December 21, 2015

විද්‍යාව කුමකටද?

ලංකාවේ අප විද්‍යාව ඉගෙනගන්නේ ඇයිද යන ප්‍රශ්නය කෙනෙකු වර නැගුවහොත් එයට දිය හැකි එක් පිළිතුරක් වන්නේ එය විෂය නිර්දේශයන්ට අයත්ව තිබෙන නිසා හදාරන බවය. ලංකාවේ රජයේ පාසල් වල විෂය නිර්දේශයට අනූව 6 ශ්‍රේණියේ සිට විද්‍යාව උගන්වනු ලැබේ. මෙලෙස වසර 4ක් හෝ 5ක් විද්‍යාව ඉගෙන ගන්නා ශිෂ්‍යයා ඉන්පසුව සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියි. එයින් සමත් වන සිසුන් සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළ ප්‍රතිඵලයක් ලබා ඇත්නම් නැවතත් උසස් පෙළට විද්‍යා විෂයන් ඉගෙනුමට අවස්ථාව ලැබේ. මෙහිදී බොහෝ දෙනෙකු විද්‍යා විෂය ධාරාවන් හැදෑරීමට පෙළඹෙන්නේ තමන්ට පසුකාලීනව වෛද්‍ය/ඉංජිනේරු සිහිනයන් සැබෑ කරගැනීමට මිස විද්‍යාව හැදෑරීමට ඇති ආශාව නිසාම නොවේ.
මේ අනූව මා සිතන ආකාරයට අපේ රටේ විද්‍යාව ඉගෙනගන්නේ   හෝ විද්‍යාව හදාරන්නේ ඒ අයට අවශ්‍ය නිසා නොව එක්කෝ දෙමවුපියන් සතුටු කිරීමටය. නැත්නම් අල්ලපු ගෙදර අයට පේන්නටය. නැත්නම් දොස්තරලා ඉංජිනේරුවන් වීමටය.එසේත් නැත්නම් විද්‍යාඥයෙකු වී මොකක්හරි පරජාතික සමාගමක සල්ලි වලින් පර්යේෂණ කර නවීන මෝටර් රථයක් ගැනීමටය. නමුත් අප දන්නා පරිදි මාරි කියුරිලා එහෙම නැත්නම් චාල්ස් ඩාවින්ලා ෆ්‍රොයිඩ්ලා විද්‍යාව වෙනුවෙන් ජීවිතය කැප කළේ මානවයාගේ සූභ සිද්ධිය සදහාය. නමුත් අද තත්ත්වය එසේ නොවේ.
මෙහිදී මා අවධානය  යොමු කරන දෙවන කරුණ නම් වර්තමානයේදී විද්‍යා හා තාක්ෂණයේ දියුණූව බොහෝදුරට යොදා ගනු ලබන්නේ මානවයාගේ දියුණුවට හා ප්‍රගතියට වඩා ලෝක බලවතුන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් බවයි. නූතන විද්‍යා හා තාක්ෂණ දියුණුව මත පාදක වී ඇති බටහිර කේන්ද්‍රය හෝ චීනය ,රුසියාව ප්‍රමුඛම ආසියාතික කේන්ද්‍රීය සංවර්ධනය මාදිලි මානව විරෝධී හා පරිසර විරෝධී සංවර්ධන මොඩලයන්ය. ඇමරිකාව ප්‍රමුඛ බටහිර කදවුර හෝ වේවා චීනය ,රුසියාව ප්‍රමුඛ ජාතිකවාදී කදවුර හෝ වේවා  වර්තමානයේ ක්‍රියාත්මක කරන්නේ එකම සංවර්ධන මාදිලියකි. එනම් පරිසරය විනාශ කරන මිනිසා විනාශ කරන සමස්ත ග්‍රහලෝකයම විනාශ මුඛයට ගෙන යන ක්‍රමයකි. අසීමාන්තික ලෙස සිදු කර පොසිල ඉන්ධන දහනය මගින් ජනිත කරන හරිතාගාර වායූන් මගින් සිදු වන ගෝලීය උණුසුම ඉහළ යාම මගින් සමස්ත පෘථිවිගෝලය තුල මිනිසාට හා සතුන්ට  නීරෝගීව ජීවත් වීම තර්ජනයට ලක් කර ඇත. මෙය මේ විනාශයේ එක් පැතිකඩක් පමණි.
තුන්වෙනි කරුණ ලෙස මා මතු කිරීමට උත්සහ කරන්නේ විද්‍යාව සැබවින්ම විද්‍යාත්මකද යන කරුණයි. එනම් විද්‍යාව යම්කිසි මතවාදීමය අගතීන් වල ග්‍රහණයට ලක්වී තිබේද යන්නයි.(Ideological prejudice) මේ සම්බන්ධයෙන් විද්‍යාවේ දර්ශනය, විද්‍යාවේ ඉතිහාසය , විද්‍යාවේ දර්ශනයේ ඉතිහාසය තුල සිදු වූ සුසමාදර්ශීය විතැන්වීම් (Paradigm shift)  යන පුළුල් මාතෘකා ඔස්සේ මේ සම්බන්ධව සාකච්ඡා කළ හැක. මේ ගැන උදාහරණයක් දක්වන්නේ නම් විද්‍යාවේ දර්ශනය තුල නිවුටන්ගේ සිට අයින්ස්ටයින් දක්වා පැමිණීමේදී විද්‍යාවේ චින්තනය තුල සුසමාදර්ශීය විතැන්වීමක් සිදු වී ඇතැයි සලකනු ලැබේ. මේ සම්බන්ධව උනන්දුවක් දක්වන අයට තෝමස් කූන්ගේ  සිට පෝල් ෆයරබන්ඩ් දක්වාත් එසේ නැත්නම් නලින්ද සිල්වාගේ සිට චම්පික රණවක දක්වාත් පැතිරුණු පුළුල් සංවාද තලය ඇසුරු කිරීමෙන් වඩාත් පුළුල් අවබෝධයක් ලැබෙනු ඇත.
ඉහත සාකච්ඡා කරන ප්‍රධාන කරුණූ තුන ඔස්සේ ඉදිරි කාලයේදී පුළුල්ව කරුණු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ. දැනට මෙම කරුණු තුන සම්බන්ධයෙන් කියවන්නා තුල උනන්දුවක් ඇති කරනු පිණිස පමණක් මෙලෙස කෙටියෙන් කරුණු මතු කර දක්වා ඇත.

සකස් කළේ:-
ඩබ්.ඩී.අයි.යසලාල්,විද්‍යා හා තාක්ෂණ නිලධාරී,පානදුර

0 comments:

Post a Comment