December 26, 2017

ජල වෛරි පෘෂ්ට........?

නෙළුම් කොළ වැනි ඇතැම් ශාක පත්‍ර ජලයෙන් තෙත් නොවන බව අප දන්නා කරුණකි. ස්වභාව ධර්මය විසින් නිර්මාණය කර ඇති එවැනි ජල විකර්ෂක පෘෂ්ට වල ව්‍යුහය අධ්‍යනයෙන්  විද්‍යාඥයින් විසින් ද ජලයෙන් තෙත් නොවන  පෘෂ්ට කෘත්‍රිම ලෙස නිපදවා ඇති අතර ඒවාට සුපිරි ජලභීතික (Superhydrophobic) පෘෂ්ට යැයි කියනු ලැබේ.

මෙවැනි සුපිරි ජලභීතික පෘෂ්ට වලට එම ගුණය ලැබී ඇත්තේ ඒවා මතුපිට ඇති මයික්‍රෝ  හෝ නැනෝ හෝ පරිමාණයේ වන තුඩු වැනි ව්‍යුහයන් නිසාය. ජල බිංදුවත් පෘෂ්ටය මතට වැටුණු විට එම තුඩු මත රැඳෙන නිසා පෘෂ්ටයට ජල විකර්ෂක ගුණය (ජලයෙන් තෙත් නොවන ගුණය) ලැබී ඇත.

කෙසේ වෙතත් ඉහත ව්‍යුහ සහිත පෘෂ්ට මඟින් ද්‍රව ජලය විකර්ෂණය කළ ද ජල වාෂ්ප සම්බන්ධයෙන් ඉහත ක්‍රියාවලිය සාර්ථක නොවේ.. මීට හේතුව ජල වාෂ්ප තුඩු වැනි ව්‍යුහ අතරට ගමන් කර එහි දී ඝනීභවනය වීමයි.

 මීට විසඳුමක් වශයෙන් නව ව්‍යුහාත්මක වෙනසක් මඟින් ජල වාෂ්ප මඟින් හෝ තෙත් නොවන පෘෂ්ටයක් නිර්මාණය කිරීමට විද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති. මෙහි දී මොවුන්  විසින් ජල විකර්ෂක ස්තරයක් ආලේප කරන ලද කොපර් නැනෝ වයර් භාවිතා කර ඇති අතර එම නැනෝ වයර්යන් ඉතා තදින් එකිකෙට ළංව අසුරා ඇත. මෙමඟින් ජලවාෂ්ප තුඩු අතරට යාම වළක්වා ගත හැක. මෙහි ප්‍රතිඵලයක් ලෙස ජල බිංඳු ඝණීභවනය වන විට පෘෂ්ටයෙන් ඉවතට පැනීමක් සිදු වේ.

මෙහි ඇති තවත් විශේෂ කරුණක් වනුයේ පෘෂ්ටයෙන් ඉවත් වන ජල බිංදුවකට පෘෂ්ටයෙන් තාපය ද අවශෝෂණය කළ හැකි වීමයි. මෙහි අනාගත භාවිත ලෙස ජල ලවණ හරණය (desalination) හා ඉලෙක්ට්‍රෝනික පරිපථ සිසිලනය සඳහා යොදා ගත හැකි බව පැවසේ.

විද්‍යා හා තාක්ෂණ නිලධාරි - කැස්බෑව

0 comments:

Post a Comment