December 7, 2017

මව් පදවියක මහිමය

මව් පදවියට සූදානම් වන ඕනෑම කාන්තාවකට කුළුදුල් මව් පදවිය අභියස ඇතිවන හැඟීම් විවිධාකාරය.සතුටුදායක හැඟීමක් සමඟ තරමක තැති ගැනීමක් ද ඇතිවන බව ඕනෑම මවකගෙන් විමසුවහොත් පවසනු ඇත.මෙහිදී කුළුදුල් මවකගේ මොළය තුල සිදුවන සුවිශේෂී වෙනස්කම් පිළිබඳ ඔබ ඇසුවොත්  මවිත වනු නිසැකය.ගර්භනීභාවයට පත්වීමට පෙර හා පසු කාන්තාවන්ගේ මොළයේ සිදු කරන ලද ස්කෑන් පරීක්ෂා මඟින් මේ බැව් තහවුරු කර ගැනීමට පර්යේෂණ කණ්ඩායමක් සමත් වී ඇත.

                        
 Leiden විශ්ව විද්‍යාලයේ (Leiden University on Netherlands ) විද්‍යාඥවරියක වන Elseline Hoekzema මහත්මිය කුළුදුල් මව්වරු 25දෙනෙකු, කුළුදුල් පියවරු හා දරුවන් නොමැති කාන්තාවන් හා පිරිමින්ගේ මොළයේ ස්කෑන් වාර්තා පරීක්ෂාවට භාජනය කරන ලදී.
                         ඉහත වාර්තාවලට අනුව  දරුවන් බිහිකිරීමෙන් අනතුරුව මව්වරුන්ගේ මොළයේ සමහර ප්‍රදේශ හැකිලීමට ලක් වන බවත් ,අනෙක් කණ්ඩායම් වල එවැනි වෙනසක් සිදු නොව බවත් නිරීක්ෂණය කරන ලදී.තවද මෙසේ හැකිළුණු ප්‍රදේශ අයත්ව තිබෙන්නේ මොළයේ මස්තිෂ්ක බාහිකය කොටසට බවත් නිරීක්ෂණය කරන ලදී.ඇත්ත වශයෙන්ම මස්තිෂ්ක බාහිකයට අයත් මෙම ප්‍රදේශ වලින් සිදුකරන්නේ අන් අයගේ සිතුවිලි හා හැඟීම් හඳුනා ගැන්ම බව ඇසුවොත් ඔබ මවිත වනු ඇත.
                             තවද තමාගේ දරුවාගේ ඡායාරූප දැක්වීමේ දී මවුවරුන්ගේ  මොළයේ ඉහත සඳහන් ප්‍රදේශම සක්‍රීය වූ බව MRI ස්කෑන් මඟින් ද තහවුරු කරගෙන ඇත.නමුත් වෙනත් අයගේ දරුවන්ගේ ඡායාරූප පෙන්වීමේ දී එම වෙනස්කම් නිරීක්ෂණය නොවුනි.එම නිරීක්ෂණයන් අනුව මව හා දරුවා අතර ඇති අසීමිත බැඳීම කෙරෙහි මොළයේ ඉහත ප්‍රදේශ සෘජු සම්බන්ධතාවයක් දක්වන බව පර්යේෂිකාවගේ මතයයි.
                        තවද එක් එක් පුද්ගලයා දරුවා කෙරෙහි දක්වන හැඟීම මත (empathy) දරුවාගේ හා මවගේ බැඳීම තහවුරු කෙරෙන අයුරින් මොළයේ මස්තිෂ්ක බාහික කොටසේ සිදුවන මෙම වෙනස් වීමේ ප්‍රමාණය විවිධාකාර වන බවත් නිරීක්ෂණය වීඇත. එනම් එම වෙනස් වීමේ ප්‍රමාණය තීරණය වන්නේ එක් එක් පුද්ගලයා මතය.
                    එම විද්‍යාඥවරිය පවසන්නේ මෙම වෙනස්වීම නිසා මවට දරුවාගේ අවශ්‍යතා හඳුනා ගැනීමට විශාල උපකාරයක් ලැබෙන බවයි.ඇත්තෙන්ම කිසිඳු සන්නිවේදන මාර්ගයක් නොමැති කුඩා කිරිසප්පයකු තේරුම් ගැනීමට ස්වභාවධර්මයා විසින් ලබා දුන් ත්‍යාගයක් බවයි ඇය පවසන්නේ
                    තව ද උක්ත වෙනස්වීම් තවදුරටත් තීව්‍ර කිරීමට ගර්භණී සමයේ සිදුවන හෝර්මෝන වෙනස්කම් ද බලපාන බව Hoekzema මහත්මිය පවසයි.මෙමඟින් කුළුදුල් පියවරුන්ගේ එම වෙනස්කම් සිදු නොවීමට හේතුව පැහැදිලි වන බව ඇය තවදුරටත් පවසයි.තව ද එම කාන්තාවන්ම දෙවන ගැබ් ගැනීමක් සිදු නොවී වසර 2 ක් ගත වූ පසුද ස්කෑන් පරීක්ෂාවට භාජනය කරන ලද අතර උක්ත වෙනස් වීම ඒ අයුරින්ම දැකගත හැකි විය.
                  British Colombia විශ්ව විද්‍යාලයේ Liisa Galea පවසන්නේ මවක් වීම තුල ඇති කරන සිතුවිලි වල වෙනස ඕනෑම මවක් අත් දකින බවයි. ˝Once a mother always a mother” යන පැරණි කියමන මෙයින් සත්‍ය බව වැටහෙනු ඇත.මෙම පර්යේෂණයන් මඟින් තහවුරු වන තවත් කරුණක් නම් අඩුම තරමින් දරුවා ලැබී අවුරුදු 2 ක් ගතවනතුරුවත් මවගේ සිතුවිලි ධාරාවේ වෙනස පවතින බවයි.
               ඕනෑම කාන්තාවක් විවාහයෙන් අනතුරුව පතන මව් පදවිය තුල යුවතියක වශයෙන් ගෙවන කාලයට වඩා සැබෑ වෙනසක් ඇති බව පර්යේෂණාත්මකව ඔප්පු වූ දුර්ලභ අවස්ථාවක් වශයෙන් මෙය හැඳින්විය හැක.


New Scientist සඟරාව ඇසුරෙන්

0 comments:

Post a Comment