December 30, 2015

ලස්සන වෙනවා නම් මේ ගැනත් හිතන්න


වර්තමානයේ සමහර කාන්තාවන් විලාසිතා හා රූපලාවන්‍ය කලාවේ සීමාවන් පසු කර ඇති බව පෙනීයන කරුණකි. අන්තර්ගතය හා ප්‍රමිතිය පිළිව ඒ හැටි සැලකිල්ලක් නොදක්වන අපේ රටේ කාන්තාවන් ඒවා සම්බන්ධව දැනුවත් වීමට හෝ තිබෙන දැනුම යාවත්කාලීන කිරීමට උනන්දුවක් නොදක්වයි. එබැවින් විලාසිතා හා රූපලාවන්‍ය නාමයෙන් කිසිදු වැදගත්කමකට නැති නිෂ්පාදන රාශියක පාරිභෝගිකයන් බවට අපේ රටේ කාන්තාවන් පත්ව ඇති අතර, ඒවායේ අවම සෞඛ්‍යාරක්ෂිතභාවය වත් නොමැති බව ඔවුන් නොදනී.

තම රූප ස්වභාවය ඔප් නංවාගැනීමේ අරමුණින් රූපලාවන්‍යාගාර වලට ගොස් එම නිෂ්පාදන භාවිත කළ කිහිපදෙනකුටම පසුගිය කාලයේ තම ජීවිත අහිමි වීමෙන් මේවායේ ඇති භයානක කම මොනවට පැහැදිලි වේ.

වර්තමානය වන විට රූපලාවන්‍ය කර්මාන්තය යනු අධික ලාභ ගෙනදෙන ව්‍යාපාරයක් වන අතර, රූපලාවන්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා විවිධ රසායන ද්‍රව්‍යයන් විශාල වශයෙන් භාවිතා කරයි. මේවායින් සමහරක් විවිධ රෝගාබාධ වලට හේතුකාරක වන බව තහවුරු වී ඇත. පියයුරු පිළිකාවල පටක කොටස් පරීක්ෂා කිරීමේදී කාන්තාවන් නිතර නිතර භාවිතා කරන රූපලාවන්‍ය නිෂ්පාදන වල තිබෙන ඇතැම් රසායනික සංයෝග හඳුනාගත හැකි බව ඒ පිළිබඳ පර්යේෂණ කළ විද්‍යාඥයෝ පවසති.
වෙළදපොළේ විකිනීමට ඇති රූපලාවන්‍ය නිෂ්පාදන වර්ග පිළිබදව කර ඇති පර්යේෂණ වලින් හෙලි වී ඇති තොරතුරු එතරම් සුන්දර හෝ සුවදවත් නැත. වඩා වැදගත් නිතර දෙවේලේ අප විසින් පරිභෝජනය කරනු ලබන රූපලාවන්‍ය නිෂ්පාදන වල තිබියහැකි හානිකර රසායනික සංයෝග කිහිපයක් මෙසේය.
  •     ටැල්ක් පවුඩර්  
අපි නිතරම පාහේ  භාවිතා කරන ටැල්ක් පවුඩර් සාදනු ලබන්නේ මැග්නීසියම් ට්‍රයිසිලිකේට් නැමැත් ඛන්ජ වර්ගයෙන් වන අතර, මෙම ඛනිජය සියුම්ව අඹරා සාදා ගනු ලබන ටැල්ක් තුළ පිළිකා සෑදීමට හේතු විය හැකි සියුම් ඇස්බැස්ටස් වලට සමාන කෙදි අඩංගු බවට සොයාගෙන ඇත. මීට බොහෝ කලකට පෙර සිට යුරෝපා රටවල ටැල්ක් නොමැති නිෂ්පාදන වර්ග වෙළදපොළට හදුන්වා දී ඇත. ටැල්ක් පවුඩර් සම්බන්ධයෙන් කර ඇති පර්යේෂණ වලට අනුව කිහිලි ප්‍රදේශවල සහ ප්‍රජනන ඉන්ද්‍රියයන් ආශ්‍රිතව පවුඩර් වර්ග සහ ඩිඔඩ්රන්ට් (දහඩිය දුගද වලක්වන ආලේපන) ගල්වන කාන්තාවන්ට සියයට 40 සිට 90 දක්වා වැඩි අවධානමක් ඩිම්භකෝෂ පිළිකා කෙරෙහි පවතින බව සොයාගෙන ඇත. කුඩාදරුවන් මෙම ටැල්ක් ආශ්වාස කිරීම නිසා ඔවුන්ගේ නොමේරු පෙණහළු තුළ බරපතල සංකූලතා ඇති විය හැකි බව අවධාරණය කළ යුතුය.
  •    DEA (Diethanolamine)
මෙය ෂැම්පෝ, ලෝෂන්ස්, ක්‍රීම් වර්ග වැනි නිෂ්පාදන වල තෙතමනය රදවා ගැනීම සදහා සුළභව භාවිතා කරන රසායනික සංයෝගයකි.  විලවුන් නිෂ්පාදන වල අන්තර්ගත වෙනත් රසායනික සංඝටක සමග මෙය ප්‍රතික්‍රියා කිරීමෙන් අතිශයින්ම පිළිකා කාරක සංයෝග කාරකයක් වන නයිට්‍රොසමයින් සංඝටක (Nitrosamine Compounds) සෑදෙන බව සොයාගෙන ඇත. මෙම සංඝටක සම මතින් ඉතා පහසුවෙන් ශරීර ගත වන බව සොයාගෙන ඇත.

