December 18, 2017

තැලසීමියා රෝගය

තැලසීමියා රෝගය ජානමය වශයෙන් පැතිරෙන රෝගී තත්වයක් බව බොහෝ දෙනා දන්නා කාරණාවකි.තැලසීමියා රෝගය ලංකාවේ බරපතළ ප්‍රශ්නයක් නොවූවකි.තායිලන්තය වැනි රටක තැලසීමියා රෝගීන් පන් ලක්ෂයක් වාර්තා වුවද ලංකාවෙන් තැලසීමියා රෝගීන් වාර්තා වී ඇත්තේ තුන් දහසකි.නමුත් මේ රෝගීන් තුන් දහස බලා ගැනීමට වැයවන මුදල අති මහත්ය.සෑම වසරකමදීම ලංකාවේ තැලසීමියා රෝගීන් අතරට තවත් අලුත් රෝගීන් පනහක්,හැටක් අතර පුමාණයක් එක් වීමේ පුවනතාව සුබදායක නැත.වසරෙන් වසර තැලසීමියා රෝගීන් අලුතින් එක්වීම වළක්වා ගත යුතුය.නැතිනම් මෙය ලංකාව වැනි රටකට දරාගත නොහැකි ප්‍රශ්නයක් වනු ඇත.ලංකාවට තැලසිමියා රෝගය එතරම් ප්‍රශ්නයක් නොවේ යැයි සිතා අප කරබා ගෙන සිටියහොත් සිදුවන්නේ තායිලන්තය වැනි රටවල මෙන් තැලසීමියා රෝගීන් ලක්ෂ ගණනින් වර්ධනය වීමය.රෝගී පරපුරක් රටකට අවශ්‍ය නැත.අවශ‍්‍ය වන්නේ නිරෝගී පරපුරකි.ඒ නිසා තැලසීමියා රෝගීන් තව තවත් බිහි නොවීම වළක්වා ගැනීමට ඔබගේත් මගේත් දැනුවත් වීම වගේම ඒ සදහා සුදුසු ක්‍රියාකාරිත්වයද වැදගත්ය.
         
   ඇතම් විට මේ ලිපිය කියවන ඔබද තැලසිමියා වාහක පුද්ගලයකු විය හැකිය.තැලසීමියා වාහකයෙක් වුවද ඔබ පෙනුමෙන් නිරෝගී පුද්ගලයෙකි.රුධිර පරීක්ෂණයක් කරන තුරු ඔබ තැලසීමියා රෝගියෙක්ද නැතිද යන වග දැන ගැනීමට අපහසුය.තැලසීමියා වාහක දෙදෙනකු අතර විවාහයක් සිදුවීමෙන් මහා තැලසීමියාව තිබෙන දරුවන් බිහිවීමේ ලොකු සම්භාවිතාවක් පවතී.සුළු තැලසීමියාව තිබීම ගැටලුවක් නොවන්නකි.
ඉන්දියාවේ ජනප්‍රිය නළු අමිතාබ් බච්චන්,ජනප්‍රියම නිලි අමීෂා පටෙල් වුවද සුළු තැලසීමියාව තිබෙන පුද්ගලයන් විය හැකිය.ගැටලුව පවතින්නේ තැලසිමියා වාහකයන් විවාහ සිදුවීමෙන් මහා තැලසීමියා රෝගී දරුවන් බිහිවීම වළක්වාලිමට මේ වනවිටත් රජය මඟින් කි්‍රයාත්මක කළ වැඩපිළිවෙලක් පවතී.නමුත් ජනතාව මේ ගැන දක්වන උනන්දුව හීන වීම තැලසීමියා රෝගීන් වර්ධනය විමට බලපා තිබෙන කාරණයකි.
යම් පුද්ගලයකුට තමන් තැලසිමියා වාහකයෙක්ද නැද්ද යන වග නොමිලේ පරීක්ෂා කරගත හැකියි.තැලසිමියා මධ්‍යස්ථාන මඟින් එම පරීක්ෂාව නොමිලේ කළද ඒ සදහා යොමු විමේ අවම බවක් තවමත් දක්නට ලැබෙන්නකි.එම නිසා අප සියලු දෙනා තමන් තැලසිමියා වාහක තැනැත්තෙක්ද යන වග පරීක්ෂා කර ගැනීම වැදගත්ය.තමන් තැලසිමියා වාහක තැනැත්තෙක් හෝ තැනැත්තියක් නම් එම පරීක්ෂණයේදී ඔහුට රෝස පැහැති කාඩ් පතක් හිමිවේ.ඔබ විවාහයට සූදානම් වන කෙනකු නම් අනිවාර්යෙන්ම තම සහායකයා හෝ සහකාරිය තැලසීමියා වාහක කෙනකුද යන්න පරීක්ෂා කළ යුතුය.තමන් තැලසීමියා වාහකයෙක් නිසා විවාහ විම නුසුදුසු යැයි කිසි විටෙකත් නොසිතිය යුතුය.තමන් තැලසිමියා වාහකයෙක් නම් කළ යුත්තේ තැලසිමියා වාහක නොවන කෙනකු සමග විවාහ වීමය.


