December 14, 2017

හුස්ම ගැනීමේ රටාව අනුව මිනිසුන් හඳුනාගැනීම

රෝගීන් පරීක්ෂාවේදී ආශ්වාස ප්‍රාශ්වාස කිරීම වෛද්‍යවරු බොහෝ කාලයක සිට නිරීක්ෂණය කරති. එම රටාව ඔවුහු රෝග වෙන්කර හඳුනාගැනීම සඳහා යොදාගනිති. නිස්කලංකව සිටින විට ඔබ හුස්ම ගන්නා ආකාරය නිරීක්ෂණය කර තිබේද?  උදය කාලයේදී නින්දෙන් අවදි වූ සැනින් මෙන්ම නිදි දෙව්දුව වැළඳගන්නා අවස්ථාවේදී හුස්ම ගැනීමේ රටා සිහි කළ හැකිද? එනම් පුද්ගලයා වුව විවිධ අවස්ථාවන්හි ආශ්වාස ප්‍රාශ්වාස කිරීම එකිනෙකට වෙනස් ආකාරයෙන් සිදු කරයි. එහෙත් පුද්ගලයාට අනන්‍ය හුස්ම ගැනීමේ රටාවක් ඇති බව පර්යේෂකයින් සොයා ගෙන ඇතැයිද වාර්තා වේ.

අත්සන, ඇඟිලි සලකුණ වැනි අනන්‍ය පුද්ගල සළකුණුවලට සමරූපී ලෙස හුස්ම ගැනීමේ රටාව අනුව මිනිසුන් වෙන්කර හඳුනාගැනීමේ හැකියාවන් පවතින බව වාර්තා වේ. ඔබ කතා කරන විට වචන අතර විරාම කාලයේදී හුස්ම ගැනීමේ රටාව මෙහිදී  මූලික කරගෙන තිබේ. එය පුද්ගලයාට අනන්‍ය වන අතර එමගින් පුද්ගලයින් හඳුනාගැනීම සඳහා ඇල්ගොරිදමයන් (ගණිත ක්‍රමයන්) භාවිතා කළ හැකිය. විශේෂයෙන් දුරකථන ඇමතුමක් ලබාදීමේදී ඇමතුම ලබාදෙන්නා කිසිවක් ප්‍රකාශ නොකළද ඔහුගේ හෝ ඇයගේ හුස්ම ගැනීමේ රටාවන් වෙන්වෙන්ව හඳුනා ගත හැකි වී තිබේ.

ස්වර තන්තු වලින් සැකසුණු ඝෝෂාවකට වඩා ආශ්වාස කිරීමේදී ඇතිවන සියුම් ශබ්දය පැහැදිලි කැළඹුමක් ඇති කරයි. පෙනහළු ධාරිතාව වැනි විවිධ කරුණු මත ඇඟිලි සළකුණ විනිශ්චය කෙරේ. ආශ්වාස ශබ්දයේ කැළඹුම “intervocalic breath sounds”  (අන්තර් ස්වර ස්වාස ශබ්ද)  වලට අදාල කර තිබේ.

දුරකථන සංවාදයක් වැනි ඉතා දුර්වල තත්වයේ පටිගත කිරීමකදී වුවත් මෙම හුස්ම ගැනීමේදී නැගෙන ශබ්ද ප්‍රත්‍යක්ෂ කළ හැකියැයි Pittsburgh හි  Carnegie Mellon විශ්ව විද්‍යාලයේ  Rita Singh පවසන්නීය.
 
ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ සහ විවිධ පුද්ගලයින් සමඟ කල රුපවාහිනි සම්මුඛ සාකච්ඡා වැනි පටිගත කරන ලද දහස් ගණනක පුද්ගල කතා Rita ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් විශ්ලේෂණය කරන ලදී. එහිදී ආශ්වාස කිරීමේ අවස්ථා පිළිබඳ විශ්ලේෂණයේදී පමණකින් වුව ඔවුන්ගේ ඇල්ගොරිදමය (පරිගණක මෘදුකාංගය) මගින් කට හඬට අදාල පුද්ගලයා නිවැරිදිව හඳුනා ගැනීමට හැකි වූ බව වාර්තා කර තිබේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

https://youtu.be/KwI90AC9Inw?t=15

0 comments:

Post a Comment