  •     බෙන්සිල් ඇසිටේට් / බෙන්සිල් ඇල්කොහොල්
මෙම රසායනික සංයෝග රෙදි මෘදුකාරක, සුවදවිලවුන්, ෂැම්පෝ, රෙදි සෝදන කුඩු, නිය පාට ඉවත් කරණයන්, පිගන් සේදුම්කාරක, එයාෆ්‍රෙස්නර් සහ ශරීර ආලේපන වලද තිබිය හැකිය.මෙම රසායනික සංයෝග සම හරහා ශරීර ගත වන අතර ස්වසන ආබාධ අසාත්මිකතා ක්ලාන්තය වමනය වැනි තත්ත්වයන් වලටද හේතු වනවා ඇත. බෙන්සිල් ඇසිටේට් යනු ප්‍රභල අග්න්‍යාසික පිළිකා කාරකයක්ද වේ.
  •      ඩයොක්සින් ( Dioxane )
සේදුම්කුඩු, ෂැම්පෝ වර්ග, කන්ඩිෂනර්, දියර සබන් වැනි නිෂ්පාදන වල තිබිය හැකි අතුරු ඵලයකි. මෙම රසායනිකය වකුගඩුවලට අක්මාවට මොළයට සහ ස්නායු පද්ධතියට හානි කර විය හැකි බව හදුනාගෙන ඇත.
  •      බැර ලෝහ
ලෙඩ්, ආසනික්, රසදිය, ඇලුමිනියම්, ක්‍රෝමියම් වැනි අතිශයින්ම හානි කර බැර ලෝහ වර්ග ඇතැම් තොල් ආලේපන, නිය ආලේපන, අයිලයිනර්ස්, හිසකෙස් වර්ණ ගන්වන නිෂ්පාදන සහ ක්‍රීම් වර්ග වල තිබෙන බව සොයා ගෙන ඇත. එමෙන්ම අපේ රටේ අලෙවි කරනු ලබන ෆෙයානස් ක්‍රීම් වර්ග වල රසදිය අඩංගුව තිබී සොයාගත් බවට තොරතුරු වාර්තා වී ඇත.

