December 31, 2017

බහු අවයවක හා එහි භාවිත

සරල අණු නැතහොත් ඒකාවයවක(Monomers) රාශියක් නිශ්චිත රටාවකට සම්බන්ධ වීමෙන් සෑදෙන විශාල රසායනික ඒකක බහු අවයවක (Polymers) ලෙස හැදින්වේ.  පොලිඑතීන්(පොලිතීන්) ‚පොලිප්‍රොපීන් ‚පොලිස්ටයරීන්‚ පොලිවයිනයිල් ක්ලෝරයිඩ්‚ පොලිටෙට්රා ෆ්ලෝරො එතීන්‚ නයිලෝන් කෙඳි‚ කෘත්‍රිම රබර්(නියොෆ්‍රීන්)‚ ප’ස්පෙක්ස්‚ බේක්ලයිට්‚  සිලිකන් රබර්‚ ටෙරිලීන්‚ පොලියුරතේන්‚ නොමැක්ස් කෘත්‍රිම බහුඅවයවක සඳහා උදාහරණ කිහිපයකි. පිෂ්ඨය‚ සෙලියුලෝස්‚ ප්‍රෝටීන් ස්වභාවික බහුඅවයවක සඳහා උදාහරණ කිහිපයකි.

 පොලිඑතීන්(පොලිතීන් ) බහුඅවයවකය සෑදී ඇති ඒකාවයවකය එතිලීන් වේ. මෙය සතු විශේෂ ගුණ ලෙස ජල රෝධක‚  වායු රෝධක හා විද්‍යුත් පරිවාරක වීම‚ සැහැල්ලු බව හා ආතතිවලට ඔරොත්තු දීම‚ කල්පැවැත්ම‚ දිරාපත් නොවීම දැක්විය හැක. මෙය ප්ලාස්ටික් බෝතල්‚ සෙල්ලම්  බඩු‚ ගමන් මලු‚ පොලිතීන් ප‍ටල සෑදීමට යොදා ගනී.
ප්‍රොලිප්‍රොපීන් සෑදී ඇති ඒකඅවයවකය ප්‍රොපිලීන්ය. මෙහි ඇති විශේෂ ගුණ ලෙස විද්‍යුත් හා තාප පරිවාරක ගුණ‚ ආතතිවලට ඔරොත්තු දීම ‚   කල්පැවැත්ම‚ දිරාපත් නොවීම දැක්විය හැක.මෙය ප්ලාස්ටික් තහඩු තැනීම‚ පොහොර උර සෑදීමට යොදා ගනී.
පොලිස්ටයරීන් බහු අවයවකයේ   ඒකඅවයවකය ස්ටයරීන් වේ. විද්‍යුත් හා තාප පරිවාරක ගුණය‚ ජල රෝධක බව හා සැහැල්ලු බව‚ කම්පන වලට ඔරොත්තු දීම මෙහි විශේෂ ගුණ ලෙස දැකිය හැකිය.ආහාර ද්‍රව්‍ය ඇසුරුම් වල තාප හානිය අවම කිරීම සඳහා මෙය යොදා ගනී.
පොලිවයිනයිල් ක්ලෝරයිඩ් (PVC) බහුඅවයවකය සතු විශේෂ ගුණ ලෙස තාප ස්ථායි බව‚ තාප පරිවාරක බව‚ විද්‍යුත් පරිවාරක බව‚ ජල රෝධක හා සැහැල්ලු බව දැකිය හැක. මෙය ජල නළ‚ වැහිපීලි‚කොන්ඩියුට් පයිප්ප‚ වාහන ආවරණ කොටස් සෑදීමට යොදා ගනී.
පොලිටෙට්රා ෆ්ලෝරො එතීන් (ටෙෆ්ලෝන්  -PTFE)  බහුඅවයවකය තාප ස්ථායි‚ විද්‍යුත් පරිවාරක‚ ජල රෝධක හා කල්පැවැත්ම යන ගුණ වලින් යුක්ත අතර ආහාර පිසින  නොඇලෙන බදුන් වල (Non Stick) ආලේප කිරීමට යොදා ගනී.
 බහු අවයවකයක් වන නයිලෝන් කෙඳි කෘත්‍රිම රෙදි පිළි  සඳහා කෙඳි සෑදීමට‚ නූල් හා ක්‍රීඩා උපකරණ සෑදීමට‚ බුරුසු සඳහා කෙඳි සෑදීමට යොදා ගනී.
බහු අවයවකයක් වන කෘත්‍රිම රබර් මැලියම් වර්ග නිපදවීමට‚ ගොල්ෆ්  බෝල ආවරණ සෑදීමට යොදා ගනී. බහු අවයවකයක්  වන බේක් ලයිට්   දුරකථන සෑදීමට‚ ලැමිනේට් කඩදාසි‚ කැන්වස් රෙදි ‚ බොත්තමි සෑදීම සඳහා යොදා ගනී.
 බහුඅවයවකයකන් වන සිලිකන් රබර්‚ හෝස් පයිප්ප‚  ජල ප්‍රතිරෝධී  උපකරණ සෑදීමටද  ටෙරිලීන් බහු අවයවකය  චුම්බක පටි ඡායා රූප පටල‚ රෙදි පිළි සඳහා කෙඳි තැනීමට යොදා ගනී. පොලියුරතේන් බහුඅවයවකය ‍රබර් මෙට්ට කෘත්‍රිම හම්( රෙක්සීන් )සෑදීමට යොදා ගනී. නොමැක්ස් බහු අවයවකය පැරෂුට් කවර‚ අභ්‍යාවකාශ තරණයේදී යොදා ගන්නා තාප පරිවාරක ඇදුම් සෑදීමට යොදා ගනී. එමෙන්ම ස්වාභාවික බහු අවයවකයක් වන ස්වාභාවික රබර් රබර් ආශ්‍රිත නිෂ්පාද න සඳහා(ටයර්‚ පාපිසි‚ සපත්තු අඩි‚ බැලූන‚ මෙට්ට) යොදා ගනී.
මෙවැනි     බහු අවයවකයකන් භාවිතයේ වාසි මෙන්ම භාවිතයේදී  විවිධ ගැටඵද මතුවේ. දිරාපත් වීමේ වේගය අඩු වීම‚ දිරාපත් නොවීම‚ පිලිස්සීමෙන් පිටවන විෂ දුම් හා දූෂක වර්ග වායු ගෝලයට එකතු වීම‚ අම්ල වර්ෂා ඇතිවීම‚ ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ ඇතිවීම‚ වන සතුන් මේවා ආහාරයට ගැනීමෙන් ඔවුන්ට හානි සිදු වීම ඉන් කිහිපයකි.මෙම ගැටඵ සඳහා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ආකාරයට හා නැවත  නැවත භාවිතයට ගත හැකි  ආකාරයට  බහු අවයවක සෑදීමත් දිරාපත් වන  බහුඅවයවක සෑදීමත් විසදුම් ලෙස ඉදිරිපත් කළ හැකිය.

 සැකසුම-(පොත පත ඇසුරිනි)

කේ.ඩී.පී.ඩී.සිරිවර්ධන-විද්‍යා හා තාක්ෂණ තිලධාරී-බලපිටිය

0 comments:

Post a Comment