December 29, 2017

සාන්ද්‍ර කරන ලද සූර්යයාලෝකය භාවිතය

සුර්ය කෝෂ වෙනුවට කණ්නාඩි හෙවත් දර්පණ මගින්  විදුලි උත්පාදනය කිරීමේ  ක්‍රමය concentrated solar power (CSP)ලෙස හදුන්වයි. රූප සටහනේ පෙන්වා තිබෙන්නේ CSP විදුලි බලාගාරයක්.

උත්තල කාචයකින් සුර්යාලෝකය එකට එකතු කරලා කඩදාසි, පුළුන් කෑලි වගේ දේවල් පුච්චපු අතීතයක් ඔබටත් ඇති. එතැනදී සිදුවුනේ සුර්ය තාපය එක තැනකට කේන්ද්‍රගත කිරීම නිසා එහි විශාල තාප ශක්තියක් එකතු වීම. මේ පදනම CSP තාක්‍ෂණයේත් යොදාගනු ලැබේ. මෙහිදි  බිම සවිකර තිබෙන දර්පණ මගින් සුර්යාලෝකය මෙහි ඇති කුළුණේ ඉහල කොටස වෙත පරාවර්තනය කර දර්පණ දස දහස් ගණනකින් හෝ ලක්ෂ කිහිපයකින් පරාවර්තනය කර එවන මේ සුර්ය කිරණ නිසා එහි ඉතා ඉහළ උෂ්ණත්වයක් ඇතිවේ.(ඇතැම් විට සෙල්සියස් අංශක 1000 පමණ). මේ උෂ්ණත්වය භාවිතා කර හුමාලය නිපදවා එමගින් විදුලිය නිපදවනු ලැබේ. ඇතැම් CSP විදුලි බලාගාර වල අවශ්‍ය විටෙක විදුලිය නිපදවීම සඳහා ඉහල තාප ධාරිතාවකින් යුතු ද්‍රාවණයක් රත් කර ගබඩා කර තබා ගනී. ඉන්පසු, අවශ්‍ය විටක එම ද්‍රාවණයෙන් තාපය ලබාගෙන හුමාලය නිපදවා විදුලි නිෂ්පාදනය් කරනු ලැබේ.

මේ වන විට CSP තාක්‍ෂණය වාණිජ මට්ටමින් විදුලිය නිපදවීම සඳහා භාවිතා කරනු ලැබේ. මෙහි වැඩිම භාවිතාව වාර්තා වන්නේ ස්පාඥයෙන් – 2014 වන විට ස්පාඥය සතු CSP ධාරිතාව මෙගා වොට් 2,300 බව තමයි විකිපීඩියා වෙබ් අඩවියේ සඳහන් වන්නේ. මිට අමතරව ඇමෙරිකාව, ඉතාලිය, ඔස්ට්‍රේලියාව මෙන්ම මැද පෙරදිග රටවල් වලද CSP තාක්‍ෂණය භාවිතා වනවා. ලොව විශාලතම CSP විදුලි බලාගාරය තිබෙන්නේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ එය මෙගා වොට් 392ක්.

විද්‍යා හා තාක්ෂණ නිළධාරි-  හික්කඩුව

0 comments:

Post a Comment