  •      Limonene
විලවුන්, සබන් සහ රෙදි සෝදන කුඩු නිෂ්පාදන වල කෘතීම දෙහි සුවද සදහා භාවිතා කරන රසායනිකයකි. මෙය ජාත්‍යයන්තර සුගන්ධකාරක සංගමයේ ප්‍රමිති නීති වලට අනුව ඇතැම් යුරෝපා රටවල් විසින් තහනම් කර ඇත.  ප්‍රජනක පද්ධතියට සහ ප්‍රතිශක්ති කරන පද්ධතියට විෂ සහ අසාත්මික වන රසායනිකයක් බව සැලකේ.
  •     Formaldehide
නිය ආලේපන වර්ග, ඇස් පිහාටු අලංකරණයන්, බේබි සබන්, බේබි ෂැම්පෝ, සුවද සබන්, හෙයා ජෙල්, කෙස් මෘදුකාරක වර්ග ආදිය කල් තබාගැනීමේ රසායනිකයක් ලෙස මෙය භාවිතා කරයි. ජාත්‍යන්තර පිළිකා පර්යේෂණ ආයතනය විසින් මෙය පිළිකා කාරක ද්‍රව්‍යක් ලෙස හදුන්වා ඇත. ජපානය, කැනඩාව, ස්වීඩනය වැනි රටවල් මෙය තහනම් කර තිබෙන අතර යුරෝපා සංගමයේ රටවල් තුළ ෆෝමැල්ඩිහයිඩ් අඩංගු වන්නේ නම් එය ලේබලය මත සදහන් කළ යුතු බවට නීති පනවා ඇත.
  •    BHA/BHT
මෙම රසායනික සංයෝග විලවුන් නිෂ්පාදන කල් තබා ගැනීම සදහා භාවිතා කරන ප්‍රතිඔක්සිකාරකයන්ය. මේවා ශරිර ගත වීමෙන් සංජානනීය උපත් ආබාධ, මද සරු භාවය, මානසික වර්ධනය අඩු වීම, ළමුන් තුළ ඇති වන අධි ක්‍රියාකාරිත්වය, ඇස් දැවිල්ල සහ ප්‍රතිශක්ති කරණ පද්ධතිය දුර්වල වීම සහ පිළිකා වලට බලපෑ හැකි බව සොයාගෙන ඇත. ලෝෂන් වර්ග, ලිප්ස්ටික්, අයිෂැඩෝ, ෂේවින් ක්‍රීම් වර්ග වල මෙම රසායනිකය තිබිය හැකිය.
  •   Phthalate
මෙය අතිශයින්ම හානි කර රසායනික සංයෝගයකි. හෝර්මෝන ක්‍රියාකාරිත්වය වියවුල් කාරකයක් වන අතර වදකාරකයක් ලෙස සහ පිළිකා කාරකයක් ලෙස හැදින්වේ. සුවද විලවුන්, එයාෆ්‍රෙස්නර්, ෂැම්පෝ වර්ග, නිය ආලේපන වර්ග සහ ප්ලාස්ටික් ළදරු නිෂ්පාදන වල අන්තර්ගත විය හැකි අතර යුරෝපා කොමිසන් රටවල මෙය තහනම් කර ඇත.


රූපලාවන්‍ය සදහාත් දීර්ඝායුෂ විදීම සදහාත් ස්වභාව ධර්මයෙන් ලද ආහාර සහ ඖෂධීය නිෂ්පාදනයන් භාවිතා කළ සහ මැනවින් ප්‍රගුණ කළ, ස්වභාවික සම්පත් වලින් අනූන රටක් සහ ජාතියක් අපට උරුමය. 
ගොඩපර, වැටකේ ගස් යට ඉදගෙන ස්වාභාවික ශාක සාරයෙන් නිෂ්පාදනය කර ඇතැයි වෙළදදැන්වීම් වලින් කියනු ලබන ෂැම්පෝවර්ග තෙල්වර්ග ආදී කී නොකී රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා කිරීමේදී ඒවා ශරීර සෞඛ්‍යයට මෙන්ම පරිසරයටද වින කරන බව සිහි තබාගත යුතුය. 

අනූෂා එන්. ගමගේ
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
බදුල්ල

0 comments:

Post a Comment