමට මෙමගින් හැකායාව ලැබෙනු ඇත.
මෙම පරීක්ෂණය කිරීමේ වාසියක් වනුයේ ප්‍රධාන ධමනි වලට අමතරව ඒවායේ අනුශාඛ වල තත්වයන්ද නිරීක්ණය කර ගැනීමට හැකි වීමයි.
මෙහිදි එක්ස් කිරණ (x- Ray) සංවේදී වර්ණක ක්‍රමය යොදා ගනී.

හෘද රෝග සදහා ප්‍රතිකාර
                      ඉහත නිරීක්ෂණයන් මගින් හෘදයාශ්‍රිත රෝග තත්වයන් නිශ්චිතව හදුනාගෙන විශේෂඥ වෛද්‍යවරුන් විසින්  ඒ සදහා සිදු කළ යුතු පුතිකාර විධි තීරණය කරනු ලබයි. නූතන වෛද්‍ය විද්‍යාව තුළ මේ සදහා සිදු කරන ප්‍රතිකාර විධි 2ක් ඇත. එනම් ඖෂධමය ප්‍රතිකාරයන් සහ ශල්‍යකර්ම ප්‍රතිකාර යනුවෙනි.යම් හෙයකින් ඖෂධ මගින් රුධිර නාල තුළ ඇති අවහිරතා වැනි තත්වයන් පාලනය කල හැකි නම් මූලිකවම රෝගියාට ඖෂධ ලබා දෙයි.රුධිර නාල වල ඇති මේදය තවදුරටත් වර්ධනය වීම නතර කිරීමට රුධිර කැටි ඇති වීම අවම කිරීමට අදාළ ඖෂධ වර්ග මෙන්ම දියවැඩියාව,ස්ථුලභාවය, අධි රුධිර පීඩනය පාලනය කිරීමට අවශ්‍ය ඖෂධමය ප්‍රතිකාරද ලබා දෙයි.

                    විශේෂයෙන්ම හෘද පේෂියන්හි,රුධිර නාලයන්හි සාමාන්‍ය අවහිර තාවයක් ඇත්නම් ශල්‍ය කර්මයකින් තොරව මෙම අවහිරතා නිවරදි කිරීමට හෝ ඉවත් කිරීමට අදාළ PTCA ප්‍රතිකාරය සිදු කරයි.රුධිර නාල සිහින් වී ඇති ස්ථානයන් ඇන්ජියෙන් ග්‍රැෆි පරීකිෂණය මගින් හදුනාගෙන කුඩා සියුම් බැලුමක් සහිත නාලයක් වැනි උපකරනයක් රුධිර නාලයේ සිහින් වූ ස්ථානයට යැවීමක් සිදු කරයි.මෙම උපකරනය රුධිර නාලයේ සිහින් වූ ස්ථානයට ලගා වූ විට කුඩා බැලුම ප්‍රසාරණය කරනු ලබයි.එවිට රුධිර නාලයන්හි ඇති බිත්ති ඇදී එය පුළුල් වීමක් සිදු වේ.එවිට රුධිර වාහීනි නාලිකාවේ ඇති මේද ස්ථරය තැලී යාමක් නිසා අවහිර තාවය නැතිවේ. ඉන්පසු එම ප්‍රසාරණය කළ ස්ථානයට කෘතීමව සකස්කල නාලිකාවක් (Stents) යෙදීම සිදු කරයි.මෙහිදී කිරීටක ධමනි නාලිකා කිහිපයක් ඇති විටෙක ශල්‍යකර්ම මගින් විසදුම් ලබාගත හැකිය.

                හෘදය යනු මිනිසෙකුගේ වටිනාම සම්පතකි.මෙම හෘද වස්තුව රැක ගැනීම ඔබ අප සෑම කෙනෙකුගේම වගකීමක් වී ඇත. හදවතට ආදරය කරන්න. දිගු කලක් ජීවත් වෙන්න.

සැකසුම - විද්‍යා හා තාක්ෂණ නිලධාරි
               අරණායක

0 comments:

Post a Comment