තැලසීමියා රෝගය එක ජාතියකට,එක ප්‍රදේශයක පුද්ගලයින්ට වැලදෙන රෝගයක් නොවන්නකි.උතුරු මැද,  ඌව,මධ්‍යම, වයඹ පළාත්වල තැලසිමියා වාහකයන් දැනට සොයාගෙන තිබෙන්නේ හැත්තෑ දාහක් පමණය.නමුත් ලංකාවේ විවිධ ප්‍රදේශවල තැලසිමියා වාහක පුද්ගලයින් සිටිය හැකියි.තමන් තැලසිමියා වාහක පුද්ගල‍යකු  විය හැකිය.තමන් තැලසිමියා වාහක තැනැත්තකු යැයි සිතා බියි විය යුතු නැත.අනාගත පරපුරට නිරෝගී දරුවකු බිහිකිරීමේ වගකිමක් අපට තිබෙන නිසා ඒ සදහා සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කිරීම බෙහෙවින් වැගත්ය.

තැලසීමියා රෝගීන් වසරින් වසර විශාල ප්‍රමාණයක් බිහිවීම සේම ඒ හා බැදුණු තවත් ගැටලුවක්ද හිස ඔසවමින් තිබේ.තැලසිමියා රෝගය පිළිබද දැනුවත් කරන අතරම එකී බලපෑම පිළිබද හෙළි කිරීමද මෙහි අපේක්ෂාවකි.
හෙපටයිටිස් ඒ,හෙපටයිටිස් බී සහ හෙබටයිටීස් සී යන රෝගී තත්වයන් ගැන මේ ලිපිය කියවන ඔබ යම් ආකාරයකින් දැනුවත් වී ඇතැයි විශ්වාස කරමු.මෙම රෝගී තත්වය අතුරින් රුධිරය හරහා ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගී තත්වයක් වන හෙපටයිටීස් බී සහ සී අතරින් හෙපටයිටීස් සී ‍රෝගී තත්වය ලංකාවේ නොමැති බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශ්වාසය වී තිබිණි.ලංකාවේ කාලයක් කළ පරීක්ෂණවලින් හෙළවී තිබුණේද හෙපටයිටීස් සී රෝගී තතත්වය ලංකාවේ නොමැති බවය.මේ විශ්වාසය බොරුවක් කරමින් හෙපටයිටීස්  සී රෝගීන් ලංකාවේ සිටින බවට වෛද්‍යවරුන්ට ඉඟි පළවී තිබිණි.පරීක්ෂණයකදී අනුරාධපුර රෝහලේ තැලසිමියා රෝගීන් තිස් දෙනකුටත්,උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ තැලසීමියා ඒකකයේ රෝගීන් හතර දෙනකුටත්, බදුල්ල රෝහලේ තැලසිමියා රෝගීන් එක් කෙනකුටත් හෙපටයිටීස් සි වැලදී ඇති බව සොයා ගෙන තිබේ.

