December 19, 2017

කෘත්‍රිම බුද්ධියෙන් සොයා ගැණුනු මුල්ම ග්‍රහලෝකය

ඈත විශ්වයේ ජීවය, එනම් පිටසක්වල ජීවින් හඹා යෑම සඳහා විද්‍යාඥයින් දරනු ලබන පරිශ්‍රමයේ දී සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් වූ තරුවක් වටා පරිභ්‍රමණය වන බහිර් ග්‍රහලෝක (Exoplanets) සොයා ගැනීම කෙරෙහි මූලික අවධානයක් යොමු කරනු ලැබේ.
එහි දී ග්‍රහලෝකයක් තරුවක් ඉදිරියෙන් පරිභ්‍රමණය විමේ දී එම තරුවේ දීප්තියේ සිදු වන ඉතා සුළු අඩු වීම උපයෝගී කර ගනු ලැබේ.

 NASA ආයතනයේ Kepler අභ්‍යවකාශ දුරේක්ෂය මඟින් ලබා ගන්නා ලද එවැනි තොරතුරු විශ්ලේෂණය සඳහා කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) යොදා ගැනීම තුළින් මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ ග්‍රහලෝකයක් සොයා ගැනීමට විද්‍යාඥයින්ට හැකි වී ඇත.

පෘථිවියට ආලෝක වර්ෂ 2545 පමණ ඈතින් පිහිටි Draco තරු රටාවට අයත්   Kepler-90 නම් තරුව වටා පරිභ්‍රමණය වන Kepler-90i ලෙස නම් කර ඇති ග්‍රහලෝකය මෙසේ සොයා ගන්නා ලද නවතම ග්‍රහලෝකය වේ. මීට අමතරව තවත් ග්‍රහලෝක 7 ක් මෙම තරුව වටා පරිභ්‍රමණය වන බව මීට ඉහත දී හඳුනා ගෙන තිබිණි.

Christopher Shallue හා Andrew Vanderburg යන විද්‍යාඥයින් විසින් පරිගණකයකට Kepler දුරේක්ෂය මඟින් ලබා ගන්නා ලද ආලෝක සංඥා දත්ත මඟින් ග්‍රහලෝකයක් හඳුනා ගත හැකි ආකාරය උගන්වා ඇති අතර, පසුව පරිගණකය විසින් සිදු කරන ලද දත්ත විශ්ලේෂණය මඟින් ඉහත නව ග්‍රහලෝකය හඳුනා ගැනීමට සමත්ව ඇත. 
  
විද්‍යාඥයින් පවසන ආකාරයට මීට සමාන නව තාක්ෂණයන් ඔස්සේ දුරේක්ෂ දත්ත විශ්ලේෂණයෙන් විශ්වය පිළිබඳ තොරතුරු රැසක් ඉදිරි කාලයේ දී ආනාවරණය කර ගත හැකි වනු ඇත.

(අන්තර්ජාලය ඇසුරින්)

විද්‍යා හා තාක්ෂණ නිලධාරි - කැස්බෑව

0 comments:

Post a Comment