හෙපටයිටීස් සී රුධිරය හරහා පැතිරෙන රෝගයක් නිසා රුධිර පාරවිලයනය මගින් තැලසිමියා රෝගීන්ට හෙපටය්ටීස් සී වැලදෙනවා ද යන්න පිළිබද ප්‍රශ්නයක් මතුවී තිබේ.වෛද්‍ය මහාචාර්ය අනුජ පේමවර්ධන මහතා,උතරු කොළඹ ශික්ෂණ රෝහලේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී ඒ පිළිබද පැවැසුවේ මෙසේය.
ලේ වලින් සහ ඉන්ජෙක්ෂන් කටු මාර්ගයෙන් තමයි හෙපටයිටීස් සී සම්ප්‍රේෂණය වන්නේ.තැලසීමියා රෝගීන්ට රුධිර පාරවිලයනය මගින් මෙයට ප්‍රශ්නයක් තිබෙනවාද කියන සාධාරන ගැටලුව අපට මතු වෙනවා.සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීන් මේ පිළිබදව ප‍ර්යේෂණ කළ යුතුයි.අපි මේ පිළිබදව රුධිර පාරවිලයන සේවය දැනුවත් කරලා තියෙනවා.අදාල බලධාරීන් දැනුවත් කරලා තියෙනවා.ඔවුන් නිසි පියවර ගනියි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

වෛද්‍යවරු මෙම පර්යේෂණය කර ඇත්තේ තැලසිමියා රෝගින් අතර පමණි.නමුත් රුධිර පාරවිලයනය කරන්නේ තැලසීමියා රෝගියා පමණක් නොවේ.විවිධ අනතුරු සිදුවූ විට මෙන්ම වෙනත් රෝගී තත්ත්වයන් වලදීත් රෝගීන්ට රුධිර පාරවිලයනය සිදු කරයි.නමුත් රුධිර පාරවිලයනයෙන් පසු මෙවැනි අවධානමක් ඇති නම් ඒ පිළිබද පසු විපරමක් කර එකී අවදානමෙන් රෝගීන් මුදා ගැනීම අවශ්‍යය.
තැලසීමියා රෝගයෙන් පීඩා විදින පුද්ගලයකුට හෙපටයිටීස් සී රෝගය වැලදීම හරියට ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වැනි තත්ත්වයක් උදා කරයි.මන්ද තැලසීමියා රෝගීන්ගේ යකඩ ප්‍රතිශතය වැඩිවීම නිසා අක්මාවට ප්‍රධාන හානියක් සිදුවේ.හෙපටයිටීස් සි වැලිදුණු විට ප්‍රතිකාර නොකළහොත් සිදුවන්නේ එම රෝගියාගේ ආයු කාලය තව තවත් අඩු වීමයි.

හෙපටයිටීස් සී රෝගී තත්ත්වයද සම්පූණයෙන්ම සුව කළ හැකි වුවත් ඒ සදහා ප්‍රතිකාර වශයෙන් තිබෙන්නේ ද ඉතා මිල අධික ඖෂධයි.තැලසිමියා රෝගීන්ට පමණක් හෙපටයිටීස් සී අවදානම තිබේ යැයි අත පිසදා ගත නොහැකිය.එහි අවදානම රුධිර පාරවිලනය කරන ඕනෑම පුද්ගලයකුට ඇති විය හැකි නිසා බලධාරීන් වහාම ඇස් ඇරිය යුතුය.රෝගයක් ඇති වී එය වර්ධනය වි මහා ව්‍යවසනයක් වනතුරු නො ඉද ඒ වෙනුවෙන් විපරම් කර නිසි විසදුම් ලබා දීම වගකීමකි.

1 comments:

godak wedagath lipiyak...mata denagnn oni.... thelasimiyawa ayurweda karamayata... api sinhala beheth kiynne...ehm hoda krnn puluwnd kiyla

Post